පොත් ලැයිස්තුව

​ සද්ධ සුත්තං

star_outline

අංගුත්තර නිකාය

​දසක නිපාතෝ

​(සාවත්ථියං)

​සැවැත් නුවරදී...

​සද්ධෝ ච භික්ඛවේ භික්ඛු හෝති නෝ ච සීලවා. ඒවං සෝ තේනංගේන අපරිපූරෝ හෝති. තේන තං අංගං පරිපූරේතබ්බං, “කින්නාහං සද්ධෝ ච අස්සං සීලවා චා”ති. යතෝ ච ඛෝ භික්ඛවේ භික්ඛු සද්ධෝ ච හෝති සීලවා ච, ඒවං සෝ තේනංගේන පරිපූරෝ හෝති.

සද්ධෝ ච භික්ඛවේ භික්ඛු හෝති, සීලවා ච, නෝ ච බහුස්සුතෝ ....(පෙ).... බහුස්සුතෝ ච නෝ ච ධම්මකථිකෝ - ධම්මකථිකෝ ච නෝ ච පරිසාවචරෝ - පරිසාවචරෝ ච නෝ ච විසාරදෝ පරිසාය ධම්මං දේසේති - විසාරදෝ ච පරිසාය ධම්මං දේසේති නෝ ච විනයධරෝ - විනයධරෝ ච නෝ ච ආරඤ්ඤකෝ පන්තසේනාසනෝ - නෝ ච චතුන්නං ඣානානං ආභිචේතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී - චතුන්නඤ්ච ඣානානං ආභිචේතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී - ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.

​සිංහල පරිවර්තනය:

​මහණෙනි, භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තෙක් වෙයි, එහෙත් සිල්වත් නොවෙයි. හෙතෙම ඒ අංගයෙන් අපරිපූර්ණ වෙයි. හෙතෙම විසින් "මම කෙසේ නම් ශ්‍රද්ධාව ඇත්තෙක් ද වන්නෙම්ද, සිල්වත් වන්නෙම්ද" යි කියා ඒ අංගය පරිපූර්ණ කළ යුතුයි. මහණෙනි, යම් කලක භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තෙක් ද වෙයි, සිල්වත් ද වෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් පරිපූර්ණ වෙයි.

​මහණෙනි, භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තෙක් ද වෙයි, සිල්වත් ද වෙයි, එහෙත් බහුශ්‍රුත නොවෙයි... (පෙ)... බහුශ්‍රුත ද වෙයි, එහෙත් ධර්මකථික නොවෙයි... ධර්මකථික ද වෙයි, එහෙත් පරිසාවචර (පිරිස් ඇසුරු කිරීමෙහි දක්ෂ, පිරිස අතර හැසිරීමට දන්නා) නොවෙයි... පරිසාවචර ද වෙයි, එහෙත් විශාරදව (නිර්භීතව) පිරිසට ධර්මය දේශනා නොකරයි... විශාරදව පිරිසට ධර්මය දේශනා ද කරයි, එහෙත් විනයධර නොවෙයි... විනයධර ද වෙයි, එහෙත් ආරණ්‍යක (වනගත) ප්‍රාන්ත සේනාසන ඇසුරු නොකරයි... ආරණ්‍ය සහ දුර බැහැර ප්‍රාන්ත සේනාසන ඇසුරු කරයි, එහෙත් සතර ධ්‍යාන ආභිචේතසික වූ මෙලොව සැප විහරණයට හේතු වන, ලෙහෙසියෙන්, දුකකින් තොරව, වහා ලබන (නිකාමලාභී, අකිච්ඡලාභී, අකසිරලාභී) කෙනෙක් නොවෙයි... සිව්වන ධ්‍යාන ආභිචේතසික වූ මෙලොව සැප විහරණයන් ඉතා පහසුවෙන්, දුකකින් තොරව ලබන කෙනෙක් ද වෙයි... හෙතෙම ආශ්‍රවයන්ක්ෂය වීමෙන්, අනාශ්‍රව වූ චේතෝවිමුක්තියත්, ප්‍රඥාවිමුක්තියත් මෙලොවදීම තමා විසින්ම විශේෂඥානයෙන් අවබෝධ කොට, ප්‍රත්‍යක්ෂ කොට, එයට පැමිණ වාසය කරයි.

ධර්මාර්ථ විවරණය

​සද්ධහති තථාගතස්ස බෝධිං - තථාගතයන් වහන්සේගේ අවබෝධය හෙවත් සර්වඥතා ඥානය පිළිගැනීම ශ්‍රද්ධාවයි. ඉන් අදහස් කරන්නේ තථාගතයන් වහන්සේ මේ මේ කාරණාවන්ගෙන් අරහන් වන සේක ආදී වශයෙන් නව මහා බුදුගුණ පිළිබඳ අවබෝධය සහ විශ්වාසය, ඇදහීම යන කාරණාය.

