(ඉතිවුත්තකපාලිය - චතුත්ථ නිපාතය)
වුත්තං හේතං භගවතා. වුත්තමරහතා’ති මේ සුතං.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
සබ්‍රහ්මකානි භික්ඛවේ’තානි කුලානි යේසං පුත්තානං මාතාපිතරෝ අජ්ඣාගාරේ පූජිතා හොන්ති. සපුබ්බදේවකානි භික්ඛවේ, තානි කුලානි යේසං පුත්තානං මාතාපිතරෝ අජ්ඣාගාරේ පූජිතා හොන්ති. සපුබ්බාචරියකානි භික්ඛවේ, තානි කුලානි යේසං පුත්තානං මාතාපිතරෝ අජ්ඣාගාරේ පූජිතා හොන්ති. ආහුනෙය්‍යකානි භික්ඛවේ, තානි කුලානි යේසං පුත්තානං මාතාපිතරෝ අජ්ඣාගාරේ පූජිතා හොන්ති.
මහණෙනි, යම්කිසි කුලපුත්‍රයෙක් විසින් මවුපිය දෙදෙනා තමාගේ නිවසෙහි පුදන ලද්දාහු නම්, එම නිවස බ්‍රහ්මයා සහිත වෙයි. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකු විසින් මවුපිය දෙදෙනා තමාගේ නිවසෙහි පුදන ලද්දාහු නම්, එම නිවස පූර්වදේවතාවන් සහිත වෙති. මහණෙනි, යම්කිසි පුත්‍රයෙක් විසින් මවුපියන් දෙදෙනා තමාගේ නිවසෙහි පුදන ලද්දාහු නම්, ඒ නිවස පූර්වාචාර්යයන් සහිත වෙති. මහණෙනි, යම්කිසි කුලපුත්‍රයෙක් විසින් මවුපිය දෙදෙනා තමාගේ නිවසෙහි පුදන ලද්දාහු නම්, එම නිවස ආහුනෙය්‍ය සහිත වෙති.
බ්‍රහ්මා’ති භික්ඛවේ, මාතාපිතුන්නං ඒතං අධිවචනං. පුබ්බදේවතා’ති භික්ඛවේ, මාතාපිතුන්නං ඒතං අධිවචනං. පුබ්බාචරියා’ති භික්ඛවේ, මාතාපිතුන්නං ඒතං අධිවචනං. ආහුනෙය්‍යා’ති භික්ඛවේ, මාතාපිතුන්නං ඒතං අධිවචනං. තං කිස්ස හේතු?
මහණෙනි, බ්‍රහ්මයා යනු මවුපිය දෙදෙනාට නමකි. මහණෙනි, පූර්වදේව යනු මවුපිය දෙදෙනාට නමකි. මහණෙනි, පූර්වාචාර්ය යනු මවුපිය දෙදෙනාට නමකි. මහණෙනි, ආහුනෙය්ය යනු මවුපිය දෙදෙනාට නමකි. ඒ කවර හේතුවක් නිසාද?
බහුකාරා භික්ඛවේ මාතාපිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ’ති.
මහණෙනි, මවුපිය දෙදෙනා පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝ වෙති. ජීවිතය ආරක්ෂා කරන්නෝ වෙති. අත්පාවඩා පෝෂණය කරන්නෝ වෙති. (මෙලොව සුදුසු නුසුදුසු අරමුණු) දක්වන්නෝ වෙති
ධර්මාර්ථ විස්තරය
මෙම සූත්‍ර දේශනාවේදී මවුපියන්ගේ වටිනාකම මනාව දේශනා කොට ඇත. මවුපියන් හැඳින්වීම සඳහා විශේෂිත නාම කීපයක්ද දේශනා කර ඇත.
බ්‍රහ්මාති
— මවුපියෝ බ්‍රහ්මයා වැනිය. බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨ වචනයකි.
බ්‍රහ්මයා භාවනා හතරක් අත්නොහැර වාසය කරති. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යනු එම භාවනා හතරයි. ඒ ආකාරයෙන්ම මවුපියන් දරුවන් කෙරෙහි භාවනා හතරක් අත්නොහැර වාසය කරති. එම භාවනා හතර ඒ ඒ කාලවලදී දතයුතුයි. දරුවා මවුකුසට පැමිණි කල්හි, "මෙම දරුවා නීරෝගීව, පරිපූර්ණ ශරීර අංගප්‍රත්‍යංග ඇතුව දකින්නේ කවදාද?" යනුවෙන් මවුපියන්ගේ සිත තුළ මෛත්‍රී සිත උපදියි.
