පොත් ලැයිස්තුව

සුක්ක ධම්ම සුත්තං

star_outline

(ඉතිවුත්තකපාලිය - දුතිය නිපාතය)

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.

ද්වේමේ භික්ඛවේ සුක්කා ධම්මා ලෝකං පාලෙන්ති. කතමේ ද්වේ? හිරී ච ඔත්තප්පඤ්ච. ඉමේ චේ භික්ඛවේ ද්වේ සුක්කා ධම්මා ලෝකං න පාලෙය්‍යුං, නයිධ පඤ්ඤායේථ මාතා’ති වා මාතුච්ඡා’ති වා මාතුලානී’ති වා ආචරියභරියා’ති වා ගරූනං දාරා’ති වා. සම්භේදං ලෝකෝ අගමිස්ස යථා අජේළකා කුක්කුටසූකරා සෝණසිගාලා. යස්මා ච ඛෝ භික්ඛවේ ඉමේ ද්වේ සුක්කා ධම්මා ලෝකං පාලෙන්ති, තස්මා පඤ්ඤායති මාතා’ති වා මාතුච්ඡා’ති වා මාතුලානී’ති වා ආචරියභරියා’ති වා ගරූනං දාරා’ති වා’ති.

මහණෙනි, කුසල ධර්මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරති. එම කුසල ධර්මයෝ දෙදෙනා කවරේද? පාපයට ඇති ලැජ්ජාව නම් වූ හිරිගුණයද, පාපයට ඇති බය නම් වූ ඔත්තප්ප ගුණයද වෙයි. මහණෙනි, මේ කුසල ධර්මයෝ දෙදෙනා ලෝකය පාලනය නොකළේ නම්, මේ ලෝකයෙහි "මව" කියා නොසලකා, "සුළු මව" කියා නොසලකා, "නැන්දනීය" කියා නොසලකා, "ආචාර්යවරයාගේ භාර්යාව" කියා නොසලකා, "ගරුකටයුතු කෙනාගේ භාර්යාව" කියා නොසලකා, කිසිදු තැකීමක් නොකර කටයුතු කරන්නේය. එළුවන්, කුකුළන්, ඌරන්, සුනඛයන්, සිවලුන් මෙන් සම්භෝගයට (කාමමිථ්‍යාචාරයට) පැමිණෙමින් වරදෙහි බැඳෙන්නේය. මහණෙනි, මෙම කුසල ධර්ම දෙක ලෝකය පාලනය කරති; එබැවින් "මව" කියා හෝ, "සුළු මව" කියා හෝ, "නැන්දනීය" කියා හෝ, "ආචාර්යවරයාගේ භාර්යාව" කියා හෝ, "ගරුකටයුතු කෙනාගේ භාර්යාව" කියා හෝ සැලකීමක්, තැකීමක් පවතින්නේය

ධර්මාර්ථ විස්තරය 

හිරි ගුණය

​හිරි යනු පාපයට ඇති ලැජ්ජාවයි; හෙවත් පව පිළිකුල් කරන ස්වභාවයයි. සුවඳ පැන්වලින් ජලස්නානය කොට, පිරිසිදු වස්ත්‍රයෙන් සැරසී, ආභරණ පළඳින්නේ නැතුව මාවතේ ගමන් කරන තරුණයෙක් හෝ තරුණියක් සිටියි. එකල්හි වැඩිහිටියෙක් මෙම දෙදෙනා දැක මෙසේ පවසයි: "ලස්සන ඇඳුම් පැළඳුම් වලින් ගත සරසාගෙන ඇත. එහෙත් බෙල්ලේ ආභරණ දක්නට නැත. මේ මීයාගේ මළකුණක් ලණුවක් දමා ආභරණයක් ලෙස බෙල්ලේ එල්ලා ගන්න."

​එය අසා මේ තරුණයා සහ තරුණිය මහත්සේ ලැජ්ජාවට, පිළිකුලට පත්වෙයි. ඒ ආකාරයෙන්ම පව් කිරීමට අවස්ථාවක් ලැබුණු විටදීම පව පිළිකුල් කරයි නම්, පවට ලැජ්ජා වෙයි නම්, ප්‍රතික්ෂේප කරයි නම් එය හිරි ගුණයයි.

​"හිරීයති කායදුච්චරිතේන, හිරීයති වචීදුච්චරිතේන, හිරීයති මනෝදුච්චරිතේන, හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා."

​කයින් දුසිරිත් කිරීමට ලැජ්ජාවෙයි. වචනයෙන් දුසිරිත් කිරීමට ලැජ්ජාවෙයි. මනසින් දුසිරිත් කිරීමට ලැජ්ජාවෙයි. පාපක අකුසල ධර්මයන්හි යෙදීමට ලැජ්ජාවෙයි.

​මෙම දේශනාව අනුව දස අකුසලයන්හි යෙදීමට ඇති ලැජ්ජාව, පිළිකුල් සහගත බව, අකමැත්ත හිරිගුණය වන බව පැහැදිලිව සඳහන් වෙයි.

