තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින කාලයේ දී, බුදුරජාණන් වහන්සේට ද මහා සංඝ රත්නයට ද මහත් සේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදිය ලැබුණහ. තීර්ථකයෝ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදියෙන් පිරිහීමට පත් වූහ. බුදු කෙනෙකු පහළ වීමේදී බොහෝ ලාභ සත්කාර උපදී. ඒ උන්වහන්සේගේ මහා පුණ්‍ය මහිමය නිසාය. බුද්ධ ශ්‍රාවකයෝ ද සීලවන්තය, ගුණවන්තය. එනිසා උන්වහන්සේලාට ද බොහෝ ලාභ සත්කාර ධාර්මිකව උපදියි. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා අඩු වී ගිය තීර්ථකයෝ මෙසේ සිතූහ: "අප ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලබා ගන්නේ කෙසේද?" එවිට ඒ තීර්ථකයන් හට මෙසේ සිතුණේය. චිංචි මානවිකාව තීර්ථකයන් කෙරෙහි බොහෝ පැහැදීම ඇත්තීය. අප කියන ඕනෑම දෙයක් කරන්නීය. එබැවින් ඇය ගෙන්වා ඇය ලවා ශ්‍රමණ ගෞතමයන්ට ලැබෙන ලාභ සත්කාර නැති කරන්නෙමුයි කතිකා කළහ.
අන්‍ය තීර්ථකයෝ ඒකරාශී වී චිංචි මානවිකාව කැඳවා මෙසේ කීවෝය: "නැගණියනි, ශ්‍රමණ ගෞතමයන් නිසා අපහට තිබුණ ලාභ සත්කාර නැති විය. ඔබ විසින් නැවතත් අපහට ලාභ සත්කාර ලබා දිය යුතුය." "ස්වාමීනී, මම එය කරන්නේ කෙසේද?" චිංචි මානවිකාව ඇසුවාය. "නැගණියනි, ඔබ දර මිටියක් කුසෙහි බැඳගෙන ඊට උඩින් රෙදි ආදිය තබා බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස මැද ධර්ම දේශනා කරන අවස්ථාවේදී එතැනට යන්න. එතැනට ගොස් බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න. 'ශ්‍රමණ ගෞතමයෙනි, මාගේ කුසේ සිටින දරුවාගේ පියතුමා ඔබය, දරුවා ගැන බලන්නේ නැද්ද?' යනුවෙන් අසන්න. එවිට බොහෝ දෙනා ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි අප්‍රසාදයට පත් වෙති." චිංචි මානවිකාව එසේ කළාය. සක් දෙව්රජතුමා එම අවස්ථාවේ දී මීයකුගේ වේශයක් ගෙන ගොස් චිංචි මානවිකාවගේ බඩෙහි බැඳ තිබුණු දර මිටිය බැඳි රැහැන් කපා දැමුවේය. දර මිටිය බිම ඇද හැළුණේය. මිනිසුන් චිංචි මානවිකාවට පහර දුන්නේය. තීර්ථකයන් මේ දෙය කළ බව දැනගෙන තීර්ථකයෝ තව තවත් ලාභ සත්කාර ආදියෙන් පිරිහීමට පත් වූහ.
දිනක් දම්සභා මණ්ඩපයට රැස්ව සිටි භික්‍ෂූහු මේ පිළිබඳව කතා කළහ. එම අවස්ථාවේදී එතැනට වැඩම කළ තථාගතයන් වහන්සේ, "මහණෙනි, අතීතයෙහි ද මා හට මෙසේ අභූතයෙන් චෝදනා කළහ" යනුවෙන් සඳහන් කරමින් මහා පදුම ජාතකය දේශනා කළහ. ඉන්පසු සම්පජාන මුසාවාද සූත්‍රය දේශනා කළහ.
මුසාවාද අකුසලයේ විපාක
දැන දැන බොරු කීම මහත් වූ අකුසලයකි. බහුල කොට බොරු කියන්නෝ මරණින් මතු නිරයේ උපත ලබති. යම් කලෙක නිරයට නොගොස් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නේ නම්, මිනිසුන් විශ්වාස නොකරන, නොපිළිගන්නා වචන කතා කරන කෙනෙකු බවට පත් වෙයි. බොහෝ රැවටීම්වලට ලක් වෙයි. සමහරවිට කතා කිරීමේ හැකියාව නැති කෙනෙකු වෙයි. ඉතා පීඩාකාරී, වේදනාකාරී මුඛ රෝග හට ගනී. කතා කරන විට වචන පැටලෙන්නට ගනී, ගොත ගැහෙන්නට ගනී. මේ ආකාරයෙන් මුසාවාදයෙහි ඇති දෝෂ සලකා නුවණැති සත්පුරුෂයෝ බොරු කීමෙන් වැළකිය යුතුය.