එසේ දරුවා ඉපදී උඩුකුරුව සයනය කරමින් සිටින විට, මැස්සන් හෝ මදුරුවන් හෝ දෂ්ඨ කොට දුකසේ නිදන්නේ නම්, පීඩාවෙන් යුතුව අඬමින් හැසිරෙයි නම්, එම ශබ්දය අසා මව්පියන්ගේ කරුණාව උපදී. කාරුණික හදවතින් යුතුව මවුපියන් එම අවස්ථාවේදී දරුවාගේ දුක සංසිඳවීම පිණිස කටයුතු කරයි. දරුවන් තරමක් ලොකුමහත් වී එහෙමෙහෙ දුවමින් පනිමින් ක්‍රීඩා කරන කාලයෙහි දකින මව්පියන්ගේ සිත තුළින් මෘදු බවක්, ප්‍රමෝදයක් ඇති වෙයි. එකල්හි මවුපියන්ට මුදිතා ගුණය ඇති වෙයි. යම් කලෙක දරුවන්ට ආවාහ විවාහ කටයුතු සිදු කර ගන්නා ලද්දේ නම්, එවිට මවුපියන්ට "දැන් අපගේ දරුවනුත් දක්ෂය, තමාගේ කටයුතු සිදු කරගත හැකිය, තමාගේ ජීවිතය පවත්වා ගත හැකිය" යනුවෙන් සිතා මධ්‍යස්ථ බවට පත්වෙයි. එම කාලයෙහි මවුපියන්ගේ සිත තුළ උපේක්ෂාව හට ගනී. මෙසේ මවුපියන්ට දරුවන් කෙරෙහි අවස්ථා හතරකදී බ්‍රහ්ම විහරණ පිහිටන බැවින් බ්‍රහ්මයා හා සමාන යැයි දේශනා කළහ.
"බ්‍රහ්මාති භික්ඛවේ මාතාපිතුන්නං ඒතං අධිවචනං"
මහණෙනි, බ්‍රහ්මයා යනු මවුපියන්ට කියන වෙනත් නමකි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
පූර්වාචාර්ය නාමය
පූර්වාචාර්ය යනු මවුපියන්ට නමකි. පළමුවන ආචාර්යවරයා යනු එහි තේරුමයි. මවුපියෝ කුඩා කාලයේ පටන්ම දරුවා පුහුණු කරවයි. මෙසේ ගමන් කරන්න. මෙසේ ඉඳගෙන සිටින්න. මේ ආකාරයට නිදාගන්න. මෙසේ සංවරව කෑම කන්න. මේ ආකාරයට පලතුරු කන්න. මේ ඔබේ තාත්තාය. මේ ඔබේ සහෝදරයාය. මේ ඔබේ සහෝදරියයි. මෙසේ කතා කිරීම සුදුසුය. මෙසේ කතා කිරීම නුසුදුසුය. අසවල් තැනැත්තා සමීපයට ගමන් කිරීම සුදුසුය. අසවල් තැනැත්තා සමීපයට ගමන් කිරීම නුසුදුසුය.
මේ ආකාරයට නොයෙක් අයුරින් දරුවාට මූලික අධ්‍යාපනය ලබාදෙයි. පසු කලෙක වෙනත් ආචාර්යවරයෙකුගේ සමීපයෙහි නොයෙක් සිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම සිදුකරයි.
කුඩා කාලයේදීම දරුවාට තිසරණය සමාදන් කරවයි. පංචසීලය තුළ පිහිටුවයි. ගිහි ගෙදර වාසය කිරීමට කැමති දරුවන් හට සුදුසු කාලයේදී ආවාහා විවාහ කටයුතු සිදුකර දෙයි. තමා සතු දේපළ වස්තුව නිසි වයසේදී ඔවුන්ට බෙදා හදා දෙයි.
පැවිදි වීමට කැමති දරුවන් පැවිදි කරවති. ධර්මය උගන්වති. උපසම්පදා කරති. සෝතාපත්ති ආදී මාර්ගඵලවලට පැමිණීමට උපකාර කරති. මෙසේ මවුපියන් විසින් පසුවත් ආචාර්යවරයන් විදිහට කටයුතු කරයි. මවුපියෝ කුඩා කාලයේද මධ්‍යම වයසේද අප මැරෙන තෙක්ද අපගේ ආචාර්යවරයෝමය. පූර්වාචාර්ය යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ එනිසාමය.
"පුබ්බාචරියාති භික්ඛවේ මාතාපිතුන්නං ඒතං අධිවචනං."
