පොත් ලැයිස්තුව

පඨම සමජීවී සුත්තං

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතෝ

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා භග්ගේසු විහරති සුංසුමාරගිරේ භේසකලාවනේ මිගදායේ. අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන නකුලපිතුනෝ ගහපතිස්ස නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි.

අථ ඛෝ නකුලපිතා ච ගහපති නකුලමාතා ච ගහපතානී යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ නකුලපිතා ගහපති භගවන්තං ඒතදවෝච:

“යතෝ මේ භන්තේ, නකුලමාතා ගහපතානී දහරස්සේව දහරා ආනීතා, නාභිජානාමි නකුලමාතරං ගහපතානිං මනසාපි අතිචරිතා, කුතෝ පන කායේන. ඉච්ඡෙය්‍යාම මයං භන්තේ, දිට්ඨේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතු”න්ති.

නකුලමාතාපි ඛෝ ගහපතානී භගවන්තං ඒතදවෝච: “යත්වාහං භන්තේ, නකුලපිතුනෝ ගහපතිස්ස දහරස්සේව දහරා ආනීතා, නාභිජානාමි නකුලපිතරං ගහපතිං මනසාපි අතිචරිතා, කුතෝ පන කායේන. ඉච්ඡෙය්‍යාම මයං භන්තේ, දිට්ඨේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං. අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතු”න්ති.

“ආකංඛෙය්‍යුං චේ, ගහපතයෝ, උභෝ ජානිපතයෝ දිට්ඨේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං. උභෝ ච අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා, තේ දිට්ඨේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සන්තී”ති.

“උභෝ සද්ධා වදඤ්ඤූ ච, සඤ්ඤතා ධම්මජීවිනෝ

තේ හොන්ති ජානිපතයෝ, අඤ්ඤමඤ්ඤං පියංවදා

“අත්ථා සම්පචුරා හොන්ති, ඵාසත්ථං උපජායති

අමිත්තා දුම්මනා හොන්ති, උභින්නං සමසීලිනං

“ඉධ ධම්මං චරිත්වාන, සමසීලබ්බතා උභෝ

නන්දිනෝ දේවලෝකස්මිං, මෝදන්ති කාමකාමිනෝ”ති

එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරි නම් නුවර භේසකලා වන නම් වූ මිගදායෙහි වැඩවාසය කරති.

​භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා, පා සිවුරු ගෙන නකුලපිතා නම් ගෘහපතිතුමාගේ නිවසට වැඩම කළහ. වැඩම කොට පැනවූ ආසනයෙහි වැඩසිටි සේක.

​එකල්හි නකුලපිතා නම් ගෘහපතිතුමාද, නකුලමාතා නම් ගෘහපතිතුමියද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කර එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ නකුලපිතා ගෘහපති භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.

​ස්වාමීනී, යම් කාලයක මම තරුණ වියෙහි සිටියෙම්ද, මට තරුණ වියෙහි සිටි නකුලමාතාව ගෙන එන ලදී. එදා පටන් නකුලමාතාව සිතින් පවා ඉක්මවා ගිය බවක් නොදනිමි. කයින් ඉක්මවා යාම ගැන කවර කතාවක්ද? ස්වාමීනී, අපි දෙදෙනා මෙම ජීවිතයේදීද ඔවුනොවුන් දකින්නට කැමැත්තෙමු; පරලොව ජීවිතයේදීද ඔවුනොවුන් දකින්නට කැමැත්තෙමු යනුවෙන් ප්‍රකාශ කළේය.

​නකුලමාතා නම් ගෘහපතිතුමියද භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය:

​ස්වාමීනී, මාගේ තරුණ කාලයේදීම නකුලපිතා ගෘහපතිතුමා මා වෙත ගෙන එන ලදී. එදින පටන් නකුලපිතා ගෘහපතිතුමා මනසින්ද ඉක්මවා ගිය බවක් නොදනිමි. කයින් ඉක්මවා යාම ගැන කවර කතාවක්ද?

​ස්වාමීනී, අප දෙදෙනා මේ ජීවිතයේදීද ඔවුනොවුන් දැකීමට කැමැත්තෙමු; පරලොවදීද ඔවුනොවුන් දකින්නට කැමැත්තෙමු.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ:

​ගෘහපතියනි, අඹුසැමියන් දෙදෙනා මෙලොවදීද ඔවුනොවුන් දකින්නට කැමති වෙත් නම්, පරලොවදීත් ඔවුනොවුන් දකින්නට කැමති වෙත් නම්, ඒ දෙදෙනාම සමාන ශ්‍රද්ධා ඇත්තෝ විය යුතුය, සමාන සීල ඇත්තෝ විය යුතුය, සමාන ත්‍යාගශීලී ඇත්තෝ විය යුතුය, සමාන ප්‍රඥා ඇත්තෝ විය යුතුය. එවිට ඔවුන් දෙදෙනා මෙලොවදීද ඔවුනොවුන් දකිති, පරලොවදීද ඔවුනොවුන් දකිනු ලැබෙති.

