අංගුත්තර නිකාය
දසක නිපාතෝ
(සාවත්ථිනිදානං)
දස ඉමේ භික්ඛවේ අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා. කතමේ දස:
මහණෙනි, යම් ආර්යයන් වාසය කරන ස්ථානයක, ආර්යයන් පෙර වාසය කරන ලද හෝ දැන් වාසය කරත්, අනාගතයේ වාසය කරන්නාහු හෝ වෙත් නම්, මේ ආර්ය වාසය කිරීම් දහයකි. ඒ දහය කවරයත්:
ඉධ භික්ඛවේ භික්ඛු පඤ්චංගවිප්පහීනෝ හෝති ඡළංගසමන්නාගතෝ ඒකාරක්ඛෝ චතුරාපස්සේනෝ පනුණ්ණපච්චේකසච්චෝ සමවයසට්ඨේසනෝ අනාවිලසංකප්පෝ පස්සද්ධකායසංඛාරෝ සුවිමුත්තචිත්තෝ සුවිමුත්තපඤ්ඤෝ. ඉමේ ඛෝ භික්ඛවේ දස අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා ති.
මෙම පාලි කොටසෙහි ආර්ය වාසය කිරීම් දහය දක්වා ඇත. ඒවා එකක් එකක් පාසා විස්තර කරනු ලැබේ.
ආර්යයන් වහන්සේලා අංග පහක් ප්‍රහාණය කරන ලද්දෝය. එනම්,
- පංචනීවරණ ධර්මයෝය.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තුන් කෙරෙහි ඇති තණ්හාව කාමච්ඡන්දයයි. එය කාමච්ඡන්ද නීවරණයයි.
අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු ලැබුණු විට අයෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා උපදින ව්‍යාපාදය ව්‍යාපාද නීවරණයයි. ථීනමිද්ධ යනු චිත්ත චෛතසික ධර්මයන්ගේ අලසබවයි; එය ථීනමිද්ධ නීවරණයයි.
සිතේ විසුරුණු ස්වභාවයද, සිතෙහි පවතින කරන ලද පාප කර්ම ගැන පසුතැවීම සහ නොකරන ලද කුසල කර්ම ගැන පසුතැවීම යන මෙය උද්දච්ච-කුක්කුච්ච නීවරණයයි.
බුද්ධ රත්නය ගැනද, ධර්ම රත්නය ගැනද, සංඝ රත්නය ගැනද, ත්‍රිශික්ෂාව ගැනද, පටිච්චසමුප්පාදය ගැනද, අතීත ස්කන්ධ ධාතු ආයතන ගැනද, අනාගත ස්කන්ධ ධාතු ආයතන ගැනද, අතීත-අනාගත ස්කන්ධ ධාතු ආයතන ගැනද සැකය විචිකිච්චා නීවරණයයි.
- ඡළංගසමන්නාගතෝ - භික්ෂුව අංග හයකින් යුක්ත වෙයි.
මෙහි අංග හය යනුවෙන් දක්වා ඇත්තේ:
ඇසින් රූප දැක, එම රූප කෙරෙහි සතුටු නොවෙයි, නොසතුටු නොවෙයි; උපේක්ෂාවෙන්, සිහියෙන්, නුවණින් වාසය කරයි.
කනින් ශබ්ද අසා, එම ශබ්ද කෙරෙහි සතුටු නොවෙයි, නොසතුටු නොවෙයි; සිහියෙන්, නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි.
නාසයෙන් ගඳසුවඳ ආඝ්‍රාණය කොට, සතුටු නොවෙයි, නොසතුටු නොවෙයි; සිහියෙන්, නුවණින් උපේක්ෂාවෙන් වාසය කරයි.
දිවෙන් රසය විඳ, සතුටු නොවෙයි, නොසතුටු නොවෙයි; සිහියෙන්, නුවණින් උපේක්ෂාවෙන් යුතුව වාසය කරයි.
කයින් පහස ලබා, එම පහස කෙරෙහි සතුටු නොවෙයි, නොසතුටු නොවෙයි; සිහියෙන්ද නුවණින්ද යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි.
මනසින් අරමුණු දැන, එම අරමුණු කෙරෙහි සතුටු නොවෙයි, නොසතුටු නොවෙයි; සිහියෙන්ද නුවණින්ද උපේක්ෂාවෙන්ද වාසය කරයි.
මෙම අංග හයෙන් යුක්ත වීම ඡළංගසමන්නාගත වීම යනුවෙන් හඳුන්වනු ලබයි.
- ඒකාරක්ඛෝ - එක් ආරක්ෂාවක් ඇත්තේ වෙයි.
මෙහි එක ආරක්ෂාව යනුවෙන් දක්වා ඇත්තේ සතිය හෙවත් සිහියයි. "සතාරක්ඛේන" - සිහියෙන් ආරක්ෂා කරන ලද්දේය යනුවෙන් එය දුතිය අරියවාස සූත්‍රයෙහි දක්වා ඇත.
- චතුරාපස්සේනෝ...
නුවණින් සලකා ඇසුරුකිරීම් හතරක් ඇත්තේය.