මහණෙනි, පූර්වාචාර්ය යනු මවුපියන්ට වෙනත් නමකි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
ආහුනෙය්ය නාමය
ආනෙත්වා හුනිතබ්බං - ගෙනවිත් පිදිය යුතුය. දුර සිට වුවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදිය ගෙනැවිත් ගුණවතුන් උදෙසා දිය යුතුය. ආහුන යනු දුර සිට රැගෙන එන ආහාරපාන, ඇඳුම් ආදියට නමකි. තමාට උපකාර කළ තැනැත්තන් කෙරෙහි පිදීමට සුදුසු වන හෙයින් "ආහුනෙය්ය" යනුවෙන් හඳුන්වනු ලබයි. මවුපියෝ දරුවාට බොහෝ උපකාර ඇත්තෝය. එබැවින් දරුවන් විසින් දුර සිට වුවද රැගෙන එන ආහාරපාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත්හේත් ආදිය මවුපියන් වෙත ගෞරවයෙන් ලබාදිය යුතුය. එම නිසාම බුදුරජාණන් වහන්සේ මවුපියන් හැඳින්වීම සඳහා "ආහුනෙය්ය" යන වචනයෙන් සඳහන් කළහ.
"ආහුනෙය්‍යාති භික්ඛවේ මාතාපිතුන්නං ඒතං අධිවචනං."
මහණෙනි, ආහුනෙය්ය යනු මවුපියන්ට කියන වෙනත් නමකි.
බහූපකාරා - බොහෝ උපකාර
මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝය. ජීවිතය පාලනය කරන ලද්දේ මවුපියන් විසින්ය. කුඩා කාලයේදී ජීවිතයට අවශ්‍යම ආරක්ෂාව ලබා දෙන ලද්දේ මවුපියන් විසින්ය. අත්පාවඩා, හදවතේ ලෝහිතය පොවා පෝෂණය කරන ලද්දේ අම්මා ය. ආහාරපාන ආදිය ලබා දී බොහෝ උපකාර සිදු කළේය. දරුවන් මේ ලෝකයට දක්වන ලද්දේ මවුපියන්ය. යහපත් දේද, අයහපත් දේද කියා දෙමින්, සුදුසු දේ තුළ යොදවමින්, නුසුදුසු දේ තුළ නොයොදවමින් උපකාර කරන ලද්දේය.
සබ්‍රහ්මක සූත්‍රයේ අවසාන කොටස සහ ගාථා
ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ සේක. එම අර්ථය ගාථාවලින්ද මෙසේ කියනු ලැබේ:
“බ්‍රහ්මාති මාතාපිතරෝ, පුබ්බාචරියාති වුච්චරේ;
ආහුනෙය්‍යා ච පුත්තානං, පජාය අනුකම්පකා."
ආහුනෙය්‍යා ච පුත්තානං, පජාය අනුකම්පකා."
දරුවන්ට අනුකම්පා කරන්නා වූ මවුපියෝ බ්‍රහ්මයෝ යනුවෙන්ද, පූර්වාචාර්යයෝ යනුවෙන්ද, දරුවන්ට ආහුනෙය්ය (පිදීමට සුදුසු) යනුවෙන්ද කියනු ලැබෙති.
“තස්මා හි නේ නමස්සෙය්‍ය, සක්කරෙය්‍යා ච පණ්ඩිතෝ;
අන්නෙන අථ පානේන, වත්ථේන සයනේන ච,
උච්ඡාදනේන නහාපනේන, පාදානං ධෝවනේන ච."
අන්නෙන අථ පානේන, වත්ථේන සයනේන ච,
උච්ඡාදනේන නහාපනේන, පාදානං ධෝවනේන ච."
එම නිසා නුවණැති පුද්ගලයා මවුපියන්ට නමස්කාර කරන්නේය; ආහාරයෙන්ද, පානයෙන්ද, වස්ත්‍රවලින්ද, සයනයෙන්ද, ඇඟ ඇතිල්ලීමෙන්ද, නෑවීමෙන්ද, පා දෝවනය කිරීමෙන්ද සත්කාර කරන්නේය.
“තාය නං පාරිචරියාය, මාතාපිතුසු පණ්ඩිතා;
ඉධේව නං පසංසන්ති, පෙච්ච සග්ගේ ච මෝදතී”ති.
ඉධේව නං පසංසන්ති, පෙච්ච සග්ගේ ච මෝදතී”ති.
බුද්ධිමත් දරුවෝ මවුපියන් කෙරෙහි කරන ලද ඒ උපස්ථානය නිසා මෙලොවදීම ප්‍රශංසා ලබති; මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද අතිශයින් සතුටු වෙති.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.