අංගුත්තර නිකාය
දසක නිපාතෝ
"සනාථා භික්ඛවේ විහරථ, මා අනාථා. දුක්ඛං භික්ඛවේ අනාථෝ විහරති. දස ඉමේ භික්ඛවේ නාථකරණා ධම්මා. කතමේ දස:"
මහණෙනි, පිහිටක් ඇති අය බවට පත්ව වාසය කරව්; අනාථ වී වාසය නොකරව්. මහණෙනි, අනාථ වූ තැනැත්තා දුක් සේ වාසය කරයි.
මහණෙනි, මේ නාථකරණ ධර්මයෝ (පිහිට සපයන ධර්මයෝ) දස දෙනෙකි. කවර දස දෙනෙක්ද යත්:
"ඉධ භික්ඛවේ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ආචාරගෝචරසම්පන්නෝ, අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදේසු. යම්පි භික්ඛවේ භික්ඛු සීලවා හෝති ....(පෙ).... සමාදාය සික්ඛති සික්ඛාපදේසු, අයම්පි ධම්මෝ නාථකරණෝ."
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සිල්වත් වෙයි; ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයි; ආචාර-ගෝචර සම්පන්න වෙයි; අනුමාත්‍ර වූ (සුළු) වරදෙහි පවා බිය දකින ස්වභාවයෙන් යුතුව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව සිල්වත් වේද... (පෙ).... සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙයිද, මේ ධර්මය නාථකරණ ධර්මයකි.
පුන ච පරං භික්ඛවේ භික්ඛු බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ, යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣේකල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා, සබ්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, යම්පි භික්ඛවේ භික්ඛු බහුස්සුතෝ හෝති ....(පෙ).... දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මෝ නාථකරණෝ.
තවද මේ සාසනයෙහි භික්ෂුව සුතධර වූයේ, රැස් කර ගත් ඇසීම් ඇත්තේ බහුශ්‍රැත වෙයි. මුල යහපත් වූ, මැද යහපත් වූ, අවසානය යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ යම් ඒ දහමක් හාත්පසින් පරිපූර්ණ වේද, පිරිසිදු වේද, බ්‍රහ්ම චරියාව ප්‍රකාශ කරත්ද, ඒ ඔහු විසින් එබඳු ධර්මය බොහෝ කොට අසන ලද වෙති, ධාරණය කරන ලද වෙති, වචනයෙන් පුරුදු කරන ලද වෙති, මනසින් බලන ලද වෙති, ප්‍රඥා දෘෂ්ටියෙන් අර්ථකාරණා විනිවිද දකින ලද වෙති. මහණෙනි, යම් සේ භික්ෂුව බහුශ්‍රැත වෙයි... (පෙ).... ප්‍රඥා දෘෂ්ටියෙන් විනිවිද දකින ලද්දේ වෙයිද, මෙය නාථකරණ ධර්මයකි.
පුන ච පරං භික්ඛවේ භික්ඛු කල්‍යාණමිත්තෝ හෝති කල්‍යාණසහායෝ කල්‍යාණසම්පවංකෝ, යම්පි භික්ඛවේ භික්ඛු කල්‍යාණමිත්තෝ හෝති, කල්‍යාණසහායෝ කල්‍යාණසම්පවංකෝ, අයම්පි ධම්මෝ නාථකරණෝ.
තවද මහණෙනි, භික්ෂුව කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ, කල්‍යාණ යහළුවන් ඇත්තේ, කල්‍යාණ මිතුරන් වෙත නැඹුරු වූයේ වෙයි. මහණෙනි, යම් සේ භික්ෂුව කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ, කල්‍යාණ යහළුවන් ඇත්තේ, කල්‍යාණ මිතුරන් වෙත නැඹුරු වූයේ වෙයිද, මෙය නාථකරණ ධර්මයකි.
පුන ච පරං භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති සෝවචස්සකරණේහි ධම්මේහි සමන්නාගතෝ ඛමෝ පදක්ඛිණග්ගාහී අනුසාසනිං. යම්පි භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති සෝවචස්සකරණේහි ධම්මේහි සමන්නාගතෝ ඛමෝ පදක්ඛිණග්ගාහී අනුසාසනිං, අයම්පි ධම්මෝ නාථකරණෝ.
