පොත් ලැයිස්තුව

පංච භෝග ආදිය සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය තතියෝ භාගෝ පඤ්චක නිපාතෝ


පඤ්චභෝගආදිය සුත්තං


​ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අනාථපිණ්ඩිකෝ ගහපති යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අනාථපිණ්ඩිකං ගහපතිං භගවා ඒතදවෝච:


​එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමයෙහි වැඩවාසය කරන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත්තා වූ 

අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:


​පඤ්චිමේ ගහපති භෝගානං ආදියා. කතමේ පඤ්ච?


​ගෘහපතිතුමනි, භෝගයන්ගේ (ධනයෙන් ලබාගත යුතු) ප්‍රයෝජන පහකි. කවර පහක්ද යත්:


​ඉධ ගහපති අරියසාවකෝ උට්ඨානවිරියාධිගතේහි භෝගේහි බාහාබලපරිචිතේහි සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි ධම්මලද්ධේහි අත්තානං සුඛේති, පීණේති, සම්මා සුඛං පරිහරති. මාතාපිතරෝ සුඛේති, පීණේති, සම්මා සුඛං පරිහරති. පුත්තදාරදාසකම්මකරපෝරිසේ සුඛේති, පීණේති, සම්මා සුඛං පරිහරති. අයං පඨමෝ භෝගානං ආදියෝ.


​ගෘහපතිතුමනි, මේ ලෝකයෙහි ආර්ය ශ්‍රාවකයා උත්සාහය හා වීර්යය මඟින් ලබාගන්නා ලද, බාහු බලයෙන් (අතපයේ මහන්සියෙන්) රැස්කර ගන්නා ලද, දහඩිය වගුරුවමින් උපයාගන්නා ලද, දැහැමි වූ, දහමෙන් ලබන ලද්දා වූ භෝගයන්ගෙන් තමා සැපයට පත් කරයි, පිනවයි, මනාව සැප සේ පරිහරණය කරයි. මව්පියන් සැපයට පත් කරයි, පිනවයි, මනාව සැප සේ පරිහරණය කරයි. අඹුදරුවෝද, දාසයෝද, කම්කරුවෝද, මෙහෙකරුවෝද සැපයට පත් කරයි, පිනවයි, මනාව සැප සේ පරිහරණය කරයි. භෝගයන්ගෙන් ලබාගත යුතු පළමුවන ප්‍රයෝජනය මෙයයි.

පුන චපරං ගහපති අරියසාවකෝ උට්ඨානවිරියාධිගතේහි භෝගේහි බාහාබලපරිචිතේහි සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි ධම්මලද්ධේහි මිත්තාමච්චේ සුඛේති, පීණේති, සම්මා සුඛං පරිහරති. අයං දුතියෝ භෝගානං ආදියෝ.


​ගෘහපතිතුමනි, මේ ලෝකයෙහි ආර්ය ශ්‍රාවකයා උත්සාහය හා වීර්යය මඟින් ලබාගන්නා ලද, බාහු බලයෙන් (අතපයේ මහන්සියෙන්) රැස්කර ගන්නා ලද, දහඩිය වගුරුවමින් උපයාගන්නා ලද, දැහැමි වූ, දහමෙන් ලබන ලද්දා වූ භෝගයන්ගෙන් මිතුරන් හා ඇමැතියන් (හිතවතුන්) සැපයට පත් කරයි, පිනවයි, මනාව සැප සේ පරිහරණය කරයි. භෝගයන්ගෙන් ලබාගත යුතු දෙවන ප්‍රයෝජනය මෙයයි.


​පුන චපරං ගහපති අරියසාවකෝ උට්ඨානවිරියාධිගතේහි භෝගේහි බාහාබලපරිචිතේහි සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි ධම්මලද්ධේහි යා තා හොන්ති ආපදා අග්ගිතෝ වා උදකතෝ වා රාජතෝ වා චෝරතෝ වා අප්පියතෝ වා දායාදතෝ, තථාරූපාසු ආපදාසු භෝගේහි පරියෝධාය වත්තති, සොත්ථිං අත්තානං කරෝති. අයං තතියෝ භෝගානං ආදියෝ.


​නැවතද ගෘහපතිතුමනි, ආර්ය ශ්‍රාවකයා උත්සාහයෙන් වීර්යයෙන් යුතුව ලබාගත්, බාහු බලයෙන් රැස්කරගත්, දහඩිය වගුරුවා උපයාගත්, ධාර්මික වූ ධර්මයෙන් ලද්දා වූ භෝගයන්ගෙන් ගින්නෙන් හෝ, ජලයෙන් හෝ, රජුන්ගෙන් හෝ, සොරුන්ගෙන් හෝ, අප්‍රිය දායාදයන්ගෙන් හෝ යම් ඒ ආපදාවෝ සිදුවෙත් නම්, එබඳු ආපදා අවස්ථාවන්හිදී භෝගයන් යොදා එම ආපදා වළකාගෙන, තම ආත්මභාවය නිරුපද්‍රිත කර ගනියයි. මෙය භෝගයන්ගෙන් ගත යුතු තුන්වන ප්‍රයෝජනයයි.