​උභෝ සද්ධා වදඤ්ඤූ ච, සඤ්ඤතා ධම්මජීවිනෝ

තේ හොන්ති ජානිපතයෝ, අඤ්ඤමඤ්ඤං පියංවදා.

​දෙදෙනාම සද්ධාවන්තවත්, දන්දෙන ස්වභාවයෙන් යුතුවත්, සීලයෙන් සංවරවත්, ධර්මානුකූලව ජීවත් වන්නේ නම්, ඒ අඹුසැමියෝ ඔවුනොවුන්ට ප්‍රිය වචන පවසන්නෝ වෙති.

​අත්ථා සම්පචුරා හොන්ති, ඵාසත්ථං උපජායති

අමිත්තා දුම්මනා හොන්ති, උභින්නං සමසීලිනං

​එක හා සමාන සිල් ඇති ඒ දෙදෙනාගේ අර්ථ (දියුණුව) බහුල වෙති. ඔවුන්ට පහසුවෙන් වාසය කිරීමට අවකාශ ලැබෙයි. සතුරෝ ඔවුන් දැක නොසතුටු සිත් ඇති වෙති.

​ඉධ ධම්මං චරිත්වාන, සමසීලබ්බතා උභෝ

නන්දිනෝ දේවලෝකස්මිං, මෝදන්ති කාමකාමිනෝ”ති

​මෙම ජීවිතයේදී සමාන සීලවත ඇති ඒ දෙදෙනාම ධර්මයෙහි හැසිරී, දෙව්ලොවදී සතුටු වෙති; කැමති කාම සම්පත් ලබා සතුටු වෙති.

ධර්මාර්ථ විස්තරය

​මෙම දේශනාවේදී සම සද්ධා, සම සීල, සම චාග, සම ප්‍රඥා ඇතුව වාසය කරන අඹුසැමියෝ මෙලොවදීද ඔවුනොවුන් දකින බවත්, පරලොවදීද දකින බවත් දේශනා කළහ.

​සම සද්ධා යනු:

​"සද්දහති තථාගතස්ස බෝධීං" යනුවෙන් බොහෝ දේශනාවල තථාගතයන් වහන්සේගේ අවබෝධය හෙවත් සර්වඥතා ඥානය (සියල්ල දන්නා නුවණ) පිළිගැනීම, විශ්වාස කිරීම සද්ධාව බව දේශනා කොට ඇත.

​ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින්ද, කෙලෙස් සතුරන් නැසූ බැවින්ද, සංසාර චක්‍රයෙහි කෙලෙස් අර සිඳලූ බැවින්ද, සියලු ලෝකවාසීන්ගේ සිව්පස පූජා ලැබීමට සුදුසු වන බැවින්ද, රහසින්වත් පව් නොකරන බැවින්ද අරහන් ගුණයෙන් යුක්ත වන සේක.

මෙසේ ඇදහීම, පිළිගැනීම ශ්‍රද්ධාවයි.

​ඒ භාග්‍යවතුන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් දත යුතු චතුරාර්ය සත්‍යය ධර්මය විශිෂ්ට ඥානයෙන් දැන වදාළ බැවින්ද, පිරිසිඳ දත යුතු දුක්ඛ ආර්ය සත්‍යය පිරිසිඳ දැන වදාළ බැවින්ද, ප්‍රහාණය කළ යුතු සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කළ බැවින්ද, සාක්ෂාත් කළ යුතු නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ බැවින්ද, වැඩිය යුතු වූ මාර්ග ආර්ය සත්‍යය වඩා නිමකළ බැවින්ද, දත යුතු සියලු ධර්මයන් ගුරු උපදේශ රහිතව දැන වදාළ බැවින්ද සම්මාසම්බුද්ධ වන සේක. මෙසේ ඇදහීම, පිළිගැනීම, විශ්වාස කිරීම ශ්‍රද්ධාවයි.

​ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා තුනින්ද (හෝ අෂ්ට විද්‍යාවන්ගෙන්ද) පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්වාගත වන බැවින් විජ්ජාචරණසම්පන්නෝ වන සේක.

​ඒ භාග්‍යවතුන් වහන්සේ සුන්දර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කළ බැවින්ද, සුන්දර වූ නිර්වාණස්ථානයට පැමිණ වදාළ බැවින්ද, සුන්දර වූ මිහිරි වචනයෙන් සද්ධර්මය දේශනා කළ බැවින්ද සුගතෝ වන සේක.

​ඒ භාග්‍යවතුන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකය චතුරාර්ය සත්‍ය වශයෙන් දැන වදාළ බැවින් ලෝකවිදූ වන සේක. එසේම සත්ව ලෝකයද, සංස්කාර ලෝකයද, අවකාශ ලෝකයද දැන වදාළ බැවින් ලෝකවිදූ වන සේක.

​සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශන යන ගුණධර්මයන්ගෙන් උත්තරීතර වන බැවින්ද, අසම වන බැවින්ද, අසමසම වන බැවින්ද, අප්‍රතිම වන බැවින්ද, අප්පටිභාග වන බැවින්ද, අප්පටිපුග්ගල වන බැවින්ද අනුත්තර වන සේක. දමනය කළ යුතු වූ දිව්‍ය, මනුස්ස, යක්ෂ, රාක්ෂ, සිද්ධ, විද්‍යාධර පුරුෂයන් දමනය කළ බැවින්ද අනුත්තර පුරිසදම්මසාරතී වන සේක.

​ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු දෙවියන්ටද මිනිසුන්ටද මෙලොව යහපත පිණිස අවවාද අනුශාසනා කළ බැවින්ද, පරලොව සුගතිය පිණිස අවවාද අනුශාසනා කළ බැවින්ද, නිර්වාණ පරමාර්ථය පිණිස අවවාද අනුශාසනා කළ බැවින්ද, සත්ත්වයන් ජාති, ජරා, ව්‍යාධි, මරණාදී කාන්තාරවලින් එතෙර කරවූ බැවින්ද සත්ථා දේවමනුස්සානං වන සේක.

​ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ බැවින් බුද්ධ වන සේක. අන් අයට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරවූ බැවින්ද බුද්ධ වන සේක. සියල්ල දන්නා සර්වඥතා ඥානයෙන් යුක්ත වන බැවින්ද බුද්ධ වන සේක. සියල්ල දකිනා සබ්බදස්සාවී ඥානයෙන් යුක්ත වන බැවින්ද බුද්ධ වන සේක. ඒකාන්තයෙන් වීතරාගී වන බැවින්ද, ඒකාන්තයෙන් වීතදෝසී වන බැවින්ද, ඒකාන්තයෙන් වීතමෝහී වන බැවින්ද, ඒකාන්තයෙන් නිකෙලෙස් වන බැවින්ද, ඒකායන මාර්ගයෙහි ගමන් කළ බැවින්ද බුද්ධ වන සේක. එකලාවම සම්මාසම්බෝධියට පැමිණ වදාළ බැවින්ද බුද්ධ වන සේක. අබුද්ධිය නැසූ බැවින්ද බුද්ධ වන සේක. බුද්ධිය ලැබූ බැවින්ද බුද්ධ වන සේක.

​ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන බැවින්ද, උතුම් වන බැවින්ද, ගරුකාර වන බැවින්ද භගවා වන සේක. රාගාදී කෙලෙස් ධර්මයන් බිඳ දැමූ බැවින්ද භගවා වන සේක.

​මෙසේ නොයෙක් ආකාරයෙන් කියා නිම කළ නොහැකි තරම් ගුණ සම්පත්තියෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේගේ අවබෝධය ඇදහීම, විශ්වාස කිරීම, පිළිගැනීම ශ්‍රද්ධාවයි.

​සම සීල යනු කුමක්ද?

​ගිහි ජීවිතයක් ගත කරන සැදැහැතියෝ පංච දුෂ්චරිතයෙන් වැළකී වාසය කළ යුතුය. එය ඔවුන්ගේ සීලයයි.

​සමචාග යනු කුමක්ද?

​ගිහි ගෙදර වාසය කරන සැදැහැතියෝ මසුරු මළකඩින් තොර වූ පිරිසිදු සිතින් වාසය කළ යුතුය. දන්දීම කළ යුතුය. තමා හට තිබෙන්නා වූ ස්වල්ප දෙයද අන් අය සමග බෙදාහදා අනුභව කළ යුතුය. දන්දෙන අවස්ථාවේදී ඒ කෙරෙහි ඇති තණ්හා ආදී ක්ලේශයන් අතහැර දමා දන්දිය යුතුය. නිරතුරුවම දන්දීමට සෝදා පිරිසිදු කරගත් අත් ඇතිව වාසය කළ යුතුය. යාචකයන්ගේ වචන අවබෝධ කරගත් කෙනෙක් විය යුතුය. මෙසේ ත්‍යාග ගුණයන් අඹුසැමි දෙදෙනා විසින්ම සමසේ පිරිය යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක.

​සම ප්‍රඥා යනු කුමක්ද?

​කුසලය කුමක්ද, අකුසලය කුමක්ද, වැරදි දෙය කුමක්ද, නිවැරදි දෙය කුමක්ද, කුමක් කිරීමෙන් යහපතක් වේද, කුමක් කිරීමෙන් අයහපතක් වේද ආදී වශයෙන් නුවණැත්තන්ගෙන් දැන හඳුනාගෙන ප්‍රඥාව දියුණු කරගත යුතුය. කර්මය හා කර්මඵලය පිළිබඳව ඥානය හෙවත් කම්මස්සකතා ඥානය ඇති කරගත යුතුය. චතුරාර්ය සත්‍යය ධර්මය ඉගෙනගනිමින්ද, එය ධාරණය කරගනිමින්ද, නිරතුරුවම නුවණින් විමසමින්ද චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ඇති කරගත යුතුය. අනිච්ච, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ නුවණද ඇති කර ගැනීම සඳහා විදසුන් වැඩිය යුතුය. මෙසේ අඹුසැමි දෙදෙනාම සමාන ප්‍රඥාව ඇති අය බවට පත්විය යුතුය.