පොත් ලැයිස්තුව

පුඤ්ඤාභායී සූත්‍රය

star_outline
ඉතිවුත්තක පාලිය - ඒකක නිපාතය

(පින සහ පිනෙහි විපාක පිළිබඳව දැක්වෙන වටිනා විස්තරයකි)

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.

​"මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි."

මහණෙනි, පිනට බය නොවන්න. මහණෙනි, මේ පින යනු යහපත් වූ, සිත්කළු වූ, ප්‍රිය වූ, මනාප වූ සැපයට නමකි.

​එම කොටසෙහි විස්තරය:

​පින යනු නොයෙක් අර්ථවල යෙදෙන වචනයකි.

​"කුසලානං භික්ඛවේ ධම්මානං සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤං පවඩ්ඩති" (සුත්ත නිපාත අට්ඨකථා). මහණෙනි, කුසල ධර්මයන් සමාදන් වීම හේතුවෙන් මෙසේ පින වැඩේ. මෙහිදී පිනෙහි විපාකය පැහැදිලි කර දෙනු ලැබේ. කුසල ධර්මයන් සිදු කිරීමෙන් ලැබෙන්නා වූ විපාකය පින යනුවෙන් විස්තර කර ඇති බව අටුවා මතයයි. මෙම පාඨය අනුව පිනත් කුසලයත් වෙන් කළ නොහැකි බව ඉතා මැනවින් පැහැදිලි වන්නේය. පින, කුසලය යනු වචන දෙකකි. එකම අර්ථයක යෙදෙන වචන දෙකකි.

​"අවිජ්ජාගතෝයං භික්ඛවේ පුරිස පුග්ගලෝ පුඤ්ඤං චේ සංඛාරං අභිසංඛරෝති" (පරිවීමංසන සූත්‍රය, සංයුත්ත නිකාය). මහණෙනි, අවිද්‍යාව අනුව ගිය පුරුෂයා පුණ්‍ය සංස්කාරයන් රැස් කරයි. මෙම සූත්‍ර පාඨයේදී කාමාවචර, රූපාවචර, අරූපාවචර සුචරිත ධර්මයන් හැඳින්වීම සඳහා පින කියන වචනය භාවිතා කර ඇත.

​"පුඤ්ඤූපගං භවති විඤ්ඤාණං" (පරිවීමංසන සූත්‍රය, සංයුත්ත නිකාය). විඤ්ඤාණය පිනට අනුව දෙවන බවයට පැමිණියේ වෙයි. මෙම සූත්‍ර පාඨයේදී පිනට අනුව දෙවන බවයෙහි ඉපදීම සිදුවන බව දක්වා ඇත.

​මහණෙනි, පුණ්‍ය ක්‍රියාවස්තු තිදෙනෙකි. දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව, භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව යනුවෙනි (අංගුත්තර තික නිපාතය, පුඤ්ඤකිරිය වස්තු සූත්‍රය). මෙම දේශනාවේදී පුණ්‍ය ක්‍රියා වස්තු යන නමින් කුසල චේතනා හඳුන්වා ඇති බව අටුවාව පැහැදිලි කරයි. තේරවාදී අටුවා මතයට අනුව සහ ථෙරවාදී සූත්‍ර අභිධර්ම මතයන්ට අනුව පිනත් කුසලයත් එකම අර්ථයෙහි යෙදෙන්නේය. එහෙත් මෙම ලිපිය තුළින් ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන්නෙමු.

​"ඉධ පන තේභූමක කුසලධම්මෝ වේදිතබ්බෝ" (ඉතිවුත්තක පාලි අට්ඨකථා). මෙම සූත්‍රයේදී පින යනුවෙන් අදහස් කරන්නේ කාම, රූප, අරූප යන ත්‍රිවිධ භූමියෙහි පවතින, විපාක දෙන කුසල ධර්මයෝය. හෙවත් කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල ධර්මයන් මෙම දේශනාවේදී පින යනුවෙන් හඳුන්වා ඇත.

​"මා භායිත්ථ" - බය නොවන්න. බය වර්ග දෙකක් පිළිබඳව ධර්මයෙහි සඳහන් වෙයි. ඥාන බය සහ සාරජ්ජ බය යනුවෙනි. ඥාන බය යනු යමක් පිළිබඳව නුවණින් සිතන විට ඇති වන බයයි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී "සියලු සංස්කාර අනිත්‍යයයි" දේශනා කළහ. එම දේශනාවන් අසා දීර්ඝ ආයුෂ ඇති සැප බහුල බ්‍රහ්ම ලෝකවල සිටින බ්‍රහ්ම රාජයෝ තැති ගත්හ, බයට පත් වූහ. එම කතා පුවතට අනුව බ්‍රහ්ම රාජයින්ට ඇති වී ඇත්තේ ඥාන භයයි. හෙවත් නුවණින් සැලකීම නිසා ඇති වූ තැතිගැනීමකි.

