අංගුත්තර නිකාය - නාථ වර්ගය - දසක නිපාතය
සැවැත් නුවරදී...
මහණෙනි, අංග පහකින් සමන්වාගත වූ භික්ෂුව, අංග පහකින් සමන්වාගත සේනාසනයන් ඇසුරු කරන්නේ, භජනය කරන්නේ, නොබෝ කලකින් ම ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චේතෝවිමුක්තියත්, ප්‍රඥාවිමුක්තියත් මේ ජීවිතයේදීම තමා විසින් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට, සාක්ෂාත් කොට, එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, භික්ෂුව පංච අංගයන්ගෙන් සමන්වාගත වන්නේ කෙසේද?
1. ශ්‍රද්ධාවෙන් යුක්ත වීම:
ඉධ භික්ඛවේ භික්ඛු සද්ධෝ හෝති, සද්දහති තථාගතස්ස බෝධිං: ‘ඉති පි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තේ වෙයි; තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහයි: "හෙවත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං ගුණයෙන් යුක්තය, සම්මාසම්බුද්ධ ගුණයෙන් යුක්තය, විජ්ජාචරණසම්පන්න ගුණයෙන් යුක්තය, සුගත ගුණයෙන් යුක්තය, ලෝකවිදූ ගුණයෙන් යුක්තය, අනුත්තර පුරිසදම්මසාරථී ය, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ ය, බුද්ධ ය, භාග්‍යවත් වූ සේක" යනුවෙනි.)
2. අල්පාබාධ වීම (ශරීර සෞඛ්‍යය):
අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහණියා සමන්නාගතෝ නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය.
අල්ප ආබාධ ඇති, අල්ප රෝග පීඩා ඇති, අධික සීතල නොවූ, අධික උෂ්ණ නොවූ, කෙලෙස් තවන වීර්යය ඉවසිය හැක්කා වූ, මධ්‍යම වූ කර්මජ තේජෝ ධාතුවෙන් සමන්වාගත වෙයි.
3. අවංක වීම (මායා රහිත වීම):
අසඨෝ හෝති අමායාවී, යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරිසු.
වංචනික නොවූ, නැති ගුණ හඟවන මායාවෙන් තොර වූ, ඇති ආකාරයෙන්ම තමා ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති බ්‍රහ්මචාරීන් වහන්සේලාට පහළ කරන, කෙනෙක් වෙයි.
4. ආරබ්ධවීර්ය වීම (උත්සාහයෙන් යුක්ත වීම):
ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු.
අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස අරඹන ලද වීර්යය ඇති, ස්ථිර වූ, දැඩි පරාක්‍රම ඇති, කුසල ධර්මයන්හි වීර්යය අත් නොහරින කෙනෙක් වෙයි.
5. ප්‍රඥාවෙන් යුක්ත වීම:
පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
ආර්ය වූ, ලෝභ ස්කන්ධ ආදිය බිඳදැමීමට සමර්ථ වූ, මනාකොට දුක් ගෙවා දමන, පංචස්කන්ධයේ ඇතිවීම හා නැතිවීම දකින ප්‍රඥාවකින් යුක්ත වෙයි.
ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු පංචංගසමන්නාගතෝ හෝති.
මහණෙනි, මෙසේ භික්ෂුව පංචාංග සමන්වාගත වෙයි.
කථඤ්ච භික්ඛවේ සේනාසනං පංචංගසමන්නාගතං හෝති?
මහණෙනි, සේනාසනය පංචාංග සමන්වාගත වන්නේ කෙසේද?
6. ඉධ භික්ඛවේ සේනාසනං නාතිදූරං හෝති නාච්චාසන්නං ගමනාගමනසම්පන්නං.
මහණෙනි, මේ ශාසනයෙහි සේනාසනය ඉතා දුර නොවන, ඉතා ළඟ නොවන, ගමනාගමනයට පහසු වූ එකක් වෙයි.
7. දිවා අප්පකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝෝසං.
දහවල් කාලයේ මිනිසුන් නොගැවසෙන, රාත්‍රී කාලයෙහි ශබ්ද අඩු, ඝෝෂා අඩු (සෙනසුනක්) වෙයි.
8. අප්පඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සං.
මැස්සන්ගේද, මදුරුවන්ගේද, වාතයේද, අව්වේද, සර්පයන්ගේද ස්පර්ශය නැති වෙයි.
9. තස්මිං ඛෝ පන සේනාසනේ විහරන්තස්ස අප්පකසිරේනේව උප්පජ්ජන්ති චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරා.
ඒ සේනාසනයෙහි වාසය කරන තැනැත්තාට අපහසුවකින් තොරව සිවුරු, පිණ්ඩපාතය, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර උපදින්නේය.
10. තස්මිං ඛෝ පන සේනාසනේ ථේරා භික්ඛු විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: “ඉදම්භන්තේ කථං ඉමස්ස කෝ අත්ථෝ”ති. තස්ස තේ ආයස්මන්තෝ අවිවටඤ්චේව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනේකවිහිතේසු ච කංඛාඨානීයේසු ධම්මේසු කංඛං පටිවිනෝදෙන්ති.
