පොත් ලැයිස්තුව

සඤ්ඤෝජන සුත්තං

star_outline

අංගුත්තර නිකාය - දසක නිපාතෝ

​(සාවත්ථියං)

සැවැත් නුවරදී...

​"දස ඉමානි භික්ඛවේ සංයෝජනානි, කතමානි දස: පඤ්චෝරම්භාගියානි සංයෝජනානි, පඤ්චුද්ධම්භාගියානි සංයෝජනානි."

​මහණෙනි, සංයෝජන දහයකි. එම දහය කවරේද යත්: ඕරම්භාගීය හෙවත් පහළ කාම ලෝකයට ඇද තබන සංයෝජන පහකි; උද්ධම්භාගීය හෙවත් රූප-අරූප ලෝක නම් ඉහළට ඇද තබන සංයෝජන පහකි.

​"කතමානි පඤ්චෝරම්භාගියානි සංයෝජනානි: සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසෝ, කාමච්ඡන්දෝ, බ්‍යාපාදෝති. ඉමානි පඤ්චෝරම්භාගිය සංයෝජනානි."

​මහණෙනි, ඕරම්භාගීය සංයෝජන කවරේද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදයයි. මහණෙනි, මේවා ඕරම්භාගීය සංයෝජන පහයි.

​ධර්මාර්ථ විස්තරය

​සංයෝජන යනු බන්ධනයයි. සත්වයා සසරට බැඳ තබන කෙලෙස් දහයකි. එම කෙලෙස් සත්වයාට සසරින් ගැලවීමට නොදී සසරට බැඳ තබන්නාක් මෙන් සසරෙහි රඳවා ගනිති. එම සංයෝජන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙයි; එනම් ඕරම්භාගීය හා උද්ධම්භාගීය වශයෙනි. ඕරම්භාගීය යනු පහළට ඇද තබන සංයෝජනයයි; උද්ධම්භාගීය යනු ඉහළට ඇද තබන සංයෝජනයයි.

​පහළ යනු නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායද, මිනිස් ලෝකයද, දිව්‍ය ලෝක හයද යන කාම ලෝකයෝය. ඉහළ යනු රූපාවචර බ්‍රහ්ම ලෝකද අරූපාවචර බ්‍රහ්ම ලෝකද යන ඉහළ ලෝකයන්ය. ඉහත සඳහන් කරන ලද ඡේදයෙන් ඕරම්භාගීය සංයෝජන පහ දක්වා ඇත. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග (කාමච්ඡන්ද), ව්‍යාපාද යන සංයෝජන ධර්මයෝමය.

​සක්කාය දිට්ඨිය

​"තං පුග්ගලං වට්ටස්මිං සංයෝජෙන්ති බන්ධන්ති සංයෝජනා."

තේරුම: "ඒ පුද්ගලයා සසරෙහිම යොදවන්නා වූ, බැඳ තබන්නා වූ ක්ලේශයෝ සංයෝජන නම් වෙති." (ධම්ම සංඝණී අට්ඨකථා)

​"ආරම්මණං උපගන්ත්වා සංයෝජනං සංවඩ්ඪන්තේන සංයෝජනානං හිතාති = සංයෝජනා."

තේරුම: "අරමුණකට පැමිණ, ඒ බන්ධනය සංවර්ධනය කරන, බන්ධනයට හිතවූ දෙය සංයෝජනයයි." (ධම්ම සංඝණී අට්ඨකථා)

​සක්කාය යනු පංච උපාදානස්කන්ධයට නමකි. (චූලවේදල්ල සූත්‍රය) පංච උපාදානස්කන්ධය තුළ ආත්මයක් ඇතැයි වරදවා ගැනීම සක්කාය දිට්ඨියයි. කෙටියෙන් සඳහන් කළහොත්, රූපය මගේය, රූපය මමය, රූපය මගේ ආත්මයයි යනුවෙන් සිතන ස්වභාවය රූපය පිළිබඳ සක්කාය දිට්ඨියයි. වේදනාව මගේය, වේදනාව මමය, වේදනාව මාගේ ආත්මයයි යනුවෙන් හිතන ස්වභාවය වේදනාව පිළිබඳ සක්කාය දිට්ඨියයි. සංඥාව මගේය, සංඥාව මමය, සංඥාව මාගේ ආත්මයයි යනුවෙන් වරදවා සැලකීම සංඥාව පිළිබඳ සක්කාය දිට්ඨියයි. සංස්කාර මගේය, සංස්කාර මමය, සංස්කාර මාගේ ආත්මයයි යනුවෙන් වරදවා සැලකීම සංස්කාර පිළිබඳ සක්කාය දිට්ඨියයි. විඤ්ඤාණය මගේය, විඤ්ඤාණය මමය, විඤ්ඤාණය මාගේ ආත්මයයි යනුවෙන් සැලකීම විඤ්ඤාණය පිළිබඳ සක්කාය දිට්ඨියයි.

