අංගුත්තරනිකාය. චතුක්ක නිපාතය
"චත්තාරිමානි භික්ඛවේ අග්ගානි කතමානි චත්තාරි?
සීලග්ගං සමාධග්ගං පඤ්ඤග්ගං විමුත්තග්ගං.
ඉමානි ඛෝ භික්ඛවේ චත්තාරි අග්ගානීති."
මහණෙනි, අග්‍රධර්ම හතරකි. කවර හතරක්ද? සීල අග්‍රය, සමාධි අග්‍රය, ප්‍රඥා අග්‍රය, විමුක්ති අග්‍රය යනුයි.
මහණෙනි, මේ අග්‍රධර්ම හතරයි.
ධර්මාර්ථ විවරණය
මෙහි සීලය යනු සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන මාර්ග අංග තුනයි. හෙවත් සීල ශික්ෂාවයි.
සමාධිය යනු සම්මාවායාම, සම්මාසති, සම්මා සමාධි යන මාර්ගාංග තුනයි. හෙවත් සමාධි ශික්ෂාවයි.
ප්‍රඥා යනු සම්මාදිට්ඨි, සම්මාසංකප්ප යන මාර්ග අංග දෙකයි. හෙවත් ප්‍රඥා ශික්ෂාවයි.
විමුක්තිය යනු ලෝකෝත්තර ඵල ධර්මයන්ය. සෝතාපත්ති ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරිහත් ඵලය, නිර්වාණය යන මේවා විමුක්ති යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කළ යුතුය, එබැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වනු ලැබේ.