පොත් ලැයිස්තුව

පඨම ඛත සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතෝ

“චතූහි , භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජෝ ච හෝති සානුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති. කතමේහි චතූහි? අනනුවිච්ච අපරියෝගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියෝගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනනුවිච්ච අපරියෝගාහෙත්වා අප්පසාදනීයේ ඨානේ පසාදං උපදංසේති, අනනුවිච්ච අපරියෝගාහෙත්වා පසාදනීයේ ඨානේ අප්පසාදං උපදංසේති - ඉමේහි ඛෝ, භික්ඛවේ, චතූහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජෝ ච හෝති සානුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවතීති.

මහණෙනි, කාරණා හතරකින් යුක්ත වූ, අව්‍යක්ත වූ, අසත්පුරුෂ වූ, අඥානයා ගුණ විසින් සාරා දමන ලද ආත්මයක් පරිහරණය කරයි (ගුණය විනාශ කරගත් ජීවිතයක් ගත කරයි යනු සරල අදහසයි). නුවණැත්තන් හට වැරදි කරන කෙනෙක්ද, නින්දා අපහාස කරන කෙනෙක්ද වෙයි. ඔහු බොහෝ පව් රැස් කර ගනී.

කවර කාරණා හතරකින්ද?

​1.​විමසීමකින් තොරව, බැස ගැනීමකින් තොරව, අගුණ කිව යුත්තන්ගේ ගුණයම කියයි.

2.​විමසීමකින් තොරව, බැස ගැනීමකින් තොරව, ගුණ කිව යුතු කෙනාගේ අගුණයම කියයි.

3.​විමසීමකින් තොරව, බැස ගැනීමකින් තොරව, නොපැහැදිය යුතු කාරණාවෙහි පැහැදීම උපදවා ගනියි.

4.​විමසීමකින් තොරව, බැස ගැනීමකින් තොරව, පැහැදීමට සුදුසු කාරණාවෙහි අප්‍රසාදය උපදවා ගනියි.

​මහණෙනි, මේ අකුසල ධර්මතා හතරෙන් යුක්ත වූ, අව්‍යක්ත වූ, අසත්පුරුෂ වූ බාලයා තමාගේ ගුණය හාරා දමන ලද ජීවිතයක් පරිහරණය කරයි. වැරදි සහිතද වෙයි, ඥානවන්තයින්ට නින්දා අපහාස කරන කෙනෙක්ද වෙයි.

මහණෙනි, ධර්මතා හතරකින් යුක්ත වූ, ව්‍යක්ත වූ, සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණ සාරා නොගත්, ගුණ නසා නොගත් ජීවිතයක් පරිහරණය කරයි. නුවණැත්තන්ට වැරදි නොකරයි, නින්දා අපහාස නොකරයි. කවර කරුණු හතරකින්ද?

​දැනගෙන බැසගෙන (විමසා බලා) අගුණ කිව යුත්තාගේ අගුණ කියයි.

​දැනගෙන, නුවණින් විමසා බැසගෙන, ගුණ කිව යුතු කෙනාගේ ගුණ කියයි.

​දැනගෙන, නුවණින් විමසා බැසගෙන, නොපැහැදිය යුතු ස්ථානයෙහි නොපැහැදීම උපදවයි.

​දැනගෙන, නුවණින් විමසා බැසගෙන, පැහැදිය යුතු ස්ථානයෙහි ප්‍රසාදය (පැහැදීම) උපදවයි.

​මහණෙනි, මේ අංග හතරින් යුක්ත වූ, පණ්ඩිත වූ, ව්‍යක්ත වූ සත්පුරුෂයා තමාගේ ගුණ සාරා නොගත්, නොනැසුණා වූ ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නුවණැත්තන්ට වැරදි නොකරයි, නින්දා අපහාස නොකරයි, බොහෝ පින්ද රැස් කර ගනියි.

​යෝ නින්දියං පසංසති

තං වා නින්දති යෝ පසංසියෝ

විචිනාති මුඛේන සෝ කලිං

කලිනා තේන සුඛං න වින්දති

​යම් කෙනෙක් නින්දා කිරීමට සුදුසු පුද්ගලයාට ප්‍රශංසා කරයිද, යම් කෙනෙක් ප්‍රශංසා කළ යුතු පුද්ගලයාට නින්දා කරයිද, ඔහු වචනයෙන් බොහෝ පව් රැස් කරයි. ඒ පවින් සැපයක් නොලබන්නේය.