නැවත ද මහණෙනි, භික්ෂුව කීකරු වූයේ වෙයි, කීකරු බව ඇති කරන ධර්මයන්ගෙන් යුක්ත වූයේ, ඉවසීම ඇති කෙනෙකු වෙයි, අවවාද අනුශාසනා ප්‍රදක්ෂිණා කොට පිළිගනියි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව කීකරු වෙයිද, කීකරු බවට පත්වන ධර්මයන්ගෙන් සමන්වාගත වෙයිද, අවවාද අනුශාසනා ප්‍රදක්ෂිණාවෙන් පිළිගනීද, මෙය නාථකරණ ධර්මයකි.
පුන ච පරං භික්ඛවේ භික්ඛු ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු, යම්පි භික්ඛවේ භික්ඛු ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු, අයම්පි ධම්මෝ නාථකරණෝ.
තවද මහණෙනි, භික්ෂුව අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා ආරම්භ කරන ලද වීර්යය ඇත්තේ, ස්ථිර වූ දැඩි වූ පරාක්‍රම වූ, කුසල ධර්මයන්හි අත් නොහරින ලද වීර්ය ධුරය ඇතිව වාසය කරයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා අරඹන ලද වීර්ය ඇත්තේ, ස්ථිර වූ දැඩි වූ පරාක්‍රම වූ, කුසල ධර්මයන්හි අත්නොහරින ලද වීර්ය ඇත්තේ වාසය කරයි නම්, මෙයද නාථකරණ ධර්මයකි.
පුන ච පරං භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරචීවර පිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරේන, යම්පි භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරචීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරේන, අයම්පි ධම්මෝ නාථකරණෝ.
තවද මහණෙනි, භික්ෂුව තමාට ලැබුණා වූ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර ආදියෙන් සතුටු වූයේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව තමාට ලැබෙන්නා වූ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය බෙහෙත් පිරිකර ආදියෙන් සතුටු වූයේ වේ නම්, මෙයද නාථකරණ ධර්මයකි.
පුන ච පරං භික්ඛවේ භික්ඛු සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, යම්පි භික්ඛවේ භික්ඛු සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, අයම්පි ධම්මෝ නාථකරණෝ.
තවද මහණෙනි, භික්ෂුව සිහිය ඇත්තේ, උතුම් වූ සිහියෙන්ද සම්පජඤ්ඤ නුවණින්ද යුක්ත වූයේ, පෙර කරන ලද දෙයද පෙර කියන ලද දෙයද සිහිකරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව සිහියෙන් යුක්ත වූයේ, උතුම් සිහියෙන්ද සම්පජඤ්ඤ නුවණින් යුක්ත වූයේ, පෙර කරන ලද දෙයද පෙර කියන ලද දෙයද සිහිකරන්නේ නැවත නැවත සිහිකරන්නේ වේ නම්, මෙයද නාථකරණ ධර්මයකි.
පුන ච පරං භික්ඛවේ භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. යම්පි භික්ඛවේ භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයම්පි ධම්මෝ නාථකරණෝ.
තවද මහණෙනි, භික්ෂුව ප්‍රඥාවන්ත වූයේ, ආර්ය වූ, කෙලෙස් බිඳ දැමීමට සමර්ථ වූ, මනාකොට දුක් ගෙවා දමන්නා වූ ප්‍රඥාවෙන් සමන්වාගත වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව ප්‍රඥාවන්ත වූයේ, ආර්ය වූ ලෝභාදී කෙලෙස් ස්කන්ධය බිඳ දැමීමට සමර්ථ වූ, මනාකොට දුක් ගෙවා දමන්නා වූ, උදය වය දකින ප්‍රඥාවෙන් යුක්ත වූයේ වේ නම්, මෙයද නාථකරණ ධර්මයකි.
මහණෙනි, පිහිටක් ඇත්තෝ වව්. අනාථ නොවූවෝ වව්. මහණෙනි, අනාථ වූ තැනැත්තා දුක සේ වාසය කරයි. මහණෙනි, මේ නාථකරණ ධර්ම දහයයි.
ධර්මාර්ථ විස්තරය.
නාථ කරන ධර්ම යනු තමාගේ සනාථ බව හෙවත් පිහිටක් ඇති බව ඇති කරන්නා වූ කාරණා ය. (අංගුත්තර නිකාය අටුවාව) මෙම දේශනාවේ නාථකරණ ධර්ම දහයක් දක්වා තිබේ.