​"රූපං මෙ අත්තා, වේදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සඞ්ඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තා."

තේරුම: "රූපය මාගේ ආත්මයයි, වේදනාව මාගේ ආත්මයයි, සංඥාව මාගේ ආත්මයයි, සංස්කාර මාගේ ආත්මයයි, විඤ්ඤාණය මාගේ ආත්මයයි." (චූල සච්චක සූත්‍රය - මජ්ඣිම නිකාය)

​චූල සච්චක සූත්‍රයේ සඳහන් වන එම පාඨයෙන් සච්චක තමාගේ ආත්ම දෘෂ්ටිය පැහැදිලි කරන ආකාරය දැක්වෙයි. එසේ පංච උපාදානස්කන්ධය මාගේ ආත්මය යැයි කියා සිතන ස්වභාවය සක්කාය දිට්ඨියයි.

​"කිස්‌මිං නු ඛෝ භික්ඛවේ, සති කිං උපාදාය කිං අභිනිවිස්‌ස සක්‌කායදිට්‌ඨි උප්‌පජ්‌ජතීති?"

තේරුම: "මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් උපාදාන කරගෙන, කුමකට බැසගෙන සක්කාය දිට්ඨිය උපදීද?"

​"භගවංමූලකා නෝ භන්තේ, ධම්‌මා... (පෙ)..."

තේරුම: "ස්වාමීනී, ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. එබැවින් භාග්‍යවතුන් වහන්සේම එය දේශනා කරන සේක්වා."

"රූපේ ඛෝ භික්ඛවේ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්‌ස සක්‌කායදිට්‌ඨි උප්‌පජ්‌ජති. වේදනාය සති... (පෙ)... සඤ්‌ඤාය සති... (පෙ)... සංඛාරේසු සති... (පෙ)... විඤ්ඤාණේ සති විඤ්‌ඤාණං උපාදාය විඤ්‌ඤාණං අභිනිවිස්‌ස සක්‌කායදිට්‌ඨි උප්‌පජ්‌ජති."

තේරුම: "මහණෙනි, රූපය ඇති කල්හි, රූපය උපාදාන කරගෙන, රූපයට පිවිස සක්කාය දිට්ඨිය උපදියි. වේදනාව ඇති කල්හි වේදනාව උපාදාන කරගෙන වේදනාවට බැසගෙන සක්කාය දිට්ඨිය උපදී. සංඥාව ඇති කල්හි සංඥාව උපාදාන කරගෙන සංඥාවට බැසගෙන සක්කාය දිට්ඨිය උපදී. සංස්කාර ඇති කල්හි සංස්කාර උපාදාන කරගෙන සංස්කාරයන්ට බැසගෙන සක්කාය දිට්ඨිය උපදී. විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය උපාදාන කරගෙන විඤ්ඤාණයට පිවිස සක්කාය දිට්ඨිය උපදී." (සක්කාය දිට්ඨි සූත්‍රය - සංයුත්ත නිකාය)

​මේ අනුව, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ඇති කල්හි ඒවා මමය, මගේය, මගේ ආත්මය යනුවෙන් උපාදාන කරගෙන, තණ්හාවෙන්ද දිට්ඨියෙන්ද මානයෙන්ද දැඩිව ග්‍රහණය කරගෙන, තණ්හා-දිට්ඨි-මාන වශයෙන් ඒවාට පිවිස සක්කාය දිට්ඨිය උපදින බව තථාගතයන් වහන්සේ සංයුත්ත නිකායේ සක්කාය දිට්ඨි සූත්‍රයේදී දේශනා කළහ.

සංයෝජන සූත්‍රයේ අවසාන කොටස.

"කතමානි පඤ්චුද්ධම්භාගියානි සංයෝජනානි: රූපරාගෝ, අරූපරාගෝ, මානෝ, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛෝ පඤ්චුද්ධම්භාගියානි සංයෝජනානි. ඉමානි ඛෝ භික්ඛවේ දසසංයෝජනානීති."

​මහණෙනි, උද්ධම්භාගීය සංයෝජන පහ කවරේද? රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාවයි. මහණෙනි, මේවා උද්ධම්භාගීය සංයෝජන පහයි.

