පොත් ලැයිස්තුව

සුප්පාවාස සූත්‍රය

star_outline

චතුක්ක නිපාතය අංගුත්තර නිකාය

​එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි සජ්ජනේල නම් කෝලිය රාජ වංශයට අයත් නියම් ගමෙහි වැඩවාසය කරන සේක.

එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය සහ චීවර ගෙන, සුප්පාවාසා නම් කෝලිය රජතුමාගේ දියණියගේ නිවසට වැඩම කළහ. වැඩම කොට පනවන ලද ආසනයෙහි වැඩසිටි සේක.

​එවිට සුප්පාවාසා නම් කෝලියරාජ දියණිය භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ ආහාරපාන සියතින්ම පූජා කළේය. මනාකොට පිළිගැන්වූවේය. ඉන්පසු සුප්පාවාසා කෝලිය දියණිය, බුදුරජාණන් වහන්සේ වැළඳ අවසන් වී පාත්‍රයෙන් අත් ඉවත් කරන ලද්දේ දැක, එකත්පසෙක හිඳ ගත්තාය. එකත්පසෙක හිඳගත් සුප්පාවාසා කෝලිය දියණියට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ:

​“භෝජනං සුප්පවාසේ, දෙන්තී අරියසාවිකා පටිග්ගාහකානං චත්තාරි ඨානානි දේති. කතමානි චත්තාරි?

​සුප්පාවාසාවනි, භෝජන පූජා කරන ආර්ය ශ්‍රාවිකාව, ඒ දානය පිළිගන්න තැනැත්තාට කාරණා හතරක් ලබාදෙයි. එම කාරණා හතර මොනවාද?

ආයුං දේති, වණ්ණං දේති, සුඛං දේති, බලං දේති. ආයුං ඛෝ පන දත්වා ආයුස්ස භාගිනී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. වණ්ණං දත්වා වණ්ණස්ස භාගිනී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. සුඛං දත්වා සුඛස්ස භාගිනී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. බලං දත්වා බලස්ස භාගිනී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. භෝජනං සුප්පවාසේ, දෙන්තී අරියසාවිකා පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දේතී”ති.

​ආයුෂ ලබාදෙයි, ශරීර වර්ණය ලබාදෙයි, සැපය ලබාදෙයි, බලය ලබාදෙයි. ආයුෂ ලබා දීමෙන් දිව්‍යමය වූ හෝ මිනිස්මය වූ හෝ ආයුෂයට හිමිවෙයි. වර්ණය ලබා දී... සැපය ලබා දී... බලය ලබා දී... දිව්‍යමය වූ හෝ මිනිස්මය වූ හෝ ශරීර බලය හිමිකරුවෙක් වෙයි. සුප්පාවාසාවනි, භෝජන පූජා කරන ආර්ය ශ්‍රාවිකාව දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහකයන්ට මේ කාරණා හතර ලබාදෙයි.

සුසංඛතං භෝජනං යා දදාති, සුචිං පණීතං රසසා උපේතං

සා දක්ඛිණා උජ්ජුගතේසු දින්නා, චරණොපපන්නේසු මහග්ගතේසු

පුඤ්ඤේන පුඤ්ඤං සංසන්දමානා, මහප්ඵලා ලෝකවිදූන වණ්ණිතා

​යම් ආර්ය ශ්‍රාවිකාවක් පිරිසිදු, ප්‍රණීත, රසයෙන් යුක්ත වූ භෝජනය මනාව සකස් කොට පූජා කරයිද, පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ, මහත්ගත වූ (රහතන් වහන්සේ හඳුන්වන වචනයකි) රහතන් වහන්සේලා උදෙසා, ලෝකය අවබෝධ කළා වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද, පිනෙන් පින සසඳා (හෙවත් සංසන්දනය කොට) දෙන ලද්දා වූ ඒ දක්ෂිණාව මහත් ඵල වේ.