- පළමුවන නාථකරණ ධර්මය සීලයයි. තමාට නියමිත ශික්‍ෂා පද ධර්මයන් ආරක්ෂා කරමින් කුඩා මහත් වරදෙහි පවා බය දකිමින් සමාදන් වූ සීලය තුළ හික්මීම පළමුවන නාථකරණ ධර්මයයි.
- බහුශ්‍රුත බව දෙවන නාථකරණ ධර්මයයි. බහුශ්‍රුත වීම යනු ත්‍රිපිටක ධර්මය බොහෝ කොට අසා තිබීම, ධාරණය කර ගැනීම, වචනයෙන් පුරුදු කිරීම, මනසින් බැලීම, ප්‍රඥාවෙන් අර්ථකාරණා මැනවින් විනිවිද අවබෝධ කර ගැනීම යන සියල්ල හඳුන්වන වචනයකි. බොහෝ දේ අසා තිබුණාට එය සාසන බහුශ්‍රැත බව නොවේ. සාසන බහුශ්‍රැත බව වන්නේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව පෙර සඳහන් කරන ලද ආකාරයෙන් ඇසීම, ධාරණය, වචනයෙන් පුහුණු කිරීම, නුවණින් විමසීම, ප්‍රඥාවෙන් අර්ථකාරණා තේරුම් ගැනීම යන කාරණා සියල්ලටම කියන නමකි.
- තුන්වන නාථකරණ ධර්මය කල්‍යාණ මිත්‍රයන් ඇති බවයි. සම්බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේද, පසේබුදුරජාණන් වහන්සේද, අග්‍රශ්‍රාවකයෝද, අසූමහා ශ්‍රාවකයෝද, සෙසු මහරහතන් වහන්සේලාද, සෙසු මාර්ගඵලලාභීන්ද කල්‍යාණ මිත්‍රයෝ ලෙස හඳුන්වා ඇත. ඒ බව මංගල සූත්‍ර අටුවාවෙහි සඳහන් වෙයි. එබඳු කල්‍යාණ මිත්‍රයන් නැති කාලවලදී ත්‍රිපිටකය දන්නා තෙරුන් වහන්සේලාද, එබඳු අය නැති කල්හි පිටක දෙකක් දැන ඉගෙන ගත් සත්පුරුෂයෝද, එබඳු අය නැති කල්හි එක් පිටකයක් හෝ දැන ගත් සත්පුරුෂයෝද කල්‍යාණ මිත්‍රයෝ ලෙස සඳහන් කරනු ලබයි. (මහා මංගල සූත්‍ර අටුවාව) සීලවන්ත ගුණවන්ත උතුමෝද කල්‍යාණ මිත්‍රයෝය. (පඨම නාථකරණ සූත්‍ර අටුවාව ) එබඳු කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනෙකු විය යුතුයි. එබඳු කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැඹුරු වූ සිතක් ඇති කෙනෙකු විය යුතුයි. එය තමාගේ පිහිට සලසා ගැනීමට මහෝපකාරී වන බැවින් නාථකරණ ධර්මයකි.
- කීකරු වීම හතරවන නාථකරණ ධර්මයයි. සෑම විටම ධර්මයට පමණක් කීකරු විය යුතුය. යමෙක් අධර්මයෙන් අනුශාසනා කරන්නේ නම් කීකරු නොවිය යුතුය. යම් ධර්මානුකූල අවවාදයක් ලබා දෙන අවස්ථාවන්හිදී, ඉතා දරුණු වචනවලින් කරකස ලෙස අවවාදය ලබා දුන්නත්, ඉතා ගෞරවයෙන් යුතුව එම අවවාදය අසාගෙන සිටීමට හැකි ඉවසීමක් තමන්ට තිබිය යුතුය. නොකිපිය යුතුය. ඉතා ගෞරවයෙන් යුතුව එම අවවාදය පිළිගත යුතුය. පැරැන්නෝ අවවාදයක් ලබා දුන් කල්හි අවවාදය ලබා දුන් ආචාර්යවරයාණන් වහන්සේ වටා තුන් වරක් ප්‍රදක්ෂිණා කරමින් ගෞරවයෙන්ම එම අවවාද අනුශාසනා පිළිගත්හ.
