පොත් ලැයිස්තුව

සම්පන්න සීල සූත්‍රය

star_outline

(ඉතිවුත්තක පාලිය - චතුත්ථ නිපාතය)

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.

​‘‘සම‍්පන‍්නසීලා, භික‍්ඛවෙ, විහරථ සම‍්පන‍්නපාතිමොක‍්ඛා; පාතිමොක‍්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම‍්පන‍්නා අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවිනො; සමාදාය සික‍්ඛථ සික‍්ඛාපදෙසු.’’

​මහණෙනි, සිල්වත්ව වාසය කරව්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතුව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව, ආචාර ගෝචර සම්පන්නව, ඉතා සුළු වරදෙහි පවා භය දක්නා සුළුව වාසය කරව්. ශික්ෂාපදයන් මනාකොට සමාදන්ව හික්මෙව්.

​‘‘සම‍්පන‍්නසීලානං වො, භික‍්ඛවෙ, විහරතං සම‍්පන‍්නපාතිමොක‍්ඛානං පාතිමොක‍්ඛසංවරසංවුතානං විහරතං ආචාරගොචරසම‍්පන‍්නානං අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවීනං සමාදාය සික‍්ඛතං සික‍්ඛාපදෙසු කිමස‍්ස උත‍්තරි කරණීයං?’’

​මහණෙනි, සිල්වත්ව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතුව, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව, ආචාර ගෝචර සම්පන්නව, ඉතා කුඩා වරදෙහි පවා භය දක්නා සුළුව වාසය කරන, ශික්ෂාපද මනාකොට සමාදන්ව හික්මෙන ඔබලා විසින්, මහණෙනි, ඉන්පසුව කුමක් කළ යුතු වන්නේ ද?

​ධර්ම විස්තරය

​සෑම කෙනෙක් උදෙසාම ශික්ෂාපද දේශනා කර ඇත. ගිහි පින්වතුන් උදෙසා පංචසීලය දේශනා කරන ලදී. සාමණේර ස්වාමීන් වහන්සේලා උදෙසා සාමණේර සීලය දේශනා කළ සේක. උපසම්පදා භික්ෂූන් වහන්සේලා උදෙසා ප්‍රධාන ශික්ෂාපද දේශනා කළ සේක. තමාට නියමිත සීලය පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කිරීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තවීමයි. කයින් හෝ වචනයෙන් හෝ ශික්ෂාපද ඉක්මවීම අනාචාරය යන නමින් හඳුන්වනු ලබයි. කයින්, වචනයෙන් ශික්ෂාපද නොඉක්මවීම ආචාරය යන වචනයෙන් හඳුන්වනු ලැබේ. මිථ්‍යා ආජීවයෙන් ජීවත් වීම ද අනාචාරයකි. සම්මා ආජීවයෙන් හෙවත් ඉතා ධාර්මිකව ජීවත්වීම ආචාරයකි.

​ශාසනයට පැමිණියා වූ කුලපුත්‍රයන් විසින් නොහැසිරිය යුතු තැන්වල නොයා යුතුය. ගණිකාවන් සිටින ස්ථාන, තරුණ කුමාරිකාවන් සිටින ස්ථාන, පණ්ඩකයන් සිටින ස්ථාන, භික්ෂුණීන් සිටින ස්ථාන සහ මත්පැන් ශාලා වැනි ස්ථානවල නොයා යුතුය. ඒවායෙන් වැළකී සිටීම 'ගෝචර සම්පන්න' යන නමින් හඳුන්වනු ලැබේ. තමාට නියමිත ශික්ෂාපද රැකීම ද, පෙර සඳහන් කරන ලද පරිදි කයින් වචනයෙන් වැරදිවල නොයෙදී ආචාර සම්පන්න වීම ද, නොයා යුතු ස්ථානයන්හි නොයමින් සංවරව හැසිරෙමින් ගෝචර සම්පන්න වීම ද සීලයෙහිම කොටසකි. මෙසේ මනාව සිල් රකින තැනැත්තා විසින් සීලය තුළ පිහිටා ඉන්පසුව කළ යුතු වන්නේ කුමක්ද යනුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විමසන ආකාරයෙන් දේශනා කළ සේක.

