අංගුත්තර නිකාය පටිපදා වර්ගය චතුක්ක නිපාතය
(සාවත්ථිනිදානං)
සැවැත් නුවරදීය...
"චතස්සෝ ඉමා භික්ඛවේ පටිපදා, කතමා චතස්සෝ?"
මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඒ සතර කවරේද යත්:
දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛෝ භික්ඛවේ චතස්සෝ පටිපදාති.
1. සැපයෙන් තොර බැවින් දුක් වූ, වහා ධර්මය අවබෝධ කළ නොහැකි බැවින් දන්ධාභිඤ්ඤා නම් වූ ප්‍රතිපදාවය.
2. දුක් වූ, වහා ධර්මය අවබෝධ කළ හැකි ප්‍රතිපදාවය.
3. සැප සහගත වූ, වහා ධර්මය අවබෝධ කළ නොහැකි ප්‍රතිපදාවය.
4. සැප සහගත වූ, වහා ධර්මය අවබෝධ කළ හැකි ප්‍රතිපදාවය.
මහණෙනි, මේ ප්‍රතිපත්ති හතරයි.
ධර්මාර්ථ විස්තරය
දුතිය පටිපදා සූත්‍රය ඇසුරෙන් මෙහි ධර්මාර්ථ විස්තරය ලියනු ලැබේ.
පළමු වන පුද්ගලයා
සමහර ශ්‍රාවකයෝ ස්වභාවයෙන්ම අධික රාගය ඇත්තෝය. එම නිසා රාගයෙන් නිතර නිතර පීඩා ලබති. ස්වභාවයෙන්ම අධික ද්වේෂය ඇත්තෝය. ද්වේෂය නිසා නිතර නිතර පීඩා ලබති. ස්වභාවයෙන්ම අධික මෝහය ඇත්තෝය. මෝහය නිසා නිතර නිතර පීඩා ලබති. රාග, ද්වේශ, මෝහවලින් නිතර දුක් දොම්නස් විඳිති. ඔහු තුළ ඉතා මෘදු වශයෙන් හෙවත් ඉතා අල්ප වශයෙන් සද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම පිහිටා තිබේ. ඉතා මන්ද වශයෙන් ඉන්ද්‍රිය ධර්ම පිහිටා ඇති බැවින් ඉතා දුකසේ කෙලෙස් ක්ෂය කිරීම නම් වූ නිර්වාණයට පත්වෙති. මෙම පුද්ගලයා දුක් සහගත වූ ප්‍රතිපදාවෙන් වහා ධර්මය අවබෝධ නොකරන පුද්ගලයා යනුවෙන් හඳුන්වනු ලබයි. "දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා" යනුවෙන් එම පුද්ගලයා පාලියෙන් හඳුන්වනු ලැබේ.
දෙවන පුද්ගලයා
දුක් වූ ප්‍රතිපදාවෙන් ඉතා සීග්‍රයෙන් ධර්මය අවබෝධ කරගන්නා වූ පුද්ගලයා දෙවන පුද්ගලයාය. මේ බුද්ධ ශාසනය තුළ සමහර ශ්‍රාවකයෝ ස්වභාවයෙන්ම ඉතා තියුණු ලෙස රාගය පිහිටි අය වෙති. රාගය නිසා නිතර නිතර බොහෝ දුක් දොම්නස් විඳිති. ස්වභාවයෙන්ම අධික ද්වේෂ ඇත්තෝය. ද්වේෂය නිසා නිතර නිතර දුක් දොම්නස් විඳිති. ස්වභාවයෙන්ම අධික ලෙස මෝහය ඇත්තෝය. මෝහය නිසා නිතර නිතර දුක් දොම්නස් විඳිති. එහෙත් ඔවුන් තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් අධිමාත්‍ර වශයෙන් හෙවත් ඉතා දියුණු මට්ටමකින් පවතී. එම නිසා වහා ධර්මය අවබෝධ කර ගනිමින් කෙලෙස් ක්ෂය කිරීමට පත්වෙයි. මෙම පුද්ගලයා "දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා" යනුවෙන් හඳුන්වනු ලබයි.
තුන්වන පුද්ගලයා
සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා
මේ ශාසනයෙහි සමහර ශ්‍රාවකයෝ ස්වභාවයෙන්ම අධික රාගය නැත්තෝ වෙති, රාගය නිසා දුක් දොම්නස් නොවිඳිති. ස්වභාවයෙන්ම අධික ද්වේෂය නැත්තෝ වෙති, ද්වේෂය නිසා දුක් දොම්නස් නොවිඳිති. ස්වභාවයෙන්ම අධික මෝහය නැත්තෝ වෙති, මෝහය නිසා දුක් දොම්නස් නොවිඳිති. ඔවුන් තුළ සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ඉතා අල්ප වශයෙන්, මඳ වශයෙන් පිහිටා තිබේ. එම නිසා ධර්මය අවබෝධ කර ගැනීමට බොහෝ කල් ගතවෙයි, ඉතා ඉක්මනින්, සීඝ්‍රයෙන් ධර්මය අවබෝධ කර නොගනියි. ඔවුනට කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා බොහෝ කාලයක් ගතවන බව දේශනාවේ සඳහන්ය. "සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා" යනුවෙන් හඳුන්වන්නේ එම පුද්ගලයාය.
හතරවන පුද්ගලයා
සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා
මෙම බුද්ධ ශාසනය තුළ සමහර ශ්‍රාවකයෝ ස්වභාවයෙන්ම අධික රාගය, අධික ද්වේෂය, අධික මෝහය නැත්තෝය. එම නිසා රාග, ද්වේශ, මෝහවලින් නිරතුරු දුක් දොම්නස් නොවිඳිති. ඔවුන් තුළ සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ඉතා ප්‍රබල ලෙස පිහිටා තිබේ, අධිමාත්‍ර වශයෙන් පිහිටා තිබේ. එබැවින් ඉතා සීග්‍ර ලෙස වහා ධර්මය අවබෝධ කර ගන්නේය. එම පුද්ගලයා "සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා" යන නමින් හඳුන්වනු ලබයි.