- පස්වන නාථකරණ ධර්මය වන්නේ තමා සමග එකට වාසය කරන පැවිදි ස්වාමීන් වහන්සේලාගේ කුඩා මහත් කටයුතු කිරීමට දක්ෂ වන බවයි. සිවුරු සැකසීම, සිවුරු කැපීම, සිවුරු මැසීම, පඬු පෙවීම, පාත්‍ර ආදියෙහි තල තෙල් ආදිය ගැල්වීම, වාසය ස්ථානයෙහි වත්පිළිවෙත් ආදිය කිරීම, ගිලානෝපස්ථානය කිරීම, අන් අයගේ අවශ්‍යතා සොයා බලා කටයුතු කිරීම ආදී කුඩා මහත් සෑම දෙයක් කිරීමටම දක්ෂ විය යුතුය. එය මැනවින් කරන ක්‍රමවේදය හෙවත් උපාය ඥානයද තිබිය යුතුය. ඕනෑම දෙයක් සංවිධානය කිරීමේ හැකියාවද තිබිය යුතුය. මෙය නාථකරණ ධර්මයකි.
- හයවන නාථකරණ ධර්මය වන්නේ ත්‍රිපිටක ධර්මයට කැමති කෙනෙක් වීම, අන් අයට ඉතා ප්‍රියසේ ධර්ම දේශනා කිරීම, අභිධර්මය පිළිබඳවත් විනය පිළිබඳවත් සතුටෙන් ප්‍රීතියෙන් යුතුව ධර්ම දේශනා කිරීමේ හැකියාව යන මේවාය. මෙහිදී ධර්ම දේශනා කිරීමට නම් අභිධර්මය පිළිබඳවද, විනය පිළිබඳවද, සූත්‍ර පිටකය පිළිබඳවද මනා දැනුමක් තිබිය යුතුය. ඉගෙන ගැනීමේදී ද, කියාදීමේදී ද සතුට බහුලව කළ යුතුය.
- හත්වන නාථකරණ ධර්මය අරඹන ලද වීර්යය ඇති කෙනෙකු වීමයි. අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස ස්ථිර වූ දැඩි වූ පරාක්‍රම වීර්යයක් තිබිය යුතුය. නැවත නැවත දැඩි සේ වීර්ය කිරීම පරාක්‍රම වීර්යයයි. එසේම වීර්යය කරන කල්හි අතරමග තමාගේ වීර්යය නවතා දැමීම නොකළ යුතුය. අතරමග අත්නොහරින වීර්යය ධුරය ඇති කෙනෙක් විය යුතුය.
- අටවන නාථකරණ ධර්මය සන්තෘෂ්ටියයි. ලද දෙයින් සතුටු වීම මෙයින් අදහස් කරයි. තමාට ලැබෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදියෙන් සතුටට පත්විය යුතුය. වටිනා දෙයක් ලැබුණද නොවටිනා දෙයක් ලැබුණද, ඒ දෙකම සතුටින් පිළිගැනීම, පරිභෝග කිරීම කළ යුතුය. නොවටිනා දෙයින් සිත කිපීමට පත්කර නොගත යුතුය, නොසතුට ඇති කර නොගත යුතුය. වටිනා දෙය තුළ ඇලීමට පත් නොවිය යුතුය.
- නවවන නාථකරණ ධර්මය වන්නේ සිහියෙන් යුක්ත වීමයි. උතුම් වූ සිහියෙන්ද සම්පජඤ්ඤයෙන්ද යුක්ත විය යුතුය. සිහිය පුහුණු වූ කල්හි පෙර කරන ලද දෙයද පෙර කියන ලද දෙයද සිහි කළ හැකිය, අනුස්මරණය කළ හැකිය. අනුස්මරණය යනු නැවත නැවත සිහිකිරීමයි. එබඳු උතුම් සිහියකින් සහ නුවණකින් යුක්ත වීම නාථකරණ ධර්මයයි.
- ප්‍රඥාවන්ත වීම දහවන නාථකරණ ධර්මයයි. ප්‍රඥාව කියා හඳුන්වා ඇත්තේ ආර්ය වූ ප්‍රඥාවයි. එසේම නිබ්බේදික නමින් හඳුන්වනුයේ ලෝභ, දෝෂ, මෝහ ආදී කෙලෙස් සමුදාය බිඳ දැමීමට සමර්ථ වූ නුවණකින් යුක්ත වීමයි. එම නුවණ වෙන කිසිවක් නොව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කරගන්නා වූ විදර්ශනා ඥානයයි.