පොත් ලැයිස්තුව

තිස්ස මෙත්තෙයිය සුත්තං

star_outline

(සුත්ත නිපාතය - පරායන වර්ගය)

​තිස්ස මෙත්තෙයිය නම් තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසුවේය:

​"කෝ ද සංතුසිතෝ ලෝකේ? කස්ස නෝ සන්ති ඉඤ්ජිතා?

කෝ උභින්නං අභිඤ්ඤාය, මජ්ඣේ මන්තා න ලිප්පති?

කං බ්‍රෑසි මහා පුරිසෝ? කෝ ඉධ සිබ්බනී මච්චගා?"

​මෙලොව සතුටින් වාසය කරන්නේ කවුද? කවරෙක් හට තණ්හා දිට්ඨි කම්පනයෝ (ඉංජන) නැද්ද? කවරෙක් අන්ත දෙක විශිෂ්ට ඥානයෙන් දැනගෙන මධ්‍යයෙහි ප්‍රඥාවෙන් නොඇලේද? කවර කෙනෙකු මහා පුරුෂයා යැයි කියන සේක්ද? මෙහි කවරෙක් හා සිබ්බනිය (සිබ්බනී යනු මැසීමයි) ඉක්ම ගියේද?

​ගාථා විස්තරය

​"සන්තුසිතෝ" යනු සතුටින් වාසය කරන කෙනාය. මේ ලෝකයෙහි සතුටින් වාසය කරන්නේ කවුද යනුවෙන් පළමුවෙන් අසයි. "ඉඤ්ජිත" යනු කම්පනය. "මම වෙමි" යන අදහස කම්පනයකි. "මම උසස් වෙමි, මම සමාන වෙමි, මම අන් අයට වඩා පහත් වෙමි, මම රූප ඇත්තෙක් වෙමි, මම අරූපී වෙමි, මම සංඥා ඇත්තෙක් වෙමි, මම සංඥා නැත්තෙක් වෙමි." මෙම සියලු අදහස් කම්පන යන නමින් හඳුන්වනු ලබයි. මේ පිළිබඳව සංයුත්ත නිකායේ ගද්දූල බද්ධ සූත්‍රයේ සඳහන් වෙයි.

​"උභින්නං අභිඤ්ඤාය" - අන්ත දෙක විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන. අන්ත දෙක යනු කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගයයි. කාම සැපයෙහි ඇලීගැලී වාසය කිරීමම කාමසුඛල්ලිකානුයෝගයයි. විමුක්තියක් පතා, විමුක්තිය ලැබේ යැයි සිතා ශරීරයට දැඩි දුක් දීමේ පිළිවෙත අත්තකිලමතානුයෝගයයි. මේවා අන්ත දෙකකි. ආත්මයක් ඇත යන්න ශාස්වත දෘෂ්ටියයි. එයද එක අන්තයකි. ආත්මයක් ඇත, එම ආත්මය මරණින් මතු නොවන්නේය, නැසෙන්නේය, වැනසෙන්නේය යනුවෙන් සිතීම උච්ඡේද දෘෂ්ටියයි. එයද අන්තයකි. මෙම අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. මෙම ගාථාවේ සඳහන් වන්නේ අන්ත දෙකට නොපැමිණ, නොඇලී සිටින්නේ කවුද යනුවෙනි. මහා පුරුෂයා යනු කවුද යනුවෙන්ද අසයි. ලෝකයෙහි තණ්හා මැසීමෙන් ඉක්ම ගියේ කවුද යනුවෙන්ද අසයි.

​බුදුරජාණන් වහන්සේ තිස්ස මෙත්තෙයිය තරුණයා විසින් අසන ලද ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු දේශනා කළහ:

​"කාමේසු බ්‍රහ්මචරියවා, වීත තණ්හෝ සදා සතෝ;

සංඛාය නිබ්බුතෝ භික්ඛු, තස්ස නෝ සන්ති ඉඤ්ජනා."

