(ඉච්චායස්මා පෝසාලෝ)
යෝ අතීතං ආදියති
අනේජෝ ඡින්නසංසයෝ
පාරගුං සබ්බධම්මානං
අත්ථි පඤ්හේන ආගමං
එජා නමින් හඳුන්වන තණ්හාව රහිත වූ, සිඳිදමන ලද සැක සංකා ඇති, තථාගතයන් වහන්සේ තමාගේ ද අනුන්ගේ ද අතීත ජීවිත (එක ආත්මයකි, ආත්ම දෙකකි ආදී වශයෙන්) ප්‍රකාශ කරති. සියලු ධර්මයන්ගේ පරතෙරට වැඩියා වූ බුදුරජාණන් වහන්සේ සමීපයට ප්‍රශ්නයක් විමසීම සඳහා පැමිණියෙමි.
විභූතරූපසඤ්ඤිස්ස
සබ්බකායප්පහායිනෝ
අජ්ඣත්තං ච බහිද්ධා ච
නත්ථි කිඤ්චීති පස්සතෝ
ඤාණං සක්කානු පුච්ඡාමි
කථං නෙය්‍යෝ තථා විධෝ
සාක්‍ය මුනින්ද්‍රයන් වහන්ස, රූප සංඥාවන් ඉක්මවන ලද, තදංග මෙන්ම විෂ්කම්භන වශයෙන් සියලු රූප කය ගෙවා දමන ලද (ප්‍රහීන කරන ලද රූප භව ප්‍රතිසන්ධි ඇති බව මින් අදහස් කරයි), ආධ්‍යාත්මයෙහි ද බාහිරයෙහි ද කිසිවක් නැතැයි දකින්නා වූ තැනැත්තාගේ හෙවත් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානලාභී තැනැත්තාගේ නුවණ පිළිබඳව විමසමි. එම ධ්‍යානලාභී තැනැත්තා ඊට මත්තෙහි ඇති ඥානයක් උපදවන්නේ කෙසේද?
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
(පෝසාලෝති භගවා)
විඤ්ඤාණට්ඨිතියෝ සබ්බා
අභිජානං තථාගතෝ
තිට්ඨන්තමේනං ජානාති
විමුත්තං තප්පරායණං
පෝසාලයෙනි, තථාගතයන් වහන්සේ සියලු විඤ්ඤාණට්ඨิติ හෙවත් විඤ්ඤාණය පිහිටන ස්ථානයන් විශේෂයෙන් දනිති. ආකිඤ්චඤ්ඤායතනය ලබා එයම පිහිට කරගෙන සිටින පුද්ගලයාගේ භවය (උපදින ස්ථානය) ද දනිමි.
ආකිඤ්චඤ්ඤා සම්භවං ඤත්වා
නන්දි සංයෝජනං ඉති
ඒවමේතං අභිඤ්ඤාය
තතෝ තත්ථ විපස්සති
ඒතං ඤාණං තථං තස්ස
බ්‍රාහ්මණස්ස වුසීමතෝති
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදින, සසර යාමට හේතු වන කර්ම සංස්කාර දැනගෙන, අරූප රාගය සංයෝජනයක් බව දැනගෙන, මෙසේ විශිෂ්ට ඥානයෙන් දැන, ආකිඤ්චඤ්ඤායතන සමාධියෙන් නැගී සිටිමින් සමාපත්තිය අනිත්‍යාදී වශයෙන් විදර්ශනා වඩයි. බඹසර වාසය නිමා කරන ලද, පාප ධර්ම දුරුකරන ලද බැවින් බ්‍රාහ්මණ නම් වූ ඒ රහතන් වහන්සේගේ අරිහත්ව ඥානය වෙනස් නොවෙයි.