(ඉතිවුත්තකපාලිය - දුක නිපාතය)
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී:
"නයිදං, භික්ඛවේ, බ්‍රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං, න ජනලපනත්ථං, න ලාභසක්කාරසිලෝකානිසංසත්ථං, න ‘ඉති මං ජනෝ ජානාතූ’ති. අථ ඛෝ ඉදං, භික්ඛවේ, බ්‍රහ්මචරියං වුස්සති සංවරත්ථඤ්චේව පහානත්ථඤ්චා"ති.
මහණෙනි, මේ මාර්ග බ්‍රහ්මචරියාව ජනයා මා දනීවායි ජනයා විස්මයට පත් කරනු පිණිස, ජනතාව ලවා සිය ගුණ කියවා ගැනීම පිණිස, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ආනිසංස ලබාගැනීම පිණිස නොවසනු ලැබේ. මහණෙනි, මේ බ්‍රහ්මචරියාව සංවරය පිණිසද, කෙලෙස් ප්‍රහාණය පිණිසද වසනු ලැබේ.
පඨම ජනකුහන සූත්‍රයේ අවසාන කොටස සහ ගාථා
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එම අර්ථය ගාථාවලින්ද මෙසේ කියනු ලැබේ:
"සංවරත්ථං පහානත්ථං, බ්‍රහ්මචරියං අනීතිහං;
අදෙසයි සෝ භගවා, නිබ්බානෝගධගාමිනං."
ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිසද, ප්‍රහාණය පිණිසද, උපද්‍රව රහිත වූ, නිර්වාණයට බැසගැනීම පිණිස බ්‍රහ්මචර්යාව දේශනා කළ සේක.
"එස මග්ගෝ මහත්තෙහි, අනුයාතෝ මහෙසිභි;
යේ යෙ තං පටිපජ්ජන්ති, යථා බුද්ධේන දෙසිතං;
දුක්ඛස්සන්තං කරිස්සන්ති, සත්ථුසාසනකාරිනෝ"ති.
මේ මාර්ගය උදාර වූ අදහස් ඇති මහෝත්තමයන් විසින් අනුගමනය කරන ලද්දේය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි යම් කෙනෙක් බ්‍රහ්මචර්යාව පිළිපදින්නේ නම්, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව කරන්නා වූ ඔවුහු දුක් කෙළවර කරති.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
සූත්‍ර ධර්මාර්ථ විවරණය
බුදුරජාණන් වහන්සේ විසින් අවංකවම නිවන් මාර්ගයෙහි ගමන් කරන ආකාරය මෙහිදී පැහැදිලි කළහ. නිවන් මඟෙහි ගමන් කරන තැනැත්තා "මම සිල්වත් කෙනෙකි, වත්පිළිවෙත් කරන කෙනෙකි, අල්පේච්ඡ කෙනෙකි, ලද දෙයින් සතුටු වන කෙනෙකි, මහා ඉර්ධි ඇති කෙනෙකි, මහා ආනුභාව ඇති කෙනෙකි" ආදී වශයෙන්ම ජනතාව දැනගනිත්වා, එසේ දැනගෙන පුදුමයට විස්මයට පත්වෙත්වා යන අදහසින් කටයුතු නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළහ.
එසේම ජනතාව විසින් "මා පිළිබඳව සීලවන්ත කෙනෙකි, ගුණ සම්පන්න කෙනෙකි, වත්ත සම්පන්න කෙනෙකි, අල්පේච්ඡ කෙනෙකි" ආදී වශයෙන් කතා කරත්වා යන අදහසින්ම නිවන් මඟ ගමන් නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. නිවන අවබෝධ කරගැනීමේ උදාර චේතනාවෙන් යුතුවම නිවන් මඟ ගමන් කළ යුතු බව මෙහිදී පැහැදිලි කර දෙයි. අවංකවම ශීලාදී ගුණ පිළිවෙත් පුරන සත්පුරුෂයන් හට ශීලාදී ආනුභාව බලයෙන් සිව්පස ආදී පහසු විහරණ සැලසෙයි.
සංවරය
තථාගතයන් වහන්සේ සංවරය පිණිස නිවන් මඟ දේශනා කළ සේක. සංවර පහක් තිබේ:
ප්‍රාතිමෝක්ෂ සංවරය
සති සංවරය
ඥාන සංවරය
ඛන්ති සංවරය
විරිය සංවරය
යනුවෙනි.
1. සීල සංවරය (ප්‍රාතිමෝක්ෂ සංවරය)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ශික්ෂාපද මනාකොට ආරක්ෂා කිරීම ප්‍රාතිමෝක්ෂ සංවරයයි.
2. සති සංවරය
ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යනු ඉන්ද්‍රිය ධර්මයෝ වෙති. එම ඉන්ද්‍රිය ධර්මයන් සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලය හෙවත් සති සංවරය යන නමින් හඳුන්වනු ලැබේ. ඉන්ද්‍රිය ධර්මයන් රැක ගත යුත්තේ සිහිය පිහිටුවා ගෙනය.
3. ඥාන සංවරය
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මුල් කරගෙන තණ්හා ආදී කෙලෙස් ගංගාවෝ ගලති. සිහියෙන් යුතුව එම කෙලෙස් ගලායාම නවත්වන්නේ නම් එය ඥාන සංවරය යන නමින් හඳුන්වනු ලබයි. සිහියෙන් කෙලෙස් ඇතිවීම පාලනය කිරීමද කළ හැකිය. ප්‍රඥාවෙන් එම කෙලෙස් සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකිය. එය ඥාන සංවරයයි.
4. ඛන්ති සංවරය
ඛන්ති යනු ඉවසීමයි. සම්බුද්ධ ශ්‍රාවකයා විසින් ඉවසිය යුතු බොහෝ දේ තිබේ: සීතල ඉවසිය යුතුය, උෂ්ණත්වය ඉවසිය යුතුය, ඇටමැස්සන්ගෙන් වන පීඩා ඉවසිය යුතුය, මදුරුවන්ගෙන් වන පීඩා ඉවසිය යුතුය, සුළඟින් වන පීඩා ඉවසිය යුතුය, සර්පයන්ගෙන් වන පීඩා ඉවසිය යුතුය, නපුරු වචන අසන්නට ලැබෙන විට ඒවාද ඉවසිය යුතුය, දරුණු වේදනාවන් ඉවසිය යුතුය. මේ අයුරින් ඉවසීම ඛන්ති සංවරයයි.
5. විරිය සංවරය
"උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදයති, බ්‍යන්තී කරෝති අනභාවං ගමේති."
උපන්නා වූ කාම විතර්කය නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරු කරයි, ගෙවා දමයි.
මෙසේ හිත තුළ හටගන්නා වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මෙන්ම නොයෙක් පාපක අකුසල ධර්මයන් නොඉවසන ස්වභාවය විරිය සංවරයයි.
ප්‍රහාණය (පහානත්ථං)
ප්‍රහාණය පිණිස තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. ප්‍රහාණ පහකි:
තදංග ප්‍රහාණය
වික්කම්භන ප්‍රහාණය
සමුච්ඡේද ප්‍රහාණය
පටිප්පස්සද්ධි ප්‍රහාණය
නිස්සරණ ප්‍රහාණය
යනුවෙනි.
තථාගතයන් වහන්සේ විසින් සංවරය පිණිසද, ප්‍රහාණය පිණිසද නිවන් මඟ දේශනා කළහ.