පුන චපරං ගහපති අරියසාවකෝ උට්ඨානවිරියාධිගතේහි භෝගේහි බාහාබලපරිචිතේහි සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි ධම්මලද්ධේහි පඤ්ච බලීකත්තා හෝති: ඤාතිබලිං, අථිතිබලිං, පුබ්බපේතබලිං, රාජබලිං, දේවතාබලිං. අයං චතුත්ථෝ භෝගානං ආදියෝ.

ඉමේ ඛෝ ගහපති පඤ්ච භෝගානං ආදියා.


​ගෘහපතිතුමනි, මේ භෝගයන්ගෙන් ලබාගත යුතු ප්‍රයෝජන පහයි.


​තස්ස චේ ගහපති අරියසාවකස්ස ඉමේ පඤ්ච භෝගානං ආදියේ ආදියතෝ භෝගා පරික්ඛයං ගච්ඡන්ති, තස්ස ඒවං හෝති: “යේ වත භෝගානං ආදියා, තේ චාහං ආදියාමි. භෝගා ච මේ පරික්ඛයං ගච්ඡන්තී”ති. ඉතිස්ස හෝති අවිප්පටිසාරෝ. තස්ස චේ ගහපති අරියසාවකස්ස ඉමේ පඤ්ච භෝගානං ආදියේ ආදියතෝ භෝගා අභිවඩ්ඪන්ති, තස්ස ඒවං හෝති: “යේ වත භෝගානං ආදියා, තේ චාහං ආදියාමි භෝගා ච මේ අභිවඩ්ඪන්තී”ති ඉතිස්ස හෝති උභයේනේව අවිප්පටිසාරෝති.


​ගෘහපතිතුමනි, භෝගයන්ගෙන් ලබාගත යුතු මේ ප්‍රයෝජන ගන්නා ලද ඒ ආර්ය ශ්‍රාවකයාගේ භෝගයෝ යම් හෙයකින් පිරිහීමට යත් නම්, ඔහුට මෙබඳු සිතුවිල්ලක් වෙයි: "ඒකාන්තයෙන් ම භෝගයන්ගෙන් ලබාගත යුතු යම් ප්‍රයෝජනයක් වෙත්නම් මම එම ප්‍රයෝජනය ලබා ගත්තෙමි. භෝගයෝ ද එම ප්‍රයෝජනයට ගැනීම නිසාම ක්ෂය වීමට ගියහ." මෙසේ ඔහුට විපිලිසර බව (කණගාටුව) නොවේ. ගෘහපතිතුමනි, භෝගයන්ගෙන් ලබාගත යුතු මේ ප්‍රයෝජන ගන්නා ලද ආර්ය ශ්‍රාවකයාට යම් හෙයකින් භෝගයෝ වර්ධනය වෙත් නම්, ඔහුට මෙබඳු සිතක් වෙයි: "ඒකාන්තයෙන් ම භෝගයන්ගෙන් ලබාගත යුතු යම් ප්‍රයෝජනයෝ වෙත්නම් මම ඒවා ලබා ගත්තෙමි; මගේ භෝගයෝ ද වර්ධනය වෙති." මෙසේ ඔහුට ආකාර දෙකකින් ම විපිලිසර බව නොවේ.


​භුත්තා භෝගා භතා භච්චා විතිණ්ණා ආපදාසු මේ,

උද්ධතෝ දක්ඛිණා දින්නා අථෝ පඤ්ච බලී කතා.

උපට්ඨිතා සීලවන්තෝ සඤ්ඤතා බ්‍රහ්මචාරයෝ.


​මා විසින් භෝගයෝ පරිභෝග කරන ලදහ; පෝෂණය කිරීමට සුදුසු වූ අය පෝෂණය කරන ලදහ; ආපදාවන් තරණය කරන ලදහ; මතු සැප විපාක ලබා දෙන දන් දෙන ලදී; නැවත ද බලි කර්ම කරන ලදී; සිල්වත් වූ, සංවර වූ බ්‍රහ්මචාරීන් හට උපස්ථාන කරන ලදහ.


​නැවතද ගෘහපතිතුමනි, ආර්ය ශ්‍රාවකයා උත්සාහයෙන් සහ වීර්යයෙන් ලබන ලද, බාහු බලයෙන් රැස්කරන ලද, දහඩිය වගුරුවා උපයාගත්තා වූ, ධාර්මික වූ, ධර්මයෙන් ලද්දා වූ භෝගයන්ගෙන් ඥාතිබලි (ඥාතීන්ට සංග්‍රහ කිරීම), අතිථිබලි (අමුත්තන්ට හා අගතුන්ට සංග්‍රහ කිරීම), පුබ්බපේතබලි (මියගිය ඥාතීන්ට පින්දීම උදෙසා දන් දීම), රාජබලි (රජතුමාට හෝ රජයට බදු ගෙවීම), දේවතාබලි (දෙවියන් උදෙසා පූජා පැවැත්වීම) යනුවෙන් බලි (සත්කාර) පහක් කරන්නේ වෙයි. මේ භෝගයන්ගෙන් ලබාගත යුතු හතරවන ප්‍රයෝජනය මෙයයි.


පුන චපරං ගහපති අරියසාවකෝ උට්