අංගුත්තර නිකාය - පංචක නිපාතය
පාලි මූල කොටස:
තථාගතස්ස අරහතෝ සම්මාසම්බුද්ධස්ස පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං। තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසේතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං। තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසිතස්ස විඤ්ඤාතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං। තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසිතස්ස විඤ්ඤාතස්ස ධම්මානුධම්මපටිපන්නෝ පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං। කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං।
ඉමේසං ඛෝ ලිච්ඡවී, පඤ්චන්නං රතනානං පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මින්ති.
(මෙම දේශනාවෙහි සියලු පාලි කොටස් නොදක්වනු ලැබේ.
අදහස පමණක් දක්වනු ලැබේ.)
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ වේසාලා මහනුවර මහා වනයෙහි කුටාගාර ශාලාවෙහි වැඩසිටි සේක. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍ර චීවර ගෙන වේසාලා මහනුවර පිඬු පිණිස වැඩම කළහ.
ඒ කාලයෙහි සාරංදද චෛත්‍යස්ථානයෙහි රැස්ව සිටියා වූ පන්සියයක් පමණක්ම වූ ලිච්ඡවී රජදරුවන් අතර මෙම කතාව ඇති විය. "ලෝකයෙහි රත්න පහක පහළවීම ඉතා දුර්ලභ වෙයි. කවර රත්න පහක් ද යත්; ලෝකයෙහි හස්ති රත්නයාගේ පහළවීම දුර්ලභය, අශ්ව රත්නයේ පහළවීම දුර්ලභය, මණි (මැණික්) රත්නයේ පහළවීම දුර්ලභය, ලෝකයෙහි ස්ත්‍රී රත්නයෙහි පහළවීම දුර්ලභය, ලෝකයෙහි ගෘහපති රත්නයෙහි පහළවීම දුර්ලභය. ලෝකයෙහි මේ රතන පහ පහළවීම දුර්ලභ වේ" යනුවෙනි.
එකල්හි ඒ ලිච්ඡවී වරු, "එම්බා පුරුෂය, යම් අවස්ථාවකදී ඔබ භාග්‍යවතුන් වහන්සේ වඩිනවා දුටුයෙහිද, එවිට අපට දන්වන්න" යනුවෙන් කියා මාර්ගයෙහි පුරුෂයෙකු රඳවන ලදී. ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේ වඩින ආකාරය දුරදීම දුටුවේය. දැක, ඒ ලිච්ඡවීන් සමීපයට ගියේය. ගොස් ලිච්ඡවීන්ට මෙය කීවේය: "භවත්නි, අරිහත් වූ, සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක; දැන් කාලය දැනගන්න."
එවිට ඒ ලිච්ඡවීවරු භාග්‍යවතුන් වහන්සේ සමීපයට එළැඹියහ. එළැඹ, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියා වූ ඒ ලිච්ඡවීවරු භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ:
"ස්වාමීනී, ඉල්ලා සිටිමු; භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා සාරන්දද චෛත්‍යස්ථානයට වැඩම කරන සේක්වා."
භාග්‍යවතුන් වහන්සේ නිහඬතාවෙන් ආරාධනාව ඉවසූ සේක. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ සාරන්දද චෛත්‍යස්ථාන සමීපයට වැඩම කළ සේක. වැඩම කොට, පනවන ලද ආසනයෙහි වැඩ සිටි සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙය දේශනා කළ සේක:
"ලිච්ඡවීවරුනි, දැන් ඔබලා කවර නම් කතාවකින් යුක්තව රැස්ව සිටියෝද? ඔබලාගේ කවර නම් අතුරු කතාවක් අඩාල වූවාද?"
"ස්වාමීනී, මෙහි රැස්ව සිටි අප අතරින් මේ නම් අතුරු කතාවක් ඉපදුණේය: 'ලෝකයෙහි රත්න පහකගේ පහළවීම දුර්ලභ වෙයි. කවර රත්න පහකගේ පහළවීමද යත්; ලෝකයෙහි හස්ති රත්නයේ පහළවීම දුර්ලභය, ලෝකයෙහි අශ්ව රත්නයේ පහළවීම දුර්ලභය, ලෝකයෙහි මණි රත්නයේ පහළවීම දුර්ලභය, ලෝකයෙහි ස්ත්‍රී රත්නයේ පහළවීම දුර්ලභය, ලෝකයෙහි ගෘහපති රත්නයේ පහළවීම දුර්ලභය. ලෝකයෙහි මේ රත්න පහේ පහළවීම දුර්ලභයි' යනුවෙනි."
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: "කාමයන්හි අධික ලෙස ඇලුන ලිච්ඡවීන් වන ඔබලා අතරින් කාමය අරමුණු කරගෙනම අතුරු කතාවක් උපන්නේය.
ලිච්ඡවීවරුනි, ලෝකයෙහි රත්න පහක පහළවීම දුර්ලභය. කවර රත්න පහක පහළවීම දුර්ලභද යත්:
තථාගතස්ස අරහතෝ සම්මාසම්බුද්ධස්ස පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසේතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසිතස්ස විඤ්ඤාතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං. තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසිතස්ස විඤ්ඤාතස්ස ධම්මානුධම්මපටිපන්නෝ පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං. කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං.
1. ලෝකයෙහි තථාගත අරිහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම දුර්ලභ වෙයි.
2. ලෝකයෙහි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්ම විනය දේශනා කරන පුද්ගලයා දුර්ලභ වෙයි.
3. ලෝකයෙහි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දේශිත ධර්ම විනය දැනගන්නා වූ පුද්ගලයා දුර්ලභ වෙයි.
4. ලෝකයෙහි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ දේශිත ධර්ම විනය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව පිළිපදින පුද්ගලයා දුර්ලභ වෙයි.
5. ලෝකයෙහි කතඤ්ඤු කතවේදී පුද්ගලයා දුර්ලභ වෙයි."
ලිච්ඡවීවරුනි, මේ රත්න පහෙහි පහළවීම දුර්ලභ වේ යැයි වදාළ සේක.