​මහණෙනි, ඔබලාට බයක් හෝ තැති ගැනීමක් හෝ ඇති වන අවස්ථාවේදී සම්බුදුරජාණන් වහන්සේ සිහි කරන්න (ධජග්ග සූත්‍රය). එම සූත්‍රයෙහි සඳහන් කර ඇත්තේ සාරජ්ජ බයයි. එය තමාගේ අධික ජීවිත අපේක්ෂාව, මරණ බය ආදිය නිසා ඇති වන බයකි. මෙම දේශනාවේදී ද පින් කිරීමට බය නොවන්න යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

​දුෂ්කර ප්‍රතිපත්තිවල යෙදෙන භික්ෂුව:

​වනගතව වාසය කරන බොහෝ භික්ෂූන් වහන්සේලා ඉතා දුෂ්කර ප්‍රතිපත්ති ධර්මයන්හි නිරත වෙති. බොහෝ දුරක් පාගමනින්ම පිණ්ඩපාතයේ වැඩම කරති. ඉතා දුෂ්කර වූ කුටි සෙනසුන්වල වාසය කරති. පඬු ගසන ලද පැරණි දුර්වර්ණ චීවර පොරවති. එක වේලක් වළඳති. ඉන්ද්‍රිය ධර්මයන් සංවර කර ගනිති. නිදි අඩු කිරීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙති.

​උන්වහන්සේලා නුවණින් තොරව සිතුවහොත් මෙසේ සිතෙන්නට පුළුවනි: "මම මේ විදිහට දුෂ්කර ප්‍රතිපත්ති පිරීම තුළින් මා හට සැප ලැබීමට ඇති අවස්ථාව අහිමි වී යනවා නේද? ජීවත් වන කාලය තුළ දුෂ්කර ප්‍රතිපත්ති පිරීම අතහැර දමා සැප විඳිය යුතුය." එසේ සිතා උන්වහන්සේලා දුෂ්කර ප්‍රතිපත්ති ධර්මයන්හි යෙදෙමින් කරන්නා වූ පිනට, කුසලයට බය විය හැකිය. එය නිෂ්ඵල දෙයක් විදිහට වැටහිය හැකිය. අන්න ඒ ආකාරයෙන් පින් කිරීමට බය නොවන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

පින් කිරීමට බිය නොවන්න

​පින් කිරීමට බිය නොවන්න යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේදී දේශනා කළ සේක. බිය නොවීමට හේතු දක්වමින් මෙසේ වදාළ සේක:

​"සුඛස්සේතං අධිවචනං, ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි" (මා පුණ්‍යභායී සූත්‍රය). මහණෙනි, පින යනු යහපත් වූ, සිත්කළු වූ, ප්‍රිය වූ, මනාප වූ සැපයට නමකි. "සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ" (ධම්ම පදය, පාප වර්ගය) - පින් රැස්කිරීමම සැපයකි. "සුඛෝ විපාකෝ පුඤ්ඤාණං" (ඉතිවුත්තක පාලි අට්ඨකථා) - පින්වල විපාකය සැපයකි.

​ඉට්ඨස්ස: පිනෙහි විපාකය සෙවිය යුතු දෙයකි, ඉෂ්ට වූ දෙයකි. ඒ බව සඳහන් කිරීම සඳහා 'ඉට්ඨස්ස' යන වචනය දක්වන ලදී.

​කන්තස්ස: පිනෙහි විපාකය සිත්කළු දෙයකි, පිළිසරණ පිණිස පවතින දෙයකි.

​පියස්ස: පිනෙහි විපාකය ප්‍රිය කළ යුතු දෙයකි, තෘප්තිමත් බව ලබා දෙන දෙයකි.

​මනාපස්ස: සිතීමට සුදුසු නිසා ද, මනස වඩන නිසා ද පිනෙහි විපාකය දැක්වීමට 'මනාපස්ස' යන වචනය භාවිතා කරයි.

​සුනෙත්ත සාස්තෘතුමා

​අප මහා බෝසතාණන් වහන්සේ අතීතයෙහි සුනෙත්ත නමින් තාපස ජීවිතයක් ගත කළහ. එම කාලයේ දී සිල් ගුණ පෙර පුරමින්, වීර්යය වඩමින්, වසර හතක් මෛත්‍රී භාවනාව පුරුදු කළහ. මෛත්‍රී ධ්‍යාන උපදවා ගත්හ. ඒ හේතුවෙන් බඹලොව උපදින ලදී. එම අතීත ජීවිතයේ දී මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් ලබන ලද ආනිසංස මෙම සූත්‍රයේදී පැහැදිලි කර දෙයි:

​සංවට්ට විවට්ට කල්ප හතක් බ්‍රහ්ම ලෝකයෙහි සිටීම.

​කල්පය විනාශ වන සංවට්ට කල්පයේදී ආභස්සර බඹලොව වාසය කිරීම.