මහණෙනි, මේ සංයෝජන දහය වෙති.

​ධර්මාර්ථ විස්තරය

​රූපරාගය යනු:

රූපාවචර ධ්‍යාන කෙරෙහි ඇති ඉතා සියුම් වූ ඇල්ම හෙවත් ධ්‍යාන නිකාන්තියද, රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමට ඇති තණ්හාවද රූපරාග යන නමින් හඳුන්වනු ලබයි.

​අරූපරාගය යනු:

අරූපාවචර ධ්‍යාන කෙරෙහි ඇති ඉතා සියුම් ඇල්ම ද අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමට ඇති තණ්හාවද අරූපරාග යන නමින් හඳුන්වනු ලබයි.

​මානය යනු:

තමා උසස්ය, තමා සමානය, තමා පහත්ය ආදී වශයෙන් තමා පිළිබඳව ඇතිවෙන උඩඟුබවයි.

​උද්ධච්චය යනු:

සිතේ විසිරීමයි. එක අරමුණක සිත නොපැවතී, භාවනා ආදී යමක් කරන විට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර අරමුණු වෙත සිත ගමන් කරන ස්වභාවය උද්දච්චයයි. සිතෙහි නොසන්සිඳුණු බව සහ අසමාහිත බව උද්දච්චයයි.

​අවිද්‍යාව යනු:

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධ නොවීමයි.

පාලි මූල කොටස:

​"තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ."

​මහණෙනි, මේ ගැන කුමක් සිතන්නේද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද? අනිත්‍යයි, ස්වාමීනී.

​"යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ."

​යමක් අනිත්‍ය නම්, එය දුකක් හෝ වේද, සැපයක් හෝ වේද? දුකයි, ස්වාමීනී.

​"යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අපි නු තං අනුපාදාය සක්කායදිට්‌ඨි උප්‌පජ්‌ජෙය්‍යාති ? නෝ හේතං භන්තේ."

(සක්කාය දිට්ඨි සූත්‍රය - සංයුත්ත නිකාය)

​යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, එය උපාදාන කර නොගන්නේ නම් සක්කාය දිට්ඨිය උපදින්නේද? නැත, ස්වාමීනී.

​මෙම දේශනාවට අනුව රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වඩන්නේ නම්, "මමය, මගේය, මගේ ආත්මය" යනුවෙන් රූපය උපාදාන කර නොගන්නේ නම්, ඔහුට සක්කාය දිට්ඨිය නූපදින බව සඳහන් කළ හැකිය. මේ ආකාරයට වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මේවාද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා නුවණින් දැකීම, විදර්ශනාව වැඩීම සක්කාය දිට්ඨිය දුරු කරන මාවතයි.

​විචිකිච්ඡාව සංයෝජනය. .

​බුද්ධ රත්නය ගැනද, ධර්ම රත්නය ගැනද, සංඝ රත්නය ගැනද, සීල-සමාධි-ප්‍රඥා යන ත්‍රී ශික්ෂා ගැනද, පටිච්ච සමුප්පාද ධර්මය ගැනද, අතීතයේ පැවති ස්කන්ධ-ධාතු-ආයතන ගැනද, අනාගතයේ පහළ වන ස්කන්ධ-ධාතු-ආයතන ගැනද, අතීත-අනාගත කාල දෙකටම අයත් ස්කන්ධ-ධාතු-ආයතන ගැනද සැක සංකා ඉපදවීම විචිකිච්ඡා සංයෝජනයයි. (ධම්ම සංඝණී අට්ඨකථා)

​සීලබ්බත පරාමාස සංයෝජනය.

​මේ සසුනෙන් බැහැර වූ, වෙනත් ශාසනයකට අයත් වූ සීලයන්ගෙන් හෝ ව්‍රතයන්ගෙන් හෝ කෙලෙසුන් නසා පිරිසිදු විය හැකිය යන දැඩි අදහස සීලබ්බත පරාමාසයයි.

​කාමරාග සංයෝජනය

​රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් කෙරෙහි ඇති චන්දරාගය හෙවත් කැමැත්තෙන් ඇලීම කාමරාගයයි. එය සත්වයා සසරෙහි බැඳ තබන සංයෝජනයකි.

​ව්‍යාපාද සංයෝජනය

​අකමැති, අමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා සිතුවිලි යන අරමුණු සමඟ යෙදුණු අයෝනිසෝ මනසිකාරය නිසා උපදින ව්‍යාපාදය හෙවත් පටිඝය ව්‍යාපාද සංයෝජනයයි.

අනු මාතෘකා