කාමච්ඡන්දය

​කාමච්ඡන්දය යනු කුමක්ද? කාමයන් පිළිබඳව කාමයට යම් ඡන්දයක් හෙවත් කැමැත්තක් වේ ද, එය කාමඡන්දය නම් වේ. කාමය කෙරෙහි යම් ස්නේහයක් (සෙනෙහසක්) වේ ද, එය කාමස්නේහය නම් වේ. කාමයට යම් පිපාසයක් වේ ද, එය කාමපිපාසය නම් වේ. කාමයන් පිළිබඳව යම් දැවිල්ලක් (පරිළාහයක්) වේ ද, එය කාමපරිළාහය නම් වේ. කාමයෙන් සිහි මුළාවීමක් වේ ද, එය කාමමූර්ඡාව නම් වේ. කාමය ගිලගැනීමක් වේ ද, එය කාමෝජ්ඣාසනය නම් වේ. එසේම ලෝභයක්, ලෝභ කරන ආකාරයක්, ලෝභ බවක්, ඇලීමක්, ඇලෙන ස්වභාවයක්, ඇලුණු බවක්, අභිජ්ඣාවක් (ලෝභ නම් වූ අකුසල මූලයක්) වේ ද, මෙසේ කාමච්ඡන්දය විස්තර කර දී ඇත.

ථීන මිද්ධ නීවරණය

​ථීන යනු සිතෙහි අකර්මණ්‍ය ස්වභාවයයි. මිද්ධ යනු වේදනා, සංඥා, සංඛාර යන ස්කන්ධයන්ගේ අකර්මණ්‍ය ස්වභාවයයි. නිදිමත, අලස බව, ඈනුම් යාම, ඇඟ මැලි කැඩීම, අධි කුසල ධර්මයන්හි නොඇලීම, මේ සියල්ලම ථීනමිද්ධයට අයත්ය.

​දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට දෙවි කෙනෙකු පැමිණියේය. එම දෙවි කෙනා බුදුරජාණන් වහන්සේට වන්දනා කර එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියා වූ ඒ දෙවි කෙනා මෙසේ ප්‍රකාශ කරයි:

​"නිද්දා තන්දි විජම්භිකා අරතී භත්ත සම්මදෝ,

ඒතේන නප්පකාසති, අරිය මග්ගෝ ඉධ පාණිනං."

​(නිදිමත, ඈනුම් යාම, ඇඟ මැලි කැඩීම, අරතිය, බත් මත නිසා මේ ලෝකයෙහි ප්‍රාණීන්ට ආර්ය මාර්ගය පැහැදිලි නොවේ.)

​එම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කළහ:

​"නිද්දා තන්දි විජම්භිකා අරතී භත්ත සම්මදෝ,

විරියේන නං පහාමෙත්වා, අරියමග්ගං විසෝධයේ."

​(නිදිමත, ඈනුම් යාම, ඇඟ මැලි කැඩීම, අධි කුසල ධර්මයන්හි නොඇලීම, බත් මත, මෙම ස්වභාවයන් වීර්යයෙන් දුරු කර දමා, ආර්ය මාර්ගය පිරිසිදු කරන්නේය.)

​මෙම දේශනාව සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයෙහි සඳහන්ය. මෙම දේශනාවට අනුව, වීර්ය වැඩීම තුළින් ථීනමිද්ධය දුරු කළ හැකිය.

​උද්දච්ච කුක්කුච්ච

​සිතෙහි පවතින විසුරුණු ස්වභාවය උද්දච්චය යන නමින් හඳුන්වනු ලබයි. තමා විසින් කරන ලද පාප කර්මයන් ගැන පසුතැවීම සහ නොකරන ලද කුසල කර්මයන් ගැන පසුතැවීම කුක්කුච්ච නම් වේ.

​විචිකිච්චා නීවරණය

​"බුද්ධාදී සංසයෝ තස්සා සත්තරි කංඛති විචිකිච්චති, නාධිමුච්චති නප්පසීදති."