​“ඒතාදිසං යඤ්ඤමනුස්සරන්තා, යේ වේදජාතා විචරන්ති ලෝකේ

විනෙය්‍ය මච්ඡේරමලං සමූලං, අනින්දිතා සග්ගමුපෙන්ති ඨාන”න්ති

​මෙබඳු දානය සිහිකරන්නා වූ, උපන් ප්‍රීතිය ඇතුව ලෝකයෙහි වාසය කරත්ද, ඔවුහු මුල් සහිතව මසුරු මළකඩ දුරු කොට, අනින්දිත වූවාහු ස්වර්ගස්ථානයට පැමිණෙති.

දන්දීමේ පංචානිසංස

​තමා සතු වස්තුව කෙරෙහි ඇති තණ්හාව දුරු කොට, වෙන කෙනෙකුට එය පරිත්‍යාග කිරීම දානයයි. දන් දෙන තැනැත්තා සීලයක පිහිටා ධාර්මිකව උපයා සපයා ගන්නා ලද වස්තුවෙන් දානය පිළියෙළ කොට, කර්මය හා කර්මඵලය අදහාගෙන, බුද්ධ ශ්‍රාවකයෙකු නම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවද ඇති කරගෙන, එම දානය සිල්වත් කෙනෙකුට පූජා කරන්නේ නම් මහත් ඵල මහානිසංස වන බව, මජ්ඣිම නිකායේ දක්ඛිණාවිභංග සූත්‍රයෙහි සඳහන් වෙයි. දන් දෙන තැනැත්තාට විශේෂයෙන් ආනිසංස පහක් ලැබෙයි. මෙලොවද පරලොවද දීර්ඝායුෂ ලැබෙයි, ශරීර වර්ණය ලැබෙයි, සැපය ලැබෙයි, (ප්‍රියමනාප කාමවස්තූන්ගේ සැපය ලැබෙයි), කායික බලයද නුවණද ලැබෙයි. දන් දීමෙන් ලැබෙන්නේ මෙම පංච ආනිසංස පමණක් නොවේ. මිනිස් ලොව මිනිස් සම්පත් ලැබීමටත්, දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබීමටත්, ඉන්පසු නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමටත් දානය උපකාර වෙයි. ඒ බව මෙසේ දේශනා කළහ.

​මානුසිකාච සම්පත්ති,

දේව ලෝකේ ච යා රති,

අථෝ නිබ්බානසම්පත්ති,

සබ්බ මේ තේන ලබ්බති. (නිධිකණ්ඩ සූත්‍රය, ඛුද්දක පාඨ)

​මිනිස් ලොව මිනිස් සම්පත්ද, දෙව්ලොව කැමති වන දිව්‍ය සම්පත්ද, නිර්වාණ සම්පත්තියද යන මේ සියලු සම්පත් ලබන්නේය.

​දානයක් පූජා කරන විට විශේෂයෙන් අවධානය කළ යුතු කාරණා කීපයක්ද තිබේ:

  1. සුචිං – පිරිසිදුව දානය සකස් කළ යුතුය.
  2. පණීතං – ප්‍රණීත රසයෙන් යුතුව දානය සකස් කළ යුතුය.
  3. ​කාලේන – සුදුසු කාලයෙහි දානය පූජා කළ යුතුය.
  4. ​කප්පියං – කැප දේවල් වලින් දානය සකස් කළ යුතුය. ඉන් අදහස් කරන්නේ ධාර්මිකව ලද ධනයෙන්ම දානය සකස් කළ යුතු බවයි.(තිරෝකුඩ්ඩ සූත්‍රය ඛුද්දක පාඨ)

​පුබ්බේව දානා සුමනෝ,

දදං චිත්තං පසාදයේ,

දත්වා අත්තමනෝ හෝති,

ඒසා යඤ්ඤස්ස සම්පදා. (ඡළංග දාන සූත්‍රය, අංගුත්තර නිකාය)

​දානය දීමට පෙර සතුටු සිතින් යුතුව සකස් කරන්න. සිත පහදවාගෙන සතුටෙන් දානය පූජා කරන්න. දානය පූජා කිරීම අවසන් වූ පසු ඒ ගැන සිතා සතුටට පත්වෙන්න. එය දන්දෙන තැනැත්තාගේ සම්පත්තියයි.