අප්පමත්තෝ අයං කලි යෝ අක්ඛේසු ධනපරාජයෝ

සබ්බස්සාපි සහාපි අත්තනා අයමේව මහන්තතරෝ කලි යෝ සුගතේසු මනං පදෝසයේ”

​සූදු ක්‍රීඩාවේදී තමා සතු සියලු ධනයද, තමාද පරාජයට පත් වන්නේ නම්, එම පරාජය ස්වල්ප වූ පරාජයකි. යම් කෙනෙක් යහපත් මාර්ගයෙහි ගමන් කරන පුද්ගලයන් කෙරෙහි සිත දූෂිත කරගන්නේ නම්, මෙය මහත් වූ පරාජය වෙයි.

​“සතං සහස්සානං නිරබ්බුදානං - ඡත්තිංසතිං පඤ්ච ච අබ්බුදානි

යමරියගරහී නිරයං උපේති - වාචං මනඤ්ච පණිධාය පාපක”න්ති

​යම් හේතුවකින් ලාමක වූ වචන සහ සිත පිහිටුවා ආර්යයන් වහන්සේලාට ගර්හා කරන්නේ නම්, ඔහු නිරයෙහි උපත ලබයි. ඔහු නිරයේ දුක් විඳින කාලය නිරර්බුද එක් ලක්ෂ තිස්හයකි; අර්බුද පහකි.

ධර්මාර්ථ විවරණය

​වචනය යනු මේ ලෝකයෙහි ඇති ඉතා ප්‍රබල වූ දෙයකි.

​වචනය හේතු කරගෙන කෙනෙකුට ආශිර්වාද කළ හැකිය; එය "සෙත් පැතීම" යන නමින් හඳුන්වනු ලබයි. පිරිත් දේශනා කිරීම් ආදියෙන්ද, ධර්ම දේශනා කොට ආශිර්වාද කිරීම් ආදියෙන්ද සිදුකරන්නේ එයයි.

​වචනයෙන් කෙනෙකුට අයහපතක් කළ හැකිය; "සාප කිරීම" යනු එයයි. අතීතයේ වැඩ සිටි තාපසවරුන් සාප කරමින් ගම්මාන වනාන්තර බවට පත්කළ ආකාරය මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රයෙහි සඳහන් වෙයි. සාපයද එතරම් ප්‍රබලය.

​වචනයේ බලයෙන් සමහර නුවණැති සත්පුරුෂයෝ රෝග පීඩා සුව කරති; එය "සත්‍යක්‍රියාව" යනුවෙන් හඳුන්වනු ලබයි. සත්‍ය වූ වචනය එතරම් බලසම්පන්නය.

​අතීතයේ එක්තරා මව් කෙනෙකු තම පුතාට සර්පයෙකු දෂ්ට කරන ආකාරය දක්නට ලැබුණි. මෙම කාන්තාව පුතා සමීපයට ගොස්, සිහිය නැති වී සිටින පුතා කෙරෙහි මෙත් සිත් උපදවා මෙසේ සත්‍යක්‍රියා කළහ: "පුතණුවනි, මම ඔබේ පියා සමඟ විවාහ ජීවිතයට පත්වූයේ අකමැත්තෙන්ය. ඔහු සමඟ මෙපමණ කාලයක් ජීවත් වූයේද අකමැත්තෙන්ය. එහෙත් මම කිසි දිනක පරපුරුෂ සේවනය නොකළෙමි; එය ඒකාන්ත සත්‍යයයි."

​එම සත්‍ය වචනයේ බලයෙන් පුතාගේ විෂ නැසේවා. ! එසේ සිතනවාත් සමඟම දරුවා දෙනෙත් හැර බැලුවේය; සිහිය ඉපදුණේය; නිරෝගි සුවය ලැබුවේය.

​වචනය කටේ තිබෙන කෙටේරියක් බඳුය. බොහෝ අය එම කෙටේරියෙන් තමාවම කපාගෙන විනාශ වෙති.