- සංඛායේකං පටිසේවති - නුවණින් සලකා එකක් සේවනය කරන්නේය. මෙහි නුවණින් සලකා සේවනය කිරීම යනු සිව්පසය ප්‍රත්‍යවේක්ෂා කිරීමයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය බෙහෙත් පිරිකර ආදිය ප්‍රත්‍යවේක්ෂා කිරීම මින් අදහස් කරයි. ආර්යයන් වහන්සේලා නිරන්තරයෙන්ම සිව්පසය ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝග කරන්නේය.
- සංඛායේකං අධිවාසේති - එකක් නුවණින් සලකා ඉවසන්නේය. නුවණින් සලකා ඉවසීම යනු අධිවාසනයයි. ඉන් අදහස් කරන්නේ නුවණින් සලකා සීතල ඉවසීම, උෂ්ණය ඉවසීම, පිපාසය ඉවසීම, කුසගින්න ඉවසීම, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, සුළඟින්, වැස්සෙන්, අව්වෙන්, පත්තෑ, ගෝණුසු ආදී සර්පයන්ගෙන් වන ස්පර්ශ ඉවසීම, නපුරු ලෙස පැමිණෙන ලද දරුණු වචන ඉවසීම, ඉතා දරුණු අමිහිරි අමනාප ප්‍රාණය පවා නැති කරන මාරාන්තික වේදනා නොගැටී ඉවසීම යන්නයි. මේ ඉවසීම පිළිබඳ විස්තර මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙන් දත යුතුය.
- සංඛායේකං පරිවජ්ජේති - එකක් නුවණින් සලකා මග හරින්නේය. නුවණින් සලකා තමාට විපතක් වන සතුන් සහ අවස්ථාවන් මගහැරීම මින් අදහස් කරයි. නපුරු ඇතා මඟ හැරීම, නපුරු අස්වයා මඟ හැරීම, නපුරු ගවයා මඟ හැරීම, නපුරු සුනඛයා මඟ හැරීම, නපුරු සර්පයන් ආදිය මඟ හැරීම, පල්ලම් සහිත ස්ථාන, කටුකඳුරු සහිත ස්ථාන වැනි තමාට විපත් කරදර ඇති විය හැකි ස්ථාන නුවණින් සලකා මගහැරීම මින් කියැවෙයි. ඒවා මග හරින තැනැත්තාට මග නොහරින තැනැත්තාට ඇතිවන ආශ්‍රවයෝ නූපදිති. මේ ගැනද විස්තර මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙන් බලාගත යුතුය.
- සංඛායේකං විනෝදේති - නුවණින් සලකා එකක් දුරු කරන්නේය. තමාගේ සිත තුළ උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හා ලාමක පාපක අකුසල විතර්ක නුවණින් සලකා දුරු කිරීම මින් අදහස් කරයි. එම සඳහන් කළ අකුසල විතර්ක නොඉවසීමෙන්, ප්‍රහාණය කිරීමෙන්, දුරු කිරීමෙන්, ගෙවා දැමීමෙන්, අභාවයට පත් කිරීමෙන් දුරු කිරීම මෙයින් බලාපොරොත්තු වෙයි. විස්තර සඳහා මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රය බැලිය යුතුය. මෙසේ භික්ෂුව නුවණින් සලකා හතරක් ඇසුරු කරන්නේය.
- පනුණ්ණපච්චේකසච්චෝ - බැහැර කරන ලද පුද්ගලික සත්‍යය ඇත්තේ වෙයි.
මේ ලෝකයේ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් තුළ පුද්ගලිකව සත්‍යය කියා පිළිගත් දේවල් ඇත. ඒ මොනවාද? ලෝකය ශාස්වතය හෙවත් සදාකාලිකය, හෝ ලෝකය අශාස්වතය හෙවත් සදාකාලික නැත; ලෝකයට අන්තයක්, කෙළවරක් ඇත, හෝ ලෝකයට කෙළවරක් නැත; එයම ජීවයයි, එයම ශරීරයයි, හෝ ජීවය වෙන එකකි, ශරීරය වෙන එකකි; සත්වයා මරණින් මතු වන්නේය, හෝ සත්වයා මරණින් මතු නොවන්නේය, හෝ සත්වයා මරණින් මතුවෙයි ද නොවේද, හෝ සත්වයා මරණින් මතු නොවෙයි ද නොම නොවෙයි ද ආදී වශයෙන් මෙබඳු පුද්ගලිකව සත්‍යය කියා පිළිගත් දේ ඇත. ආර්යයන් වහන්සේලා ඒ සියල්ල බැහැර කරන ලද, මනාකොට බැහැර කරන ලද පිරිසක් වෙති.
(අංගුත්තර නිකාය දුතිය අරියවාස සූත්‍රය)
- සමවයසට්ඨේසනෝ - සියලු සෙවීම් දුරු කරන ලදී.