එම සේනාසනයෙහි බහුශ්‍රුත වූ, ත්‍රිපිටකය ඉගෙන ගත්තා වූ, ධර්මධර වූ, විනයධර වූ, මාතිකාධර (ප්‍රාතිමෝක්ෂ ද්වය සංඛ්‍යාත මාතෘකා දරන) තෙරුන් වහන්සේලා වැඩ සිටිති. උන්වහන්සේලා සමීපයට කාලයෙන් කාලයට එළඹ, "ස්වාමීනී, මෙය කෙසේද? මෙහි අර්ථය කුමක්ද?" යි ප්‍රශ්න විමසන්නේය, නැවත නැවත විමසන්නේය. එවිට උන්වහන්සේලා ඔහුට නොවිවෘත වූ අර්ථය විවෘත කරති; පහළ නොවූ දෙය පහළ කරති. නොයෙක් ආකාරයේ සැකකටයුතු ධර්මයන්හි සැකය දුරලති.
ඒවං ඛෝ භික්ඛවේ සේනාසනං පඤ්චංගසමන්නාගතං හෝති. පඤ්චංගසමන්නාගතෝ ඛෝ භික්ඛවේ භික්ඛු පඤ්චංගසමන්නාගතං සේනාසනං සේවමානෝ භජමානෝ න චිරස්සේව ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේවධම්මේ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති.
සිංහල පරිවර්තනය:
මහණෙනි, මෙසේ සේනාසනය අංග පහකින් සමන්වාගත වෙයි. මහණෙනි, අංග පහකින් සමන්වාගත වූ භික්ෂුව, අංග පහකින් සමන්වාගත සේනාසනය ඇසුරු කරන්නේ, භජනය කරන්නේ, නොබෝ කාලයකින්ම ආශ්‍රවයන්ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චේතෝවිමුත්තියත්, ප්‍රඥාවිමුත්තියත් මේ ජීවිතයේදීම තමා විසින් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට, සාක්ෂාත් කොට, එයට පැමිණ වාසය කරන්නේය.
ධර්මාර්ථ විවරණය
නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමට කැමති භික්ෂුවක් අංග පහකින් යුක්ත විය යුතුය; එසේම අංග පහකින් යුක්ත වූ සේනාසන ඇසුරු කරමින් වාසය කළ යුතුය. නිවන් අවබෝධ කරනු කැමති භික්ෂුව බුද්ධ රත්නය කෙරෙහි මහත් වූ සද්ධාවක් ඇති, තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හෙවත් අවබෝධය (සර්වඥතා ඥානය) අදහන කෙනෙක් විය යුතුය. ඒ තථාගතයන් වහන්සේගේ නව මහා බුදුගුණ පිළිගන්නා කෙනෙක් විය යුතුය.
එසේම භික්ෂුව නීරෝගී සම්පත්තියෙන් යුක්ත විය යුතුයි. අධික සීතල නොවූ, අධික උෂ්ණ සහගත නොවූ, මනාකොට ආහාරපාන දිරවන සුලු කර්මජ තේජෝ ධාතුවකින් සමන්වාගත වූ ආමාසයක් (උදරයක් ) තිබිය යුතුය. ආහාරපාන මනාකොට දිරවන කල්හි නොයෙක් රෝගාබාධයෝ හට නොගනිති. නිවැරදි ලෙස ආහාරපාන ජීරණය නොවීම නිසාම නොයෙක් රෝගාබාධයෝ හට ගනිති.
භික්ෂුව වංචනික නොවිය යුතුය; නැති ගුණ හඟවන මායාකාරී කෙනෙක් නොවිය යුතුය. තමාගේ ජීවිතයේ ස්වභාවය ඇත්ත ඇති සැටියෙන්ම ශාස්තෘන් වහන්සේට ප්‍රකාශ කරන, නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රකාශ කරන අවංක කෙනෙක් විය යුතුය.
භික්ෂුව වීර්යවන්ත කෙනෙක් විය යුතුය. අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා ස්ථිර වූ, දැඩි වූ පරාක්‍රම වීර්යයක යෙදෙන, කුසල ධර්මයන්හි අත් නොහරින ලද වගකීම් ඇති කෙනෙක් විය යුතුය.
භික්ෂුව ප්‍රඥාවන්ත විය යුතුය. ආර්ය වූ, ලෝභස්කන්ධය ආදී මහා කෙලෙස් සමූදායන් බිඳ දැමීමට සමර්ථ වූ හෙවත් නිබ්බේධික වූ, මනාකොට දුක් ගෙවා දමන්නා වූ, පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම හෙවත් සමුදය සහ වය දකින නුවණකින් යුක්ත විය යුතුය.
මෙම අංග පහෙන් යුක්ත වූ භික්ෂුව අංග පහකින් යුක්ත සේනාසන ඇසුරු කළ යුතුය.
තමන් වාසය කරන සේනාසනය මිනිස් වාසයට ඉතා ළඟ නොවිය යුතුය; ඉතා දුර නොවිය යුතුය. දහවල් කාලයේදී මිනිසුන් නොගැවසෙන තැනක් විය යුතුය. රාත්‍රී කාලයේදී නිහඬ පරිසරයක් ඇති ස්ථානයක් විය යුතුය.
එබඳු සේනාසනයක වාසය කරන විට පිණ්ඩපාතයේ වැඩම කිරීම ඉතා අපහසු නොවේ. ගමන් කරන විට කාය පීඩා, චිත්ත පීඩා ඇති නොවෙයි. ඒ තුළින් නූපන්නා වූ සමාධිය උපදවා ගැනීමටත්, උපන්නා වූ සමාධිය ස්ථීර කර ගැනීමටත් එය උපකාර වෙයි. එසේම බොහෝ මිනිසුන් ගැවසෙන ස්ථානයන් ද, අධික ලෙස මැසි මදුරුවෝ ගැවසෙන ස්ථාන ද යන මේවායේ නොයෙක් බාධකයෝ ඇත. එබැවින් ඒවා දුරු කරන ලද සෙනසුන් වටින්නේය.