​වචනයෙන් සිදුකරන මහත් වූ පාපය වන්නේ බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට නින්දා අපහාස කිරීමයි. මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කරන්නේ නම් එහි විපාකය ඉතා දරුණුය. එම ආර්ය උපවාද කර්මය සිදු කරගත් තැනැත්තාට මේ ජීවිතයේදී මගඵල ලැබිය නොහැකිය. මගඵල ලබා ගැනීමට නම් ආර්යයන් වහන්සේගෙන් කමා කරවා ගත යුතුය; හෙවත් උන්වහන්සේගෙන් සමාව ගත යුතුය.

​සිල්වත් ගුණවත් පැවිදි උතුමන් වහන්සේලාට නින්දා අපහාස කිරීමද මහත් වූ පාපයකි. එම පාපය කරන අසත්පුරුෂයෝ මෙලොවම ඉතා දරුණු වූ දුක් විපාකවලට පත් වෙති. සමහරුන් පුරුද්දකට සේ බොහෝ දෙනා විවේචනය කිරීමට හුරු වී සිටිති. කෙනෙක් කියනවා ඇසූ පමණින් හෝ, මාධ්‍ය ආයතනයකින් කරන ලද ප්‍රකාශයක් අසා හෝ, සමාජ මාධ්‍ය ජාලා භාවිතයෙන් හෝ යම් යම් දේ දැනගෙන ඔවුහු බොහෝ අයට නින්දා කරති, අපහාස කරති, අගෞරව කරති. එසේ නින්දා කරන්නේ, අපහාස කරන්නේ, අගෞරව කරන්නේ සීලවන්ත කෙනෙකුට නම්, ඒ හේතුවෙන් ඔවුහු බොහෝ පව් රැස් කර ගනිති; මරණින් මතු නිරයගාමී වෙති.

​සිල්වත් ගුණවත් නිර්දෝෂි උතුමන් වහන්සේලාට නින්දා, අපහාස, අගෞරව කරන අය ලබන්නා වූ දරුණු විපාක කීපයක් මෙසේ සඳහන් කළ හැකිය:

1​ඉතා දරුණු වේදනාවන් විඳින්නට සිදුවීම.

2​ධන හානියට පත්වීම.

​ශරීරයෙහි අස්ථි බිඳීම් සිදුවීම.

3​දරුණු ආබාධයකට ලක්වීම.

4​මනස උමතු වීම.

5​දරුණු අමනුස්ස දෝෂවලට ලක්වීම.

6​ගින්නෙන් හා ජලයෙන් මහත් වූ විපත්වලට පත්වීම.

7​මරණින් මතු නිරයෙහි උපත ලැබීම.

නිදොස් උතුමන්ට නිදොස් උපකරණවලින් දඬුවම් කරන, නින්දා අපහාස කරන තැනැත්තා නොබෝ කලකින්ම පහත සඳහන් දුක්ඛිත විපාක 10න් එකකට අනිවාර්යයෙන්ම පත්වේ

  1. වේදනං පරුසං: දරුණු හිසරදය ආදී තදබල ශාරීරික වේදනාවන් ඇතිවීම.
  2. ජානිං: ධන හානිය හෝ වස්තුව විනාශ වීම.
  3. සරීරස්ස ච භේදනං: අත් පා කැඩී බිඳී ශරීරය දුබල වීම.
  4. ගරුකං ආබාධං: අංශභාගය වැනි දරුණු මාරන්තික රෝග වැළඳීම.
  5. චිත්තක්ඛේපං: සිහිය විකල් වී උමතු (පිස්සු) වීම.
  6. රාජතෝ වා උපස්සග්ගං: රජුගෙන් (රාජ්‍යයෙන් හෝ නීතියෙන්) දඬුවම් ලැබීම.
  7. අබ්භක්ඛානං ච දාරුණං: තමා නොකළ වරදකට දරුණු ලෙස අභූත චෝදනාවලට ලක්වීම.
  8. පරික්ඛයං ච ඥාතීනං: නෑදෑ හිතවතුන් විනාශ වී තනිවීම.
  9. භෝගානං ව පභංගුරං: උපයා ගත් සියලු බෝග සම්පත් විනාශ වී යාම.

10. අග්ගි ඩහති පාවකෝ: අකුණු ගැසීම් හෝ ගිනි ගැනීම්වලින් නිවාස දේපළ විනාශ වීම.

මීට අමතරව, ඔහු මරණින් මතු නිරයෙහි (අපායෙහි) උපත ලබයි. (ධම්මපදය..ඛුද්දක නිකාය)