අංගුත්තර නිකාය 3
පඤ්චක නිපාතෝ
(සාවත්ථිනිදානං)
පඤ්චහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කතමේහි පඤ්චහි:
මහණෙනි, ධර්ම පහකින් යුතුව සද්ධර්මය අසන නමුත්, කුසල ධර්මයන්හි සම්මත්ත නියාමයට (ආර්ය අෂ්ඨාංගික මාර්ගයට) බැස ගැනීමට නුසුදුසු වෙයි (අභව්‍ය වෙයි). කවර ධර්ම පහකින්ද යත්:
මක්ඛී ධම්මං සුණාති මක්ඛපරියුට්ඨිතෝ, උපාරම්භචිත්තෝ ධම්මං සුණාති රන්ධගවේසී, ධම්මදේසකේ ආහතචිත්තෝ හෝති ඛිලජාතෝ, දුප්පඤ්ඤෝ හෝති ජළෝ ඒළමූගෝ, අනඤ්ඤාතේ අඤ්ඤාතමානී හෝති.
- ගුණමකු බවින් යුතුව, ගුණමකු බවින් යටවූ සිතින් ධර්මය අසයි.
- වාද විවාද ඇති කරන අදහසින්, අඩුපාඩු (සිදුරු) සොයමින් ධර්මය අසයි.
- දේශකයන් වහන්සේ කෙරෙහි තද බවින් ගැටුණු සිතින් යුතුව ධර්මය අසයි.
- ජඩ වූයේ, කෙළ තොලු වූයේ, ප්‍රඥාව නැති කෙනෙක් වෙයි.
- නොදන්නා දෙයෙහි දන්නවා යන මානය ඇතිවෙයි.
ඉමේහි ඛෝ භික්ඛවේ පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං.
මහණෙනි, මෙම ධර්ම පහෙන් සමන්වාගත වූ තැනැත්තා ධර්ම ශ්‍රවණය කළත්, කුසල ධර්මයන්හි සම්මත්ත නියාමයට බැස ගැනීමට නුසුදුසු වෙයි.
පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝ සද්ධම්මං භබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කතමේහි පඤ්චහි:
මහණෙනි, ධර්මතා පහකින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන තැනැත්තා කුසල ධර්මයන්හි සම්මත්ත නියාමයට (ආර්ය අෂ්ඨාංගික මාර්ගයට) බැස ගැනීමට සුදුසු කෙනෙක් වෙයි. කවර පහකින්ද යත්:
අමක්ඛී ධම්මං සුණාති න මක්ඛපරියුට්ඨිතෝ, අනුපාරම්භචිත්තෝ ධම්මං සුණාති න රන්ධගවේසී, ධම්මදේසකේ අනාහතචිත්තෝ හෝති අඛිලජාතෝ, පඤ්ඤවා හෝති අජළෝ අනේළමූගෝ, න අනඤ්ඤාතේ අඤ්ඤාතමානී හෝති.
- ගුණමකු බවින් තොරව, ගුණමකු බවට යට නොවී ධර්මය අසයි.
- වාද විවාද කරන අදහසින් තොරව, අඩුපාඩු සොයන්නේ නැතුව ධර්මය අසයි.
- ධර්ම දේශකයන් වහන්සේ කෙරෙහි දැඩි ගැටීම් නැති සිතින් (අනුපහත සිතින්) ධර්මය අසයි.
- ජඩ නොවූ, කෙළතොලු නොවූ, ප්‍රඥාවන්ත වෙයි.
- නොදන්නා දෙයෙහි දන්නවා යන මානය නැතිවෙයි.
ඉමේහි ඛෝ භික්ඛවේ, පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝ සද්ධම්මං භබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තන්ති.
මහණෙනි, මේ ධර්මතා පහෙන් යුක්තව බණ අසන තැනැත්තා කුසල ධර්මයන්හි සම්මත්ත නියාමය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැස ගැනීමට සුදුසු වෙයි.
ධර්මාර්ථ විස්තරය:
සම්මත්ත නියාම යන නමින් සූත්‍ර දේශනා තුනක් අංගුත්තර නිකායේ පංචක නිපාතයෙහි දක්නට ලැබෙයි. සම්මත්ත නියාමය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. පූර්ව භාග ප්‍රතිපදාව යනුවෙන් හඳුන්වන්නේ ද එයයි. ධර්මානුධර්ම ප්‍රතිපදාව යන නමින්ද හඳුන්වනු ලබයි. ධර්ම යනු නිර්වාණයයි. එම නිර්වාණයට ගැලපෙන්නා වූ ධර්මය හෙවත් ප්‍රතිපදාව අනුධම්ම නම් වෙයි. නිර්වාණයට ගැලපෙන ප්‍රතිපදාව අනුගමනය කිරීම ධර්මානුධර්ම ප්‍රතිපදාව නම් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා හඳුන්වන්නේද එයයි. සම්මත්ත නියාම සූත්‍ර දේශනා තුනේදී නිවන් මඟට බැස ගැනීමට බාධාවන ධර්මතා කීපයක් දක්වා ඇත. ඒවා මෙසේ පෙළගැස්විය හැකිය:
- කථං පරිභෝති. .කතාවට පරිභව කිරීම:
මින් අදහස් කරන්නේ, "ඔය කතාව කුමක්ද? කිසි පිළිවෙළක් නැත, ධර්මානුකූල නැත, මුල මැද අග ගැලපෙන්නේ නැත, අව්‍යක්තය" ආදී වශයෙන් ධර්ම දේශනාවට අගෞරව කිරීමයි.
