පොත් ලැයිස්තුව

සප්පුරිස දාන සුත්තං

star_outline

අංගුත්තර නිකාය (තතියෝ භාගෝ) පඤ්චක නිපාතෝ

​(සාවත්ථිනිදානං)

පඤ්චිමානි භික්ඛවේ සප්පුරිසදානානි. කතමානි පඤ්ච:

මහණෙනි, මේ සත්පුරුෂ දාන පහකි. ඒ පහ කවරේද?

සද්ධාය දානං දේති, සක්කච්චං දානං දේති, කාලේන දානං දේති, අනග්ගහිතචිත්තෝ දානං දේති, අත්තානං ච පරං ච අනුපහච්ච දානං දේති.

ශ්‍රද්ධාවෙන් දානය දෙයි, සකස් කොට දානය දෙයි, සුදුසු කාලයෙහි දානය දෙයි, දෙන දෙය කෙරෙහි සිතෙහි ඇලීමෙන් තොරව (බැඳීම නැතිව) දානය දෙයි, තමාටත් අනුන්ටත් පීඩා නොකොට දානය දෙයි.

සද්ධාය ඛෝ පන භික්ඛවේ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති, අඩ්ඪෝ ච හෝති මහද්ධනෝ මහාභෝගෝ. අභිරූපෝ ච හෝති දස්සනීයෝ පාසාදිකෝ පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතෝ.

මහණෙනි, ශ්‍රද්ධාවෙන් යුතුව දන් දී යම් යම් තැනක ඒ දානයේ විපාක වශයෙන් උපදින්නේ නම්, මහත් ධනය ඇති, මහා භෝග සම්පත් ඇති, ආඪ්‍ය (ධනවත්) කෙනෙක් වෙයි. තවද අභිරූප වෙයි, දර්ශනීය වෙයි, උතුම් වර්ණ ශරීර වර්ණයෙන් යුක්ත වෙයි.

සක්කච්චං ඛෝ පන භික්ඛවේ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති, අඩ්ඪෝ ච හෝති මහද්ධනෝ මහාභෝගෝ. යේපිස්ස තේ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තේපි සුස්සූසන්ති, සෝතං ඕදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති.

මහණෙනි, සකස් කොට දන් දී යම් යම් තැනක ඒ දානයේ විපාක වශයෙන් උපත ලබන්නේ නම්, මහත් ධනය ඇතිව, මහා භෝග ඇතිව ආඪ්‍ය වෙයි. පුතුන් හෝ, අඹුවන් (භාර්යාවන්) හෝ, දාසයන් හෝ, මෙහෙකරුවන් හෝ, කම්කරුවන් හෝ යම් පිරිවරක් ඔහුට වෙත් නම්, ඔවුහුද (ඔහුට) කීකරු වෙති; කන් යොමු කරති; (උපදෙස්) දැනගැනීම සඳහා සිත පිහිටුවති.

කාලේන ඛෝ පන භික්ඛවේ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති, අඩ්ඪෝ ච හෝති මහද්ධනෝ මහාභෝගෝ. කාලාගතා චස්ස අත්ථා පචුරා හොන්ති.

මහණෙනි, සුදුසු කාලයෙහි දන් දී යම් යම් තැනක ඒ දානයේ විපාක වශයෙන් උපදින්නේ නම්, මහත් ධනය ඇති, මහා භෝග ඇති, ආඪ්‍ය කෙනෙක් වෙයි. නිසි කල්හි ලැබිය යුතු ඔහුගේ අර්ථ (ප්‍රයෝජන හා යහපත) බහුල වෙති.

​අනග්ගහිතචිත්තෝ ඛෝ පන භික්ඛවේ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති, අඩ්ඪෝ ච හෝති මහද්ධනෝ මහාභෝගෝ. උළාරේසු ච පඤ්චසු කාමගුණේසු භෝගාය චිත්තං නමති.

මහණෙනි, දෙන දෙය කෙරෙහි සිතේ ඇලීමෙන් තොරව (බැඳීමක් නැතිව) දන් දී යම් යම් තැනක ඒ දානයේ විපාක වශයෙන් උපදින්නේ නම්, මහත් ධනය හා මහා භෝග ඇතිව ආඪ්‍ය වෙයි; උතුම් වූ පංචකාම ගුණයන් (පංච කාම සම්පත්. ) අනුභව කිරීම සඳහා ඔහුගේ සිත නැඹුරු වෙයි.

අත්තානඤ්ච පරඤ්ච අනුපහච්ච ඛෝ පන භික්ඛවේ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති, අඩ්ඪෝ ච හෝති මහද්ධනෝ මහාභෝගෝ. න චස්ස කුතෝචි භෝගානං උපඝාතෝ ආගච්ඡති අග්ගිතෝ වා උදකතෝ වා රාජතෝ වා චෝරතෝ වා

අප්පියදායාදතෝ වා.

මහණෙනි, තමාටත් අනුන්ටත් පීඩා නොකොට දන් දී යම් යම් තැනක ඒ දානයේ විපාක වශයෙන් උපදින්නේ නම්, මහත් ධනය ඇති, මහා භෝග ඇති, ආඪ්‍ය කෙනෙක් වෙයි. ගින්නෙන් හෝ, ජලයෙන් හෝ, රජුන්ගෙන් හෝ, සොරුන්ගෙන් හෝ, අප්‍රිය දායාදයන්ගෙන් හෝ කිසිවෙකුගෙන් ඔහුට භෝගයන්ගේ (ධනයෙහි) විනාශයක් හෝ උපද්‍රවයක් නොපැමිණෙයි.

ඉමානි ඛෝ භික්ඛවේ පඤ්ච සප්පුරිසදානානීති.

මහණෙනි, මේ සත්පුරුෂ දාන පහයි.