​බුද්ධාදී අට තැනෙහි සැකය විචිකිච්චාවයි.

​බුදුරජාණන් වහන්සේ ගැන සැකය.

​ධර්ම රත්නය ගැන සැකය.

​සංඝරත්නය ගැන සැකය.

​ත්‍රිශික්ෂා ගැන සැකය.

​පටිච්චසමුප්පාදය ගැන සැකය.

​අතීතයේ සිටියාද නැද්ද ආදී අතීත භව පිළිබඳ සැකය.

​අනාගතයේ උපදීද නැද්ද, කොහේ ඉපදේද ආදී අනාගත භව පිළිබඳ සැකය.

​වර්තමානයෙහි සිටින සත්වයා මරණයට පෙර සිටියේ කොහේද, මරණින් මතු උපදින්නේ කොහේද ආදී වර්තමාන භවය පිළිබඳ සැකය.

නීවරණ ප්‍රහාණය

​1. කාමච්ඡන්ද ප්‍රහාණය

​කාමච්ඡන්දය යනු කුමක්දැයි පෙර දක්වන ලදී. කාමච්ඡන්දය ප්‍රහාණය කළ යුතු ආකාරය තථාගතයන් වහන්සේ විසින් දේශනා කළහ.

​"මහණෙනි, අසුභ නිමිත්ත ඇත. එහි යෝනිසෝමනසිකාරය බහුල කළ විට නූපන්නා වූ කාමච්ඡන්දය නූපදී, උපන්නා වූ කාමච්ඡන්දය ප්‍රහාණය වෙයි." (බොජ්ඣංග සංයුත්තය)

​අසුභ නිමිත්ත යනු, කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී වශයෙන් දේශනා කරන ලද පටික්කූල මනසිකාර භාවනා අරමුණය. එසේම දස අසුභ භාවනා ද අසුභ නිමිත්ත යන නමින් හඳුන්වනු ලැබේ. එම අසුභ නිමිත්තෙහි යෝනිසෝ මනසිකාරය බහුල කළ විට කාමච්ඡන්දය ප්‍රහාණය වෙයි.

​යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද?

​"යෝනිසෝ මනසිකාරෝ නාම, උපාය මනසිකාරෝ, පථ මනසිකාරෝ, අනිච්චේ අනිච්චන්ති වා, දුක්ඛේ දුක්ඛන්ති වා, අනත්තනි අනත්තාති වා, අසුභේ අසුභන්ති වා මනසිකාරෝ." (ඉතිවුත්තක පාලි අට්ඨකථා)

​යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද? උපාය මනසිකාරය, ධර්ම මාර්ගයට අදාළ වූ මනසිකාරය, එනම් අනිත්‍ය වූ දෙය අනිත්‍යයැයි මනසිකාර කිරීම, දුක් වූ දෙය දුකකැයි මනසිකාර කිරීම, අනාත්ම වූ දෙය අනාත්මයැයි මනසිකාර කිරීම, අසුභ වූ දෙය අසුභයැයි මනසිකාර කිරීම. මෙය යෝනිසෝ මනසිකාරයයි.

​කේස (කෙස්) කලාපයන් නිත්‍ය වශයෙන් හෝ සුඛ වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ සුභ වශයෙන් හෝ මනසිකාර කිරීමෙන් තොරව, අනිත්‍ය, දුක්, අනාත්ම, අසුභ වශයෙන් මනසිකාර කිරීමෙන් කාමච්ඡන්දය ප්‍රහීන වෙයි. ලෝම (ලොම්) කලාපයන් ද එසේම මනසිකාර කිරීමෙන් කාමච්ඡන්දය ප්‍රහාණය වෙයි. සෙසු කොටස් පිළිබඳව ද එසේමය. මෙසේ දෙතිස් කුණප කොටස් පිළිබඳව බහුල වශයෙන් මනසිකාර කිරීමෙන් නූපන්නා වූ කාමච්ඡන්දය නූපදී; උපන්නා වූ කාමච්ඡන්දය ප්‍රහාණය වෙයි.

කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම සඳහා උපකාරවන ධර්මතා හයකි:

​අසුභ නිමිත්ත ඉගෙන ගැනීම. (අසුභ භාවනාව ඉගෙන ගැනීම මෙයින් අදහස් කරයි.)

​අසුභ භාවනාවේ යෙදීම.

​ඉන්ද්‍රිය සංවර කර ගැනීම.

​භෝජනයෙහි පමණ දන්නා බව.

​කල්‍යාණ මිත්‍ර ආශ්‍රය.

​සප්පාය කතා. (දස අසුභය පිළිබඳව සහ දෙතිස් කුණප භාවනාව පිළිබඳව විස්තර අසන්නට ලැබීම සප්පාය කතාය.)

ව්‍යාපාද ප්‍රහාණය

​පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා ව්‍යාපාදය හටගනී. පටිඝ නිමිත්ත යනු අකමැති අරමුණුය. අයෝනිසෝ මනසිකාරය යනු නුවණින් තොරව මෙනෙහි කිරීමයි.

​මෛත්‍රී චේතෝ විමුක්තිය තුළ යෝනිසෝ මනසිකාරය බහුල කිරීමෙන් ව්‍යාපාදය ප්‍රහාණය වෙයි.

​ව්‍යාපාදය ප්‍රහාණයට උපකාර වන ධර්ම:

​මෛත්‍රී භාවනාව ඉගෙන ගැනීම.

​මෛත්‍රී භාවනා කිරීම.

​කර්මය තමාට අයත් එකක් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම.

​නුවණින් සලකා බැලීම බහුල කිරීම.

​කල්‍යාණ මිත්‍ර ආශ්‍රය.

​සප්පාය කතා.

මෛත්‍රී භාවනාව ඉගෙනීම

​මෛත්‍රී භාවනාව ඕදිසෝ, අනෝදිසෝ, දිසා පරණ වශයෙන් ඉගෙන ගත යුතුය. ඉගෙන ගෙන ඒ ආකාරයෙන්ම භාවනා කළ යුතුය.

​මෛත්‍රී භාවනාව

​මම වෛර නොවෙම්වා! තරහ නොවෙම්වා! නිදුක් වෙම්වා! සුවපත්වෙම්වා!

​මා මෙන්ම මාගේ අති ප්‍රිය සත්වයෝ,

වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා!

​මා මෙන්ම මාගේ හිතවත් සත්වයෝ,

වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා!

​මා මෙන්ම මාගේ වෛරී සත්වයෝ,

වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! නිදුක් වෙත්වා! සුවපත්වෙත්වා!

​මා මෙන්ම සියලු සත්වයෝ... (වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! නිදුක් වෙත්වා! සුවපත්වෙත්වා!)

​ඕදිසෝ ඵරණ මෙත්තා

​සියලු සත්වයෝ...

සියලු ප්‍රාණීහු...

සියලු භූතයෝ...

සියලු පුද්ගලයෝ...

සියලු ආත්මභාව ඇත්තෝ... (වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! නිදුක් වෙත්වා! සුවපත්වෙත්වා!)

​අනෝදිසෝ ඵරණ මෙත්තා

​සියලු ස්ත්‍රීහු...

සියලු පුරුෂයෝ...

සියලු ආර්යයෝ...

සියලු අනාර්යයෝ...

සියලු දෙවියෝ...

සියලු මනුස්සයෝ...

සියලු අපායක සත්වයෝ... (වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! නිදුක් වෙත්වා! සුවපත්වෙත්වා!)

​දිසා ඵරණ මෙත්තා

​නැගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයෝ...

නැගෙනහිර දිසාවේ සිටින සියලු ප්‍රාණීහු...

නැගෙනහිර දිසාවේ සිටින සියලු භූතයෝ...

නැගෙනහිර දිසාවේ සිටින සියලු පුද්ගලයෝ...

නැගෙනහිර දිසාවේ සිටින සියලු ආත්මභාව ඇත්තෝ... (වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! නිදුක් වෙත්වා! සුවපත්වෙත්වා!)

​නැගෙනහිර දිසාවේ සිටින සියලු ස්ත්‍රීහු...