​කාමයන්හි ආදීනව දැක, මාර්ග බ්‍රහ්මචරියාව ඇති, දුරු කරන ලද තණ්හාව ඇති, සැමදා සිහියෙන් සිටින්නා වූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම නුවණින් විමසා රාගාදී කෙලෙස් ගින්නෙන් නිවුණු භික්‍ෂුවක් වේ නම්, ඔහුට කම්පන නැත.

​"සෝ උභින්නං අභිඤ්ඤාය, මජ්ඣේ න ලිප්පති;

තං බ්‍රෑමි මහා පුරිසෝති, සෝධ සිබ්බනී මච්චගා."

​ඔහු අන්ත දෙක විශිෂ්ඨ ඥානයෙන් දැනගෙන, මධ්‍යයෙහි ප්‍රඥාවෙන් නොඇලෙයි. ඔහු මහා පුරුෂයා යැයි කියමි. ඔහු මේ ලෝකයෙහි තණ්හා සිබ්බනිය (මැස්ම) ඉක්මවා ගියේය.

​ගාථා විස්තරය

​"කාමයෙහි ආදීනව දැක, මාර්ග බ්‍රහ්මචරියාව ඇති" යන මෙම වචන පළමුවෙන් පැහැදිලි කරමි.

​මෙහි "කාමය" යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම වස්තූන් කෙරෙහි ඇති ආසාවයි. ගේදොර, වතුපිටි, ඉඩකඩම්, යාන වාහන, දූ දරුවන්, ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන්, තමා සන්තක සතුන් සහ තමා සන්තක සියලු වස්තූන් කාම වස්තූන්ය. එම කාම වස්තූන්වල ආදීනව බොහෝ ඇත.

​"අට්ඨි සංකලූපමා කාමා" - කාමයෝ ඇට කැබැල්ලක් බඳුය. මස් විකුණන ස්ථානයක් අසලට යන සුනඛයෙකු එය දෙස ආසාවෙන් බලා සිටී. මස් විකුණන්නා මස් නැති, ලේ නැති ඇට කැබැල්ලක් බල්ලා සිටින දෙසට විසි කරයි. එම බල්ලා එම ඇට කැබැල්ල රැගෙන පැත්තකට ගොස් එහි ඇති පිළී ගන්ධය නිසා හපයි; නැවත නැවත හපයි; වෙහෙසට පත්වෙයි. කාමයෝද මස් ලේ නැති ඇට කැබැල්ලක් වැනිය. සත්වයා බොහෝ වෙහෙසට පත් කරවන්නේය. එය කාමයන්ගේ ආදීනවයකි. මෙසේ නොයෙක් ආකාරයෙන් කාමයන්ගේ ආදීනව සලකා මාර්ග බ්‍රහ්මචරියාවට පැමිණිය යුතුය. මාර්ග බ්‍රහ්මචරියාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

​මෙම සූත්‍ර දේශනාවෙහි බ්‍රහ්මචරියාව කියා හඳුන්වා ඇත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මාර්ග බ්‍රහ්මචරියාවෙන් යුක්ත වූ තැනැත්තාට මහත් වූ සතුටක් පවතී. එයම මෙම දේශනාවේදී "සංතුසිතෝ" යනුවෙන් දක්වා ඇත. තණ්හාවෙන් තොරවීම කම්පා නොවීමකි.

​"සංඛාය නිබ්බුතෝ" යන වචනවල තේරුම, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී වශයෙන්ම විදර්ශනා වඩා නුවණින් විමසා රාගාදි ගිනි නිවන ලද තැනැත්තා, නිවීමට පත් වූ තැනැත්තා යන්නයි.

​මෙහි සඳහන් වන්නේ අරිහත්වයට පත්වීම සඳහා අවශ්‍ය වන පිළිවෙත් මාර්ගයයි. කම්පනයන්ගෙන් තොර වූ රහතන් වහන්සේ "මහා පුරුෂයා" යන නමින් හඳුන්වනු ලැබේ.