ඔත්තප්ප ගුණය

​පව් කිරීමට ඇති බය ඔත්තප්ප යනුවෙන් හඳුන්වයි. කයින් පව් කිරීමට ඇති බය ඔත්තප්පයයි. වචනයෙන් පව් කිරීමට ඇති බය ඔත්තප්පයයි. මනසින් පව් කිරීමට ඇති බය ඔත්තප්පයයි. පාපක අකුසල ධර්මයන්හි යෙදීමට ඇති බය ඔත්තප්පයයි.

​හිරි ගුණය තමා මුල් කරගෙන ඇති කරගත යුතුය. "පාප ධර්ම සිදු කළහොත් මාගේ සිත මටම චෝදනා කරන්නේය. එබැවින් මම පාප ධර්ම නොකළ යුතුය" යනුවෙන් සිතා අත්තවාද භය පදනම් කරගෙන පව් කිරීමෙන් වැළකිය යුතුය. ඔත්තප්ප ගුණය අනුන් මුල් කරගෙන ඇති කරගත යුතුය. "පාප ධර්ම කළහොත් අන් අය මට නින්දා කරන්නේය, අපහාස කරන්නේය, දඬුවම් දෙන්නේය. එබැවින් මම පව් නොකළ යුතුය" යනුවෙන් සිතමින් පාපයෙන් වැළකීම ඔත්තප්පයයි. 

​1. ජාති සම්පන්න බව සිතා පව් නොකිරීම

පාප ධර්ම කිරීම පහත් වූ මිනිසුන් විසින් කරන දෙයකි; ජාති සම්පන්න වූ උසස් අය නොකරන දෙයකි. එබැවින් "මා විසින් පාප ධර්ම නොකළ යුතුය" යනුවෙන් සිතා තමාගේ උසස් බව සලකා පව් නොකිරීම හිරි ගුණයයි. "මා වැනි උසස් කෙනෙකු ප්‍රාණඝාත ආදී පව් නොකළ යුතු යැයි" පවින් වැළකිය යුතුය.

​2. වයස ගැන සිතා පව් නොකිරීම

පව් කිරීම යනු පින් පව් පිළිබඳ නොදන්නා කුඩා දරුවන් විසින් කරන දෙයකි. වයසින් මුහුකුරා ගිය මම පව් නොකළ යුතුය යනුවෙන් සිතා පව් කිරීමෙන් වැළකිය යුතුය.

​3. දක්ෂතාවය නුවණින් විමසා පව් නොකිරීම

පව් කිරීම යනු දක්ෂතාවයක් නැති අය විසින් කරන ලද දෙයකි. "මා විසින් පව් නොකළ යුතුය, මම ඉතා දක්ෂයෙමි, දක්ෂ තැනැත්තාට පව් කිරීම නොගැලපෙන්නේය" එසේ සිතා පාපයෙන් වැළකිය යුතුය.

4. බහුශ්‍රැත බව ගැන සිතා පව් නොකිරීම

පව් කිරීම ධර්මය බොහෝ කොට අසා නැති අයට අයත් වූ දෙයකි. "මම ධර්මය බොහෝ කොට අසා ඇත්තෙමි, මම බහුශ්‍රැත කෙනෙක් වෙමි, එබැවින් මා හට පව් කිරීම නුසුදුසුය" යනුවෙන් සිතා පාපයෙන් වැළකිය යුතුය.

​මෙසේ ජාතිය, වයස, දක්ෂතාවය, බහුශ්‍රැත බව නුවණින් සලකා තමා මුල් කරගෙන පාපයෙන් වැළකීම හිරි ගුණය වන අතර, අන් අය මුල් කරගෙන පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි

සුක්ක ධම්ම සූත්‍රයේ අවසාන  ගාථා

​ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ගාථාවලින්ද එම අර්ථය මෙසේ කියනු ලැබේ:

​“යේසං චේ හිරිඔත්තප්පං, සබ්බදා ච න විජ්ජති;
වොක්කන්තා සුක්කමූලා තේ, ජාතිමරණගාමිනෝ."

​ඉදින් යමෙකුට ලැජ්ජාබය දෙක සෑම කල්හිම දක්නට නොලැබේද, කුසලමූලයන්ගෙන් බැහැර වූ ඔවුහු ජාතිමරණයන්ට යති.

​“යේසඤ්ච හිරිඔත්තප්පං, සදා සම්මා උපට්ඨිතා;
විරූළ්හබ්‍රහ්මචරියා තේ, සන්තෝ ඛීණපුනබ්භවා”ති.

​යම් කෙනෙකුට ලැජ්ජාබය දෙක සෑම කල්හිම මනාව පිහිටියේ නම්, වර්ධනය වූ බඹසර ඇති, සාන්ත ගුණ ඇති, ඔවුහු පුනර්භවය ක්ෂය කළාහුය.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.