​සීලය යනු ගිහි පින්වතුන්ට නම් පංචසීල, අටසිල්, දස සීල ආදියත්, පැවිදි භික්ෂූන්ට සාමණේර සීල, උපසම්පදා සීල ආදියත් වේ. විශේෂයෙන්ම සතර සංවර සීලය සීලය වශයෙන් ගත යුතුය. එනම්:

  1. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය: තමාට නියමිත ශික්ෂාපද රැකීමයි.
  2. ඉන්ද්‍රිය සංවර සීලය: සිහියෙන් යුතුව ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස සංවර කර ගැනීමයි. ඇසෙහි සංවරයක් හෝ අසංවරයක් නැත; සංවරය හෝ අසංවරය ඇත්තේ සිත තුළය. සිහියෙන් තොර වූ විට සිත අසංවරය; සිහියෙන් යුක්ත වූ විට සිත සංවරය. එබැවින් සිහියෙන් යුතුව ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලයයි.
  3. ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය: චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය බෙහෙත් පරිෂ්කාර සිව්පසය නමින් හැඳින්වෙයි. භික්ෂුව විසින් සිව්පසය නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝග කළ යුතුය. එසේ නොකරන්නේ නම් ඔහු සිව්පසය ලබාදෙන අයට ණයකාරයකු වන්නේය. එබැවින් සිව්පස පරිභෝග කිරීමේදී නුවණින් විමසීම හෙවත් ප්‍රත්‍යවේක්ෂා කිරීම ඉතා වැදගත්ය.
  4. ආජීව පාරිශුද්ධි සීලය: ජීවත් වීම පිණිස වැරදි ක්‍රමවේදයන්ගෙන් සිව්පසය නොසැපැයිය යුතුය; ධාර්මිකවම ජීවත් විය යුතුය. එය ආජීව පාරිශුද්ධි සීලයයි.

​බහුශ්‍රැත බව

මුල, මැද, අග යහපත් වූ, අර්ථ සම්පන්න වූ, ව්‍යංජන සම්පන්න වූ, අඩු යැයි කියා දෙයක් එකතු කළ යුතු නොවන බැවින් පරිපූර්ණ වූ, වැඩි යැයි කියා දෙයක් හෝ අනවශ්‍යයැයි කියා දෙයක් ඉවත් කිරීමට නැති බැවින් පාරිශුද්ධ වූ, නිවන් මග ප්‍රකාශ වන්නා වූ සද්ධර්මය බොහෝ කොට ඇසීම, ධාරණය කර ගැනීම, වචනයෙන් පුරුදු පුහුණු කිරීම, සිතින් විමසා බැලීම, ප්‍රඥාවෙන් අර්ථ කාරණා තේරුම් ගැනීම බහුශ්‍රැත බවයි.

​ධම්ම කථික - ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුකින් නිදහස් වීමට උපකාර වන පරිදි අවවාද අනුශාසනා කරමින් කරනු ලබන දේශනාව ධර්ම දේශනාවය. එය ඉතා කරුණාවෙන් කළ යුතුය. තථාගත ධර්මයම මෙත් සිතින් කියා දිය යුතුය. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ධර්ම දේශනා නොකළ යුතුය.

​පරිසාවචර

පරිසාවචර යනු පිරිස් අතර හැසිරීමයි. එයද මනා සංයමයකින් කළ යුතුය.

​විශාරදව පිරිසකට ධර්ම දේශනා කිරීම

ධර්ම දේශනා කරන විට තථාගතයන් වහන්සේ වදාළ දේශනා පාඨයක් මාතෘකා කර ගනිමින්, එහි පාලි දහම් කොටසද වචනයෙන් වචනයට පෙළ අටුවාවන්ට අනුව විග්‍රහ කිරීමද සිදු කළ යුතුය; නිර්භයව කළ යුතුය. එය විශාරදව ධර්ම දේශනා කිරීමයි. "අත්ථං ධම්මංච දීපේති මධුරන්තස්ස භාසිතං" - අර්ථයත් ධර්මයත් දක්වමින් ධර්ම දේශනා කරත් නම්, ඔහුගේ දේශනාව ඉතා මිහිරිය. (ධම්මපදය)

​විනය ධර - විනය යනු බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලද ශික්ෂාපද සමූහයයි. එම ශික්ෂාපද මැනවින් ආරක්ෂා කර ගැනීම විනය ධර නම් වෙයි.

​ආරණ්‍ය සහ වන සෙනසුන් ඇසුරු කිරීම

- භික්ෂූන් වහන්සේලා විසින් දිවි ඇතිතෙක්ම ආරණ්‍යවාසීව හෝ ඉතා දුර ඈත පවතින වන සෙනසුන්වල හෝ වාසය කිරීම කළ යුතුය. එසේ නොකරන භික්ෂූන් වහන්සේලා වරින් වර හෝ එබඳු තැන්වලට වැඩම කොට, ඒවායේ වැඩ සිටිමින් ගුණ පිළිවෙත් පිරිය යුතුය. එය නිවන් මගට මහත් උපකාරයක් වන්නේය.