නැගෙනහිර දිසාවේ සිටින සියලු පුරුෂයෝ...

නැගෙනහිර දිසාවේ සිටින සියලු ආර්යයෝ...

නැගෙනහිර දිසාවේ සිටින සියලු අනාර්යයෝ...

නැගෙනහිර දිසාවේ සිටින සියලු දෙවියෝ...

නැගෙනහිර දිසාවේ සිටින සියලු මනුස්සයෝ...

නැගෙනහිර දිසාවේ සිටින සියලු අපායක සත්වයෝ... (වෛර නොවෙත්වා! තරහ නොවෙත්වා! නිදුක් වෙත්වා! සුවපත්වෙත්වා!)

​සෙසු දිසාවලට ද මෙසේම මෙත් වැඩිය යුතුය. සෙසු දිසා පමණක් දක්වනු ලැබේ. පෙර ආකාරයටම භාවනාවක් සකසා ගැනීම මැනවි:

​නැගෙනහිර අනු දිසාවේ...

​දකුණු දිසාවේ...

​දකුණු අනු දිසාවේ...

​බටහිර දිසාවේ...

​බටහිර අනු දිසාවේ...

​උතුරු දිසාවේ...

​උතුරු අනු දිසාවේ...

​උඩ දිසාවේ සිටින...

​යට දිසාවේ සිටින...

​මෙම වාක්‍ය හොඳින් පාඩම් කරගෙන, ඉගෙන ගෙනම වාක්‍ය සිහි කරමින්, නැවත නැවත සිහි කරමින් භාවනාවේ යෙදිය යුතුය.

ථීනමිද්ධ නීවරණ ප්‍රහාණය

​අරති ආදී හේතූන් ඇති කල්හි ඒවා මුල් කරගෙන අයෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් ථීනමිද්ධය උපදී.

​අරති යනු කුසල ධර්මයන්හි නොඇලීමයි.

​තන්දි යනු කායික අලස බවයි.

​විජම්භිකා යනු කය එහෙට මෙහෙට නමන, දිග හරින කම්මැලි ස්වභාවයයි.

​භත්ත සම්මදෝ යනු ආහාර අධික ලෙස ගැනීමෙන් ඇතිවන මත් ගතියයි.

​චේතසෝ ලීනත්තං යනු සිත තුළ පවතින අලස බවයි.

​මෙම ධර්මයන් ඇති කල්හි ඒවා පිළිබඳව අයෝනිසෝ මනසිකාරය බහුල ලෙස පවත්වන විට ථීනමිද්ධය උපදී.

​ආරම්භක ධාතු ආදී ත්‍රිවිධ වීර්යය තුළ යෝනිසෝ මනසිකාරය බහුල කිරීමෙන් ථීනමිද්ධය ප්‍රහාණය වෙයි.

​ආරම්භක ධාතු යනු පළමුවෙන්ම ආරම්භ කරන වීර්යයි.

​නික්කම ධාතු යනු කුසීත බවෙන් නික්මීම සඳහා සිදුකරන බලවත් වූ වීර්යයි.

​පරක්කම ධාතු යනු නැවත නැවතත් කුසීත බව උපදින විට ඒවා යටපත් කිරීම සඳහා පවත්වන ඉතා බලවත් වූ දැඩි වීර්යයයි.

​මෙම ත්‍රිවිධ වීර්යය තුළ යෝනිසෝ මනසිකාරය බහුල කිරීමෙන් ථීනමිද්ධය ප්‍රහාණය වෙයි.

​ථීනමිද්ධය ප්‍රහාණය වීමට තවත් හේතු

​ථීනමිද්ධය ප්‍රහාණය කිරීම සඳහා හේතුවන ධර්මතා හයකි:

​වැළඳීමෙහි නිමිති ගැනීම (වැඩිපුර අනුභව කිරීමෙන් වැළකීම).

​ඉරියව් මාරු කිරීම.

​ආලෝක සංඥාව මෙනෙහි කිරීම.

​එළිමහනෙහි වාසය කිරීම.

​කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම.

​ථීනමිද්ධය ප්‍රහාණය කිරීම පිණිස සුදුසු වූ කතා.