- කථිකං පරිභෝති (දහම් කථිකයාට පරිභව කිරීම):
දහම් කථිකයාට හෙවත් ධර්ම දේශකයාට අගෞරව කිරීම, නින්දා කිරීම. "මොහු ධර්ම දේශනා කිරීමට සුදුසුද? මොහු අලුත පැවිදි වූ කෙනෙකි. ත්‍රිපිටක ධර්මය ඉගෙන ගෙන නැත. ගැඹුරු දහම් කතාව විස්තර කිරීමට අටුවාව ඉගෙන ගෙන නැත" මෙසේ නොයෙක් ආකාරයෙන් දේශකයන් වහන්සේට පරිභව කරයි, නින්දා කරයි, අපහාස කරයි.
- වික්සිප්ත වූ සිතින්, එකඟ නොවූ සිතින් බණ ඇසීම:
ධර්මය ඉතා ගැඹුරුය. එහි ධර්ම කාරණාවන් දැනගැනීමටත්, අර්ථය දැනගැනීමටත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව හැසිරීමටත් එකඟ වූ සිතක් තිබිය යුතුය. නොයෙක් අරමුණු කෙරෙහි විසිරී ගියා වූ උද්ධච්ච සහගත සිතින් ධර්මය ඇසීමෙන් ධර්ම කාරණාව නොවැටහෙයි, ධර්මයෙහි අර්ථය නොවැටහෙයි. ඔහුට ධර්මානුධර්ම ප්‍රතිපන්න විය නොහැකිය; හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කිරීම දුෂ්කරය.
- අයෝනිසෝ මනසිකරෝති (නුවණින් තොරව මෙනෙහි කිරීම):
යෝනිසෝ යනු ප්‍රඥාවට නමකි. බණ අසන විට නුවණින් මෙනෙහි කරමින් ධර්මශ්‍රවණය කළ යුතුය. නුවණින් තොරව බණ ඇසීමෙන් ධර්මය අවබෝධ කර ගත නොහැකිය. (පඨම සම්මත්තනියාම සූත්‍රය - පංචක නිපාතය - අංගුත්තර නිකාය)
- අත්තානං පරිභවති (තමාට පරිභව කිරීම):
තමාටද දොස් කියයි. "මම පව්කාරයෙමි, මට ධර්මය අවබෝධ කරගත නොහැකිය, මට නුවණක් නැත, මට පාරමී පිරී නැත, මට තවම කල් තිබේ, මට ඕවා තේරෙන්නේ නැත, මට කෙලෙස් බහුලය, මට වැඩ රාජකාරි අධිකය" ආදී වශයෙන් තමාට දොස් කියා ගනිමින් බණ ඇසීමද ධර්මාවබෝධයට, සම්මත්ත නියාමයට හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගැනීමට බාධාවකි.
- දුප්පඤ්ඤෝ හෝති ජළෝ ඒළමූගෝ:
ජඩ වූයේ, කෙළතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. උපතින්ම නොයෙක් කෙළතොලු බව, මන්දබුද්ධික ආදී ස්වභාවය පිහිටි තැනැත්තාට ප්‍රඥාව නැත; ඔහුට ධර්මය අවබෝධ කරගත නොහැකි බව මින් අදහස් කරයි.
- අනඤ්ඤාතේ අඤ්ඤාතමානී හෝති:
තමා නොදන්නා දෙය දන්නවා යන මානය ඇතිවෙයි. බොහෝ දෙනකු නොදන්නා දෙය දන්නවා කියා සිතාගෙන සිටිති. ඔහුටද ධර්මාවබෝධය කිරීම ඉතා දුෂ්කරය. (දුතිය සම්මත්තනියාම සූත්‍රය - අංගුත්තර නිකාය - පංචක නිපාතය)
- මක්ඛී ධම්මං සුණාති මක්ඛපරියුට්ඨිතෝ:
ගුණමකු බවින් යුතුව, ගුණමකු බවින් යටවී ධර්මශ්‍රවණය කරයි. ගුණමකු බව යනු අන්‍යයන්ගේ ගුණ මකා දමන ස්වභාවයයි. "පැහැදිලිවම මට උදව් උපකාර කළ අය නැත, මම තනියම දියුණු වුණෙමි, මම තනියම තැනකට පැමිණියෙමි, මම තනියම ඉගෙන ගත්තෙමි" මේ ආදී වශයෙන් අනුන්ගේ ගුණ මකා දමන ස්වභාවය ගුණමකු බවයි. එය ක්ලේශයකි, මහත් වූ පාපයකි, ධර්මාවබෝධයට බාධාවකි.
- උපාරම්භචිත්තෝ ධම්මං සුණාති රන්ධගවේසී:
වාද විවාද ගොඩනගන අදහසින් යුතුව, අඩුපාඩු සොයමින් බණ අසයි. එම තැනැත්තාටද ධර්මය අවබෝධ කරගත නොහැකිය