-

​සතර ධ්‍යාන

- විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්ගතා සහිත ප්‍රථම ධ්‍යානයද, පීති, සුඛ, ඒකාග්ගතා සහිත දුතිය ධ්‍යානයද, සුඛ, ඒකාග්ගතා සහිත තෙවන ධ්‍යානයද, උපේක්ෂා, ඒකාග්ගතා සහිත හතරවන ධ්‍යානයද උපදවාගෙන, ඉතා සුවසේ කැමති තැනක, කැමති වෙලාවක, කැමති ඉරියව්වක ධ්‍යානයට සම වැදීමේ හැකියාව ඇති කර ගැනීම ඉතා වැදගත්ය.

​ආසවක්ෂය කිරීම

ආශ්‍රව යනු කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ක්ලේශ ධර්මයන්ට නමකි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඇති තණ්හාව කාමාශ්‍රවයයි. රූපාවචර, අරූපාවචර ධ්‍යාන කෙරෙහි ඇති තණ්හාවද, එම බ්‍රහ්ම ලෝක වල ඉපදීමට ඇති ආසාවද භවාශ්‍රවයයි. මිථ්‍යා දෘෂ්ටි දිට්ඨාශ්‍රවයයි. චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම අවිද්‍යා ආශ්‍රවයයි. එම ආශ්‍රව නැති කර දැමීම ආසවක්ඛය ඤාණයයි.

සද්ධ සූත්‍රයෙහි අවසාන කොටස.

ඒවං සෝ තේනංගේන අපරිපූරෝ හෝති, තේන තං අංගං පරිපූරේතබ්බං. ‘කින්නාහං සද්ධෝ ච අස්සං සීලවා ච බහුස්සුතෝ ච ධම්මකථිකෝ ච පරිසාවචරෝ ච විසාරදෝ ච පරිසාය ධම්මං දේසෙය්‍යං, විනයධරෝ ච ආරඤ්ඤකෝ ච පන්තසේනාසනෝ ච චතුන්නඤ්ච ඣානානං ආභිචේතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය’න්ති.

​යතෝ ච ඛෝ භික්ඛවේ භික්ඛු සද්ධෝ ච හෝති සීලවා ච බහුස්සුතෝ ච ධම්මකථිකෝ ච පරිසාවචරෝ ච විසාරදෝ ච පරිසාය ධම්මං දේසේති, විනයධරෝ ච ආරඤ්ඤකෝ ච පන්තසේනාසනෝ, චතුන්නඤ්ච ඣානානං ආභිචේතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, ආසවානඤ්ච ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඒවං සෝ තේනංගේන පරිපූරෝ හෝති.

​සිංහල පරිවර්තනය:

​මෙසේ ඔහු ඒ අංගයෙන් අපරිපූර්ණ වෙයි; හෙතෙම විසින් "මම කෙසේ නම් ශ්‍රද්ධාව ඇත්තෙක් ද වන්නෙම්ද, සිල්වත් ද වන්නෙම්ද, බහුශ්‍රුත ද වන්නෙම්ද, ධර්මකථික ද වන්නෙම්ද, පරිසාවචර (පිරිස් ඇසුරු කිරීමෙහි දක්ෂ) ද වන්නෙම්ද, විශාරදව පිරිසට ධර්ම දේශනා කරන්නෙම් වන්නෙම්ද, විනයධර ද වන්නෙම්ද, ආරණ්‍යක හා ප්‍රාන්ත සේනාසන ඇසුරු කරන්නෙක් වන්නෙම්ද, ආභිචේතසික වූ මෙලොව සැප විහරණයට හේතු වන, සතර ධ්‍යාන කැමති පරිද්දෙන් දුකකින් තොරව වහා ලබන (නිකාමලාභී, අකිච්ඡලාභී, අකසිරලාභී) කෙනෙක් වන්නෙම්ද, ආශ්‍රවයන්ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චේතෝවිමුත්තියත් ප්‍රඥාවිමුත්තියත් මේ ජීවිතයේදීම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නෙම්ද" යි කියා ඒ අංගය පරිපූර්ණ කළ යුතුයි.

​මහණෙනි, යම් කාලයක පටන් භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තෙක් ද වෙයි, සිල්වත් ද වෙයි, බහුශ්‍රුත ද වෙයි, ධර්මකථික ද වෙයි, පරිසාවචර ද වෙයි, විශාරදව පිරිසට ධර්ම දේශනා කරයි ද, විනයධර ද වෙයි, ආරණ්‍යවාසී වෙයි, දුර බැහැර ප්‍රාන්ත සේනාසන ඇසුරු කරන්නේ වෙයි, ආභිචේතසික වූ මෙලොව සැප විහරණ හතර සුවසේ ලබන්නේ වේද, දුකින් තොරව ලබන්නේ වේද, වහා ලබන්නේ වේද, ආශ්‍රවයන්ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චේතෝවිමුත්තියත් ප්‍රඥාවිමුත්තියත් මේ ජීවිතයේදීම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන අවබෝධ කොට එයට පැමිණ වාසය කරයි ද, මෙසේ හෙතෙම ඒ අංගයෙන් පරිපූර්ණ වෙයි.

​මහණෙනි, මේ ධර්මතා දහයෙන් යුක්ත වූ භික්ෂුව සියලු ආකාරයෙන්ම පරිපූර්ණ වෙයි.