​කල්පය ආරම්භ වන අවස්ථාවේදී හිස් බ්‍රහ්ම විමානයක ඉපදීම.

​එම කාලයේදී මහා බ්‍රහ්මයා වීම.

​මහා බ්‍රහ්මයාව සිටියදී අන් අය තම වසඟයෙහි පවත්වා ගැනීම.

​තිස් හය වතාවක් සක්‍ර දේවේන්ද්‍රයා වීම.

​නොයෙක් සිය ගණන් ආත්මවලදී සක්විති රාජ සම්පත් ලැබීම සහ සතර මහද්වීපය ධාර්මිකව පාලනය කිරීම.

​කිව නොහැකි තරම් වාර ගණනකදී ප්‍රාදේශීය රාජ සම්පත් හෙවත් රටවල අධිපතියා බවට පත්වීම.

“තස්ස මය්හං, භික්ඛවේ, ඒතදහෝසි: ‘කිස්ස නු ඛෝ මේ ඉදං කම්මස්ස ඵලං, කිස්ස කම්මස්ස විපාකෝ, යේනාහං ඒතරහි ඒවං මහිද්ධිකෝ ඒවං මහානුභාවෝ’ති? තස්ස මය්හං, භික්ඛවේ, ඒතදහෝසි: ‘තිණ්ණං ඛෝ මේ ඉදං කම්මානං ඵලං, තිණ්ණං කම්මානං විපාකෝ, යේනාහං ඒතරහි ඒවං මහිද්ධිකෝ ඒවං මහානුභාවෝ’ති, සෙය්‍යථීදං: දානස්ස, දමස්ස, සඤ්ඤමස්සා’ති.”

මහණෙනි, "ඒ මට මාගේ කවර කුසල කර්මයක ප්‍රතිඵලයක්ද? යමක් හේතු කරගෙන මම දැන් මෙසේ මහත් ඉර්ධි ඇත්තෙමි, මහා ආනුභාව ඇත්තෙමි, ඒ කවර කුසල කර්මයක විපාකයක්දැයි සිතුණි. මා විසින් කරන ලද පින්කම් තුනක ප්‍රතිඵලයයි. ඒ පින්කම් තුන මොනවාද? දානය, ඉන්ද්‍රිය දමනය, කාය වචී සංවරය යන තුනයි" මට මේ අදහස ඇති විය.

​විස්තරය

​තථාගතයන් වහන්සේ මහා ඉර්ධි ඇති කෙනෙකි, මහා ආනුභාව සම්පන්න වූ කෙනෙකි. උන්වහන්සේ කිසිවෙකුට සම කළ නොහැකි බැවින් අසමය. අතීතයේ වැඩ සිටි බුදුවරයෝ ද කිසිවෙකුට සම කළ නොහැකි බැවින් අසමය. අතීත බුදුවරුන්ට පමණක් අප තථාගතයන් වහන්සේ සම වන්නාහ. එබැවින් තථාගතයන් වහන්සේ අසමසම වෙති. එබඳු මහා ඉර්ධි බල සහිත වීමට, මහා ආනුභාව සම්පන්න වීමට උන්වහන්සේ විසින් බෝධිසත්ත්ව කාලයේ දී පුරන ලද පුණ්‍ය ධර්ම තුනක් හේතු වූ බව මෙම සූත්‍රයේ දී දේශනා කළහ. එම පුණ්‍ය ධර්ම තුන වන්නේ දන්දීම, ඉන්ද්‍රිය දමනය සහ කාය වචී සංවරයයි.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ සේක. එම අර්ථය ගාථාවලින් මෙසේ ද කියනු ලැබේ:

​“පුඤ්ඤමේව සෝ සික්ඛෙය්‍ය, ආයතග්ගං සුඛුද්‍රයං;

දානඤ්ච සමචරියඤ්ච, මෙත්තචිත්තඤ්ච භාවයේ.”

​තමාට වැඩ කැමති තැනැත්තා ශ්‍රේෂ්ඨ විපාක ඇති, සැප විපාක ලබා දෙන පිනක්ම රැස් කරන්නේය. දන්දීම ද, සම චරියාව හෙවත් ශීලය ද, මෛත්‍රී සිත ද වඩන්නේය.

​“ඒතේ ධම්මේ භාවයිත්වා, තයෝ සුඛසමුද්දයේ;

අබ්‍යාපජ්ඣං සුඛං ලෝකං, පණ්ඩිතෝ උපපජ්ජතී”ති.

​නුවණැති තැනැත්තා සැප ආනිසංස ඇති මේ දහම් තුන වඩා, දුක් නැත්තා වූ, සැප වූ ලෝකයට හෙවත් බ්‍රහ්ම ලෝකයට පැමිණෙයි.

​මෙම අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ සේක. මා විසින් මෙසේ අසන ලදී.

​මා පුණ්‍යභායී සූත්‍රය අවසානයි.