ආර්යයන් වහන්සේලා සියලු ලෞකික සෙවීම් දුරු කරන ලද පිරිසකි. ලෞකික සෙවීම් අතහරින ලද පිරිසකි. ලෞකික සෙවීම් තුනකි:
කාම ඒසනා - කාමය සෙවීම හෙවත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තුන් සෙවීම ඉන් පළමුවැන්නයි.
භව ඒසනා - භව සෙවීමයි. නැවත නැවත සසරෙහි උපදින ආකාර සෙවීම සහ උපදින ආකාර පිළිවෙත් අනුගමනය කිරීම මින් අදහස් කරයි.
බ්‍රහ්මචරිය ඒසනා - මේ බුදුසසුනෙන් බාහිරව බ්‍රහ්මචරියා හෙවත් නිවන් මාර්ගයක් සෙවීම බ්‍රහ්මචරිය ඒසනාවයි.
ආර්යයන් වහන්සේලා මේ සියලු ඒසනා හෙවත් සෙවීම් දුරු කරන ලද පිරිසකි.
- අනාවිලසංකප්පෝ - නොකැළඹුණු සංකල්පනා ඇත්තේ වෙයි.
නොකැළඹුණු සංකල්පනා ඇති බව යනු, මේ ශාසනයෙහි භික්ෂුවට කාම සංකල්පනා ප්‍රහීණ වූයේ වෙයි. ව්‍යාපාද සංකල්පනා ප්‍රහීණ වූයේ වෙයි. විහිංසා සංකල්පනා ප්‍රහීණ වූයේ වෙයි. මෙම අකුසල සංකල්පනාවන් ප්‍රහීණ වූ ස්වභාවය "නොකැළඹුණු සංකල්ප ඇත්තේ වෙයි" යනුවෙන් හඳුන්වනු ලබයි.
- පස්සද්ධකායසංඛාරෝ - සංසිඳුනා වූ කාය සංස්කාර ඇත්තේ වෙයි.
අස්සාස ප්‍රශ්වාසය කාය සංස්කාරයයි. (චූලවේදල්ල සූත්‍රය, මජ්ඣිම නිකාය) ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳීමට පත්වන්නේ හතරවන රූපාවචර ධ්‍යානයේදීය. ආර්යයන් වහන්සේලා මෙම ආශ්වාස ප්‍රශ්වාස සංසිඳීමට පත්වන හතරවන ධ්‍යානය උපදවාගෙන වාසය කරති. එබැවින් උන්වහන්සේලා සංසිඳීමට පත් වූ කාය සංස්කාර ඇති අය බව දේශනාවෙහි සඳහන්ය.
- සුවිමුත්තචිත්තෝ - මනාව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තෝය.
මේ ශාසනයෙහි භික්ෂුවගේ සිත රාගයෙන් මිදුනේ වෙයි. දෝෂයෙන් මිදුනේ වෙයි. මෝහයෙන් මිදුනේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව සුවිමුත්තචිත්ත හෙවත් මනාව මිදුණු සිත් ඇත්තේ වෙයි යනුවෙන් දුතිය අරියවාස සූත්‍රයෙහි මේ කාරණාව විස්තර කර ඇත.
- සුවිමුත්තපඤ්ඤෝ - මනාව මිදුණු ප්‍රඥාව ඇත්තේ වෙයි.
මේ ශාසනයෙහි භික්ෂුව "මාගේ රාගය ප්‍රහීණ විය; මුල් සිඳින ලද්දේය, තල් ගසක කරටිය කඩන ලද්දා බඳු විය; අභාවයට පත් කරන ලද්දේය, නැවත නූපදින ස්වභාව ඇත්තේය" කියා දැනගනී. යනාදී වශයෙන් ද, "මාගේ දෝෂය ප්‍රහීණ විය... මාගේ මෝහය ප්‍රහීණ විය..." කියා දැනගනී. එසේම තමාගේ සිත තුළ ක්ලේශ ධර්මයන් ප්‍රහීන වූ බව ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් දැනගැනීම "සුවිමුත්තපඤ්ඤෝ" යනුවෙන් හඳුන්වනු ලබයි.
අතීතයේ වැඩ සිටි යම් ආර්යයන් වහන්සේලා වෙත් නම්, එම ආර්යයන් වහන්සේලා මෙම ආර්ය වාසය කිරීම්වල වාසය කළහ. අනාගතයේ පහළ වන්නා වූ යම් ආර්යයන් වහන්සේලා වෙත් නම්, උන්වහන්සේලාද මේ ආර්ය වාසය කිරීම් තුළ වාසය කරන්නාහ. වර්තමානයෙහි යම් ආර්යයන් වහන්සේලා සිටිත් නම්, ඒ සියලු ආර්යයන් වහන්සේලාද මෙම ආර්ය වාසයන් තුළ වාසය කරති. මෙසේ මෙම දස අරියවාස හෙවත් ආර්ය වාසය කිරීම් දහය මෙම දේශනාවෙහි පැහැදිලිව දක්වා ඇත.
මෙම දේශනාවේ ආර්යයන් වහන්සේලා යනුවෙන් රහතන් වහන්සේලාම විස්තර වන බව තේරුම් ගත යුතුය. දේශනාව අවසානයි.