පොත් ලැයිස්තුව

තතිය පටිපදා සූත්තං

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතෝ

"චතස්සෝ ඉමා භික්ඛවේ පටිපදා කතමා චතස්සෝ?"

​මහණෙනි, මේ ප්‍රතිපත්ති හතරකි. ඒ සතර කවරේද යත්:

දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.

​මහණෙනි, මේ ප්‍රතිපත්ති හතරයි.

​1. දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා - දුක් සහගත වූ ප්‍රතිපදාවෙන් ප්‍රමාද වී ධර්මය අවබෝධ කරන පුද්ගලයා.

2. දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා - දුක් සහගත වූ ප්‍රතිපදාවෙන් වහා ධර්මය අවබෝධ කරන පුද්ගලයා.

3. සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා - සැප ප්‍රතිපදාවෙන් ප්‍රමාද වී ධර්මය අවබෝධ කරන පුද්ගලයා.

4. සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා - සැප ප්‍රතිපදාවෙන් වහා ධර්මය අවබෝධ කරන පුද්ගලයා.

​ධර්මාර්ථ විස්තරය

​මෙම දේශනාවේදී මෙම සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට මේ පුද්ගලයෝ හතර දෙනා පිළිබඳව විස්තර කරනු ලැබෙයි.

​1. දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා

මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුව කයෙහි අසුභය අනුව බලමින් වාසය කරයි. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී ක්‍රමයෙන් කියවෙන දෙතිස් කුණප කොටස් අසුභ වශයෙන් බැලීම හෝ මිනියක් කුණුවන ආකාරය පිළිබඳ අසුභය සිහිගන්වන දස අසුභ භාවනාවෙහි හෝ යෙදී වාසය කරයි. එසේම ආහාරයෙහි පටික්කූල සංඥාව පුරුදු කරයි. සියලු ලෝකයෙහි අනභිරථ සංඥාව පුරුදු කරයි. සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව පුරුදු කරයි. මරණ සංඥාව තමා තුළ මනාව පිහිටුවාගෙන වාසය කරයි. ඔහු පංච සේඛ බල ඇසුරු කරගෙන වාසය කරයි. ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්ය බලය, ප්‍රඥා බලය යන මේ ගුණධර්ම පංච සේඛ බල වෙයි.

​එසේම ඔහු තුළ පංච ඉන්ද්‍රිය ධර්ම මෘදුව පහළ වෙති. එනම් සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රිය ධර්ම මෘදුව පහළ වෙති. ඔහු මේ පංච ඉන්ද්‍රිය ධර්ම මෘදුව පවතින බැවින් වහා ධර්මය අවබෝධ නොකරති, වහා කෙලෙස් ප්‍රහාණය කිරීම නොකරති. මෙම පුද්ගලයා දුක් වූ ප්‍රතිපදාවෙන් ප්‍රමාද වී ධර්මය අවබෝධ කරන පුද්ගලයා යැයි කියනු ලැබේ.

​2. දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා

දුක් ප්‍රතිපදාවෙන් වහා ධර්මය අවබෝධ කරන පුද්ගලයා. මෙම බුද්ධ ශාසනයෙහි භික්ෂුව කයෙහි අසුභය අනුව බලමින් වාසය කරයි, ආහාරයෙහි පටික්කූල සංඥාව පුරුදු කරයි, සියලු ලෝකයෙහි අනභිරථ සංඥාව පුරුදු කරයි, සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව පුරුදු කරයි. මරණ සංඥාව මනාකොට තමා තුළ පිහිටුවාගෙන වාසය කරයි. ඔහු ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීර්ය, ප්‍රඥා යන මේ බල ධර්ම ඇසුරු කරගෙන වාසය කරයි. ඔහුට සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන පංච ඉන්ද්‍රිය ධර්ම අධිමාත්‍රව පහළ වෙති.

​ඔහු මේ පංච ඉන්ද්‍රිය ධර්ම අධිමාත්‍රව පවතින නිසා ඉතා ඉක්මනින්ම කෙලෙස් ක්ෂය කිරීමට පත්වෙයි. මෙම පුද්ගලයා "දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා" යන නමින් හඳුන්වනු ලබයි.

3. සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා පුද්ගලයා

​"කතමා ච භික්ඛවේ සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා? ඉධ භික්ඛවේ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති."

...පෙ....

​මහණෙනි, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා යනු කුමක්ද? මේ ශාසනයෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල් ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

​විතක්ක විචාර සංසිඳීමෙන්, තමා තුළ ප්‍රසාදයට පත් සිතෙහි එකඟ බව ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

​ප්‍රීතිය දුරු කිරීමෙන්, උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන්, නුවණින් යුතුව වාසය කරයි. කයින් නිරාමිස සැපයද විඳීයි. යම් ඒ ආර්යයන් වහන්සේලා "උපේක්ෂාවෙන් යුතු සිහියෙන් යුතු, සැපසේ වාසය කිරීම" යැයි යමකට කියද්ද, එම තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

​සැපයේද ප්‍රහාණයෙන් දුක්ඛයාගේද ප්‍රහාණයෙන් මුලින්ම සෝමනස්ස නම් මානසික සතුටත්, දෝමනස්ස නම් වූ මානසික දුකත් ගෙවා දමා, දුක් නැති, සැප නැති නිසා උපේක්ෂාවෙන් යුතු පිරිසිදු සිහිය ඇති සිව්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

ඔහු ශ්‍රද්ධා බලය, වීර්ය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, ප්‍රඥා බලය යන පංච සේඛ බල ඇසුරු කරගෙන වාසය කරයි.

ඔහුට සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය මෘදු වශයෙන් පහළ වෙති. පංච ඉන්ද්‍රිය ධර්මයන් මෘදුව පවතින බැවින් වහා ධර්මය අවබෝධ නොකරයි, කෙලෙස් ක්ෂය කිරීම ප්‍රමාද වෙයි. එම පුද්ගලයා "සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා" යනුවෙන් හඳුන්වයි.

4. සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පුද්ගලයා

​ඔහු රූපාවචර ධ්‍යාන හතර ලබා සිටින කෙනෙකි.

​පෙර සඳහන් කරන ලද පංච සේඛ බලයන්ගෙන් යුක්ත වූ කෙනෙකි.

අධිමාත්‍ර වශයෙන් පංච ඉන්ද්‍රිය ධර්ම පිහිටි කෙනෙකි. අධිමාත්‍ර වශයෙන් පංච ඉන්ද්‍රිය ධර්ම පිහිටා ඇති බැවින්ම ඉතා ඉක්මනින්, වහාම, සීග්‍රව ධර්මාවබෝධය ලබයි, කෙලෙස් ක්ෂය කිරීමට පත්වෙයි. ඔහු සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පුද්ගලයාය.