පොත් ලැයිස්තුව

පාපක සීල සූත්‍රය

star_outline

(ඉතිවුත්තකපාලිය - දුක නිපාතය)

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී:

​"ද්වීහි, භික්ඛවේ, ධම්මෙහි සමන්නාගතෝ පුග්ගලෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. කතමෙහි ද්වීහි? පාපකේන ච සීලේන, පාපිකාය ච දිට්ඨියා. ඉමේ ඛෝ, භික්ඛවේ, ද්වීහි ධම්මෙහි සමන්නාගතෝ පුග්ගලෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ"ති.

​මහණෙනි, කරුණු දෙකකින් යුක්ත වූ පුද්ගලයා ගෙනැවිත් බිම තැබූ බරක් සේ, නිරයෙහි උපත ලබයි. කවර කරුණු දෙකකින්ද? ලාමක වූ සීලයෙන්ද, ලාමක වූ දෘෂ්ටියෙන්ද යන කරුණු දෙකෙනි. මහණෙනි, මේ කරුණු දෙකෙන් යුක්ත වූ පුද්ගලයා ඔසවාගෙන ගිය බරක් බිමින් තැබුවා සේ, මෙසේ නිරයේ උපත ලබයි.

​මෙම අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එහි අර්ථය ගාථාවලින්ද මෙසේ කියනු ලැබේ:

​"පාපකේන ච සීලේන, පාපිකාය ච දිට්ඨියා;

ඒතෙහි ද්වීහි ධම්මෙහි, යෝ සමන්නාගතෝ නරෝ;

කායස්ස භේදා දුප්පඤ්ඤෝ, නිරයං උපපජ්ජතී"ති.

​ලාමක වූ සීලයෙන්ද, ලාමක වූ මිථ්‍යාදෘෂ්ඨියෙන්ද යුක්ත වූ තැනැත්තා, කය බිඳී මරණින් පසු නිරයෙහි උපත ලබයි.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී..

ධර්මාර්ථ විස්තරය

​මෙම දේශනාවේදී කාරණා දෙකක් පිළිබඳව පැහැදිලි කර දෙයි. පාපක වූ සීලය සහ පාපක වූ දෘෂ්ටිය යනු එම කාරණා දෙකයි. පාපක වූ සීලය යනු ශික්ෂාපද බිඳගැනීමයි; හෙවත් දුස්සීලව වාසය කිරීමයි.

​"කතමේ ගහපති, අකුසලා සීලා? අකුසලං කායකම්මං, අකුසලං වචීකම්මං, පාපකෝ ආජීවෝ..." (සමණමණ්ඩික සූත්‍රය - මජ්ඣිම නිකාය).

​"ගෘහපතිතුමනි, අකුසල සීලය යනු කුමක්ද? අකුසල කායකර්ම, අකුසල වචීකර්ම, මිථ්‍යා ආජීවය."

​මෙම සම්බුද්ධ දේශනා පාඨයට අනුව, කයින් සිදුවන ත්‍රිවිධ අකුසලයත්, වචනයෙන් සිදුවන වැරදි හතරත්, මිථ්‍යා ආජීවයත් අකුසල සීලය හෙවත් පාපක සීලය යන නමින් හඳුන්වනු ලැබේ.

​පාපක දෘෂ්ටිය:

​පාපක දෘෂ්ටිය යනු මිථ්‍යාදෘෂ්ටියයි. මිථ්‍යාදෘෂ්ටි අතරින් අහේතුක දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය, නත්ථික දෘෂ්ටිය යන ත්‍රිවිධ දෘෂ්ටීන් ඉතාමත් බලවත් වෙති, දරුණු වෙති.

​අහේතුක දෘෂ්ටිය:

හේතුවක් නැත යන අර්ථය ඇති වචනයකි. බුද්ධ කාලයේ සිටි සමහර ශාස්තෘවරුන් සත්වයාගේ පිරිසිදු වීමට හෝ අපිරිසිදු වීමට හෝ හේතුවක් නැතැයි ප්‍රකාශ කළහ. එය ඉතා දරුණු වූ මිථ්‍යා දෘෂ්ටියකි. එම මිථ්‍යා දෘෂ්ටිය ඇති අය බොහෝ කොට පාප ධර්මයන්හි යෙදෙති; කුසලයන් කිරීමෙන් අර්ථයක් නැතැයිද සිතති, කුසල් නොකරති.

​අක්‍රිය දෘෂ්ටිය:

ක්‍රියාව විශ්වාස නොකිරීමයි. ඔවුහු කුසල ක්‍රියා හෝ අකුසල ක්‍රියා හෝ පිළිගන්නේ නැත. එක ශාස්තෘවරයෙකු මෙසේ ප්‍රකාශ කළේය: "යම්කිසි කෙනෙකු ගංගා නම් ගඟ අයිනෙහි ආරම්භයේ සිට අවසානය දක්වාම දාන ශාලා හදමින් දන් දුන්නත් ඔහුට ලැබෙන පිනක් නැත. ගංගා ගඟේ ආරම්භයේ සිට අවසානය දක්වා සිටින මිනිසුන් කඩුවකින් කපා මරා දැමුවත් ඔහුට ලැබෙන පාපයක්ද නැත." මෙම දෘෂ්ටිය දරන්නෝ කුසල ක්‍රියා, අකුසල ක්‍රියා විශ්වාස නොකරති.

​නත්ථික දෘෂ්ටිය:

​නත්ථික දෘෂ්ටිය යනු විපාක නැතැයි කියන මිථ්‍යාදෘෂ්ටියයි.

​ඔවුහු දන්දීමේ විපාක නැත, පූජාවේ විපාක නැත, මහා යාගයේ විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, අකුසල කර්මයන්ගේ විපාක නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, මෙලොව පරලොව දැනගෙන ලොවට ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත යන මිථ්‍යාදෘෂ්ටිය දරති. මෙම මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ තැනැත්තා මරණින් මතු ඒකාන්තයෙන් නිරයෙහි හෝ තිරිසන් ලෝකයෙහි උපත ලබති.