පොත් ලැයිස්තුව

තෝදෙයිය සූත්‍රය.

star_outline

පරායන වර්ගය. සුත්ත නිපාතය

(ඉච්චායස්මා තෝදෙය්‍යෝ)

​යස්මිං කාමා න වසන්ති

තණ්හා යස්ස න විජ්ජති

කථංකථා ච යෝ තිණ්ණෝ

විමෝඛෝ තස්ස කීදිසෝ

​ තෝදෙයිය මානවක මෙසේ විමසයි:

යමෙකුගේ සිත තුළ කාමයෝ වාසය නොකරත් නම්, යමෙකුට තණ්හාව දක්නට නොලැබේ නම්, යම් පුද්ගලයෙකු "කෙසේද? කෙසේද?" යන විචිකිච්චාව තරණය කළේ නම්, ඔහුගේ විමෝක්ෂය කෙබඳුද?

භාග්‍යවතුන් වහන්සේ

(තෝදෙය්‍යාති භගවා)

​යස්මිං කාමා න වසන්ති

තණ්හා යස්ස න විජ්ජති

කථංකථා ච යෝ තිණ්ණෝ

විමෝඛෝ තස්ස නාපරෝ

යමෙකුගේ සිත තුළ කාමය වාසය නොකරත් නම්, යමෙකුට තණ්හාව දක්නට නොලැබෙයි නම්, යමෙකු "කෙසේද? කෙසේද?" යන විචිකිච්චාව තරණය කළේ නම්, ඔහුට වෙනත් විමෝක්ෂයක් නැත.

තෝදෙයිය මානවක මෙසේ විමසයි:

​ නිරාසසො සො උදි ආසසානො
පඤ‍්ඤාණවා සො උදපඤ‍්ඤකපපී,
මුනිං අහං සක‍්ක යථා විජඤ‍්ඤං
තං මෙ වියාචික‍්ඛ සමන‍්තචක‍්ඛු.

ඒ මුනිවරයා ආසාව නැති කෙනෙක්ද, නැතහොත් ආසාව ඇති කෙනෙක්ද? ඔහු ප්‍රඥාව ඇති කෙනෙක්ද, නැතහොත් තණ්හා පිළිබඳ හැඟීම් හා දැකීම් පිළිබඳව කල්පනා කරමින් (සිත සිතා) සිටින කෙනෙක්ද? සමන්තචක්ෂු වූ බුදුරජාණන් වහන්ස, මම ඒ මුනිවරයා යම් ආකාරයකින් හඳුනා ගන්නේ නම්, ඒ කාරණාව මට දේශනා කරනු මැනවි.

භාග්‍යවතුන් වහන්සේ

​නිරාසසෝ සෝ න සෝ ආසසානෝ

පඤ්ඤාණවා සෝ න ච පඤ්ඤකප්පී

ඒවම්පි තෝදෙය්‍ය මුනිං විජාන

අකිඤ්චනං කාමභවේ අසත්තන්ති

ඒ මුනිවරයා තණ්හාව නැති කෙනෙකි; ඔහු ආසා සහිත නොවේ. ඔහු ප්‍රඥාවන්තය; ඔහු තණ්හා දෘෂ්ටි ආදියෙන් යුතු කල්පනා කරන්නෙක් නොවෙයි. තෝදෙයිය, කාමයෙහිද භවයෙහිද ඇල්ම නැති, රාග ආදී පළිබෝධ නැති (අකිඤ්චන) මේ ආකාරයට ඒ මුනිවරයා දැනගන්න.

​තෝදෙයිය සූත්‍රය අවසානයි.