අංගුත්තර නිකාය චතුක්ක නිපාතෝ
චතස්සෝ ඉමා භික්ඛවේ පටිපදා, කතමා චතස්සෝ?
මහණෙනි, මේ ප්‍රතිපදා හතර කවරේද යත්:
අක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා.
නොඉවසීමේ ප්‍රතිපදාව, ඉවසීමේ ප්‍රතිපදාව, ඉන්ද්‍රිය දමනය කිරීමේ ප්‍රතිපදාව, අකුසල විතර්ක සංසිඳවීමේ ප්‍රතිපදාව.
කතමා ච භික්ඛවේ අක්ඛමා පටිපදා? ඉධ භික්ඛවේ ඒකච්චෝ අක්ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසිකජාතිකෝ හෝති. අයං වුච්චති භික්ඛවේ අක්ඛමා පටිපදා.
මහණෙනි, නොඉවසීමේ ප්‍රතිපදාව යනු කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීතල, උෂ්ණත්වය, බඩගින්න, පිපාසය, මැසි, මදුරු, වාත, අව්, සර්පයන්ගෙන් වන ස්පර්ශ නොඉවසන්නේය. නපුරු කොට කියන ලද, නපුරු කොට පැමිණි වචනයන්ද, තියුණු වූ, ගොරෝසු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ප්‍රාණය නසන්නා වූ සාරීරික වේදනාවන් නොඉවසන ස්වභාවය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය අක්ඛමා පටිපදා හෙවත් නොඉවසීමේ ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.
කතමා ච භික්ඛවේ ඛමා පටිපදා? ඉධ භික්ඛවේ ඒකච්චෝ ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසිකජාතිකෝ හෝති. අයං වුච්චති භික්ඛවේ ඛමා පටිපදා.
මහණෙනි, ඉවසීමේ ප්‍රතිපදාව යනු කුමක්ද? මෙලොව ඇතැම් පුද්ගලයෙක් සීතල, උෂ්ණත්වය, බඩගින්න, පිපාසය, මැසි, මදුරු, වාත, අව්, සර්පයන්ගේ ස්පර්ශ ඉවසන්නේ වෙයි. නපුරු කොට කියන ලද, නපුරු කොට පැමිණි වචනයන්ද ඉවසන්නේ වෙයි. දුක් වූ, තියුණු වූ, ගොරෝසු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ප්‍රාණය නසන්නා වූ සාරීරික වේදනාවන් ඉවසන ස්වභාවය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය ඛමා පටිපදාව යැයි කියනු ලැබේ.
මහණෙනි ඉන්ද්‍රිය දමනය කිරීමේ ප්‍රතිපදාව කුමක්ද.
මෙම සාසනයෙහි භික්ෂුව ඇසින් රූප දැක කෙලෙස් හට ගැනීමට හේතුවන රූප නිමිත්ත ග්‍රහණය කර නොගනී. රූපයන්හි කොටස් හෙවත් අනුවයංජන. ග්‍රහණය කර නොගනී. . ඇස අසංවරව වාසය කරන විට. අභිජ්ඣා දෝමනස්ස. සංඛ්‍යාත ළාමක අකුසල ධර්මයන්. ලුහුබැඳ එයි ද එහි සංවරය පිණිස. පිළිපදියි. ඇස රැක ගනියි. ඇසෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව කනින් ශබ්ද අසා කෙලෙස් හට ගැනීමට හේතුවන ශබ්ද නිමිත්ත ග්‍රහණය කර නොගනී. ශබ්දයන්හි කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. කන අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. කන රැකගනියි, කනෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට කෙලෙස් හට ගැනීමට හේතුවන ගඳ සුවඳ නිමිත්ත ග්‍රහණය කර නොගනී. ගඳ සුවඳවල කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. නාසය අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. නාසය රැකගනියි, නාසයෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව දිවෙන් රසය දැන කෙලෙස් හට ගැනීමට හේතුවන රස නිමිත්ත ග්‍රහණය කර නොගනී. රසයන්හි කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. දිව අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. දිව රැකගනියි, දිවෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව කයින් ස්පර්ශය ලබා කෙලෙස් හට ගැනීමට හේතුවන ස්පර්ශ නිමිත්ත ග්‍රහණය කර නොගනී. ස්පර්ශයන්හි කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. කය අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. කය රැකගනියි, කයෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව මනසින් අරමුණු සිතා කෙලෙස් හට ගැනීමට හේතුවන ධර්ම නිමිත්ත ග්‍රහණය කර නොගනී. අරමුණුවල කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. මනස අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. මනස රැකගනියි, මනසෙහි සංවරයට පැමිණෙයි.
කතමා ච භික්ඛවේ සමා පටිපදා? ඉධ භික්ඛවේ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති සමේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නං බ්‍යාපාදවිතක්කං ....(පෙ).... උප්පන්නං විහිංසාවිතක්කං ....(පෙ).... උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති සමේති ව්‍යන්තීකරෝති අනභාවං ගමේති. අයං වුච්චති භික්ඛවේ සමා පටිපදා.
මහණෙනි, සමා පටිපදා හෙවත් අකුසල විතර්ක සංසිඳවීමේ ප්‍රතිපදාව කුමක්ද?
මේ ශාසනයෙහි භික්ෂුව උපන්නා වූ කාම විතර්කය සිතෙහි වාසය නොකරවයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, ගෙවා දමයි, අභාවයට පමුණුවයි.
උපන් ව්‍යාපාද විතර්කය සිතෙහි වාසය නොකරවයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, ගෙවා දමයි, අභාවයට පමුණුවයි.
උපන්නා වූ විහිංසා විතර්කය සිතෙහි වාසය නොකරවයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, ගෙවා දමයි, අභාවයට පමුණුවයි.
උපදින උපදින පාපක අකුසල ධර්මයන් සිතෙහි වාසය නොකරවයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, ගෙවා දමයි, අභාවයට පමුණුවයි. මහණෙනි, මේ සමා පටිපදාව යැයි කියනු ලැබේ.