උද්දච්ච කුක්කුච්ච ප්‍රහාණය

​"චේතසෝ වූපසමේ අයෝනිසෝ මනසිකාරේන උද්දච්ච කුක්කුච්චස්ස උප්පාදෝ හෝති."

​සිතෙහි සංසිඳීමක් නැති කල්හි අයෝනිසෝ මනසිකාරය බහුලව පැවැත්වීමෙන් උද්දච්ච කුක්කුච්චය හෙවත් සිතේ විසිරීම උපදියි.

​"සමාධි සංඛාතේ පන චේතසෝ වූපසමේ යෝනිසෝ මනසිකාරේනස්ස පහානං හෝති."

​සමාධි සංඛ්‍යාත සිතේ සංසිඳීම තුළ යෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් උද්දච්ච කුක්කුච්චය ප්‍රහාණය වෙයි.

​"අත්ථි භික්ඛවේ චේතසෝ වූපසමෝ, තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, අයමාහාරෝ අනුප්පන්නස්ස වා උද්දච්ච කුක්කුච්චස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා උද්දච්ච කුක්කුච්චස්ස පහානායාති." (බොජ්ඣංග සංයුත්තය)

​මහණෙනි, සිතෙහි සංසිඳීම ඇත. එහි යෝනිසෝ මනසිකාරය බහුලව පැවැත්වීමෙන් නූපන්නා වූ උද්දච්ච කුක්කුච්චය නූපදියි. උපන්නා වූ උද්දච්ච කුක්කුච්චය ප්‍රහාණය වෙයි.

​උද්දච්ච කුක්කුච්ච ප්‍රහාණයට තවත් හේතු:

​බහුස්සුතා - බොහෝ කොට ධර්මය අසා ධරා වචනයෙන් පුරුදු කර තිබීම.

​පරිපුච්ඡ කථා - ප්‍රශ්න විමසා දැන ගැනීම.

​විනයේ පකතඤ්ඤුතා - විනයෙහි දක්ෂ බව.

​වුද්ධ සේවනතා - වැඩිහිටියන් ඇසුරු කිරීම.

​කල්‍යාණ මිත්තතා - කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම.

​සප්පාය කතා - උද්දච්ච කුක්කුච්චය ප්‍රහාණය කිරීමට හේතුවන කතා පුවත් ඇසීම.

​විචිකිච්චා ප්‍රහාණය

​විචිකිච්චාව යනු සැකයයි. විචිකිච්චාව ඉපදීමට හේතුවන කාරණාවන් ඇත. එම කාරණාවන් තුළ අයෝනිසෝ මනසිකාරය බහුල කිරීමෙන් විචිකිච්චාව උපදියි.

​"අත්ථි භික්ඛවේ විචිකිච්චා ඨානීයා ධම්මා, තත්ථ අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, අයමාහාරෝ අනුප්පන්නාය වා විචිකිච්චාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්චාය භිය්‍යෝ භාවාය වේපුල්ලායාති." (බොජ්ඣංග සංයුත්තය)

​මහණෙනි, විචිකිච්චාව ඉපදීමට හේතුවන ධර්මයෝ ඇත. එහි අයෝනිසෝ මනසිකාරය බහුල කිරීමෙන් නූපන්නා වූ විචිකිච්චාව උපදී. උපන්නා වූ විචිකිච්චාව බොහෝ බවට පත්වෙයි, විපුල බවට පත්වෙයි.

​කුසලාදී ධර්මයන්හි යෝනිසෝ මනසිකාරය බහුලව පැවැත්වීමෙන් විචිකිච්චාව ප්‍රහාණය වෙයි:

​"අත්ථි භික්ඛවේ කුසලාකුසලා ධම්මා, සාවජ්ජාන වජ්ජා ධම්මා, සේවිතබ්බාසේවිතබ්බා ධම්මා, හීනපණීතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා, තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, අයමාහාරෝ අනුප්පන්නාය වා විචිකිච්චාය අනුප්පාදාය, උප්පන්නාය වා විචිකිච්චාය පහානායාති."

​මහණෙනි, කුසල අකුසල ධර්මයෝ ඇත. වැරදි - නිවැරදි ධර්මයෝ ඇත. සේවනය කළ යුතු - සේවනය නොකළ යුතු ධර්මයෝ ඇත. හීන - ප්‍රණීත ධර්මයෝ ඇත. කළු හෙවත් අකුසල, සුදු හෙවත් කුසල ධර්මයෝ ඇත. එහි යෝනිසෝ මනසිකාරය බහුලව පැවැත්වීමෙන් නූපන්නා වූ විචිකිච්චාව නූපදියි, උපන්නා වූ විචිකිච්චාව ප්‍රහාණය වෙයි.

​විචිකිච්චාව ප්‍රහාණය වීමට තවත් හේතු:

​බහුශ්‍රැත බව - බොහෝ කොට ධර්මය අසා දරා සිටීම.

​පරිපුච්ඡ කථා - කුසල අකුසල ආදී ධර්මයන් පිළිබඳව විමසීම.

​විනයේ පකතඤ්ඤුතා - විනයෙහි දක්ෂ බව.

​අධිමොක්ඛ බහුලතා - සද්ධාව අධික බව.

​කල්‍යාණ මිත්තතා - කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම.

​සප්පාය කතා - කුසල අකුසල ආදී ධර්ම පිළිබඳව කතා නිතර නිතර අසන්නට ලැබීම.

ආරද‍්ධං හොති වීරියං අසල‍්ලීනං, උපට‍්ඨිතා සති අසම‍්මුට‍්ඨා පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො, සමාහිතං චිත‍්තං එකග‍්ගං. චරම‍්පි, භික‍්ඛවෙ, භික‍්ඛු එවංභූතො ආතාපී ඔත‍්තාපී සතතං සමිතං ආරද‍්ධවීරියො පහිතත‍්තොති වුච‍්චති.

අරඹන ලද වීර්යය ඇත්තේ වෙයි. අලස නොවූයේ වෙයි. උපදවා ගත් සිහිය ඇත්තේ වෙයි. එම නිසාම මුළා නොවූයේය. කය (රූප කය සහ නාම කය දෙකම ගැනේ) සැහැල්ලු වූයේ, කෙලෙස් දැවිල්ල (දරථ) සංසිඳුණේ වෙයි. සිත සමාධිගතය. එකඟය.

​මහණෙනි, මෙසේ (සක්මන් කිරීම් ආදී ගමන් කිරීමෙහි) හැසිරෙන විටද කෙලෙස් තවන වීර්යය ඇති, පවට බය ඇති, නිතර අරඹන ලද වීර්යය ඇති තැනැත්තා 'පහිතත්තෝ' - කාය ජීවිතයේ අපේක්ෂාව නැත්තේ යැයි කියනු ලැබේ.

ධර්ම විස්තරය

​1. ආරද්ධ විරියෝ හොති:

අරඹන ලද වීර්යය ඇති බව; ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්මයන් ප්‍රහාණය කොට, විදර්ශනා වැඩීම් ආදී නිවන් මාර්ගයට අදාළ වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස, වීර්යය ආරම්භ කරන ලද්දේ වෙයි. එසේ වීර්යය ආරම්භ කළ කල්හි, "අසල්ලීනං" යනුවෙන් හඳුන්වන සිතෙහි ඇති අලස බව ඉවත් වී යයි.

​2. උපට්ඨිතා සති අප්පමුට්ඨා:

සිහිය එළැඹ සිටියේ වෙයි. එම නිසාම සිහි මුළාව දුරු වී යයි.

​3. පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ:

කායික සැහැල්ලු බව ඇත්තේ වෙයි. පස්සද්ධිය යනු සැහැල්ලු බවයි. පංචනීවරණ ධර්මයන් යටපත් වීම නිසා, නිරාමිස වූ ප්‍රීතියක් උපදී. නිරාමිස ප්‍රීතිය යනු පංච නීවරණයන්ගෙන් තොර වූ ප්‍රීතියයි. එම නිරාමිස ප්‍රීතිය නිසාම, කය ද සැහැල්ලු වෙයි; සිත ද සැහැල්ලු වෙයි. කෙලෙස් සංසිඳීම නිසා ඇතිවන එම දෙයාකාර වූ සැහැල්ලු බව "පස්සද්ධකායෝ" යන එක වචනයකින්ම දේශනා කර ඇත. එසේ කයත් සිතත් සැහැල්ලු වූ විට කෙලෙස් ධර්මයන් නිසා පැවති කාය - චිත්ත බර බව ද සංසිඳී යයි. "අසාරද්ධෝ" යනු එයයි.

​සමාහිතං චිත්තං ඒකග්ගං:

ඔහුගේ සිත මනාකොට සමාධිගතය. එම නිසාම එකඟ වී පවතී. සිතෙහි පවතින එකඟ බව සමාධිය යන නමින් හඳුන්වනු ලබයි.

​මෙම සූත්‍රයෙහි ඉතිරි කොටසෙහිදී සිටගෙන සිටින විට ද, ඉඳගෙන සිටින විට ද, සැතපී සිටින විට ද සිහිය පැවැත්විය යුතු ආකාරය විස්තර කර දෙයි. එහි ඇති විස්තරය, හැසිරෙන විට හෙවත් ගමන් කරන විට සිය සිහිය පැවැත්විය යුතු ආකාරය සමානය. එබැවින් එහි වෙනසකට ඇත්තේ ඉරියව් නාම මාත්‍රය පමණකි. එම නිසා ඒ කොටස් නැවත නැවත විග්‍රහ නොකරන්නෙමු.

​අවසාන ගාථා සූත්‍ර විස්තරය

​"එතමත‍්ථං භගවා අවොච. තත‍්ථෙතං ඉති වුච‍්චති"

​මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

​‘‘යතං චරෙ යතං තිට‍්ඨෙ, යතං අච‍්ඡෙ යතං සයෙ;

යතං සමිඤ‍්ජයෙ භික‍්ඛු, යතමෙනං පසාරයෙ.’’

වීර්යය වඩමින් හැසිරෙන්නේය. වීර්යය වඩමින් සිටගෙන සිටින්නේය. වීර්යය වඩමින් ඉඳගෙන සිටින්නේය. වීර්යය වඩමින් නිදාගෙන සිටින්නේය. වීර්යය වඩමින් අත්පා ආදිය දිග හරින්නේය.

​‘‘උද‍්ධං තිරියං අපාචීනං, යාවතා ජගතො ගති;

සමවෙක‍්ඛිතා ච ධම‍්මානං, ඛන‍්ධානං උදයබ‍්බයං.’’

උඩ දිසාවේ ද, වටා ඇති දිසාවල ද, යට දිසාවේ ද යම්තාක් සත්ව සංස්කාර පැවැත්මක් පවතී ද, ඒ සියල්ල කෙරෙහි ද "සත්වයකු නොවේ, පුද්ගලයකු නොවේ, ආත්මයක් නොවේ, ජීවයක් නොවේ, සූන්‍ය වේ" ආදී වශයෙන් ධර්මයන්ගේ යථා ස්වභාවය ද, පංච උපාදානස්කන්ධයෙහි ඇතිවීම - නැතිවීම නම් වූ උදයවය විදර්ශනා නුවණින් බලන්නේය.

​‘‘එවං විහාරිමාතාපිං, සන‍්තවුත‍්තිමනුද‍්ධතං;

චෙතොසමථසාමීචිං, සික‍්ඛමානං සදා සතං;

සතතං පහිතත‍්තොති, ආහු භික‍්ඛුං තථාවිධ’’න්ති.

​මෙසේ වාසය කරන කෙලෙස් තවන වීර්යය ඇති, ශාන්ත පැවතුම් ඇති, සමාධිගත සිත් ඇති, චිත්ත සමථයට සුදුසු ප්‍රතිපත්ති වඩන්නා වූ, සැම කල්හි සිහියෙන් සිටින්නා වූ භික්ෂුව "නිවන වෙත යොමු කරන ලද සිත් ඇති කෙනෙක්" යැයි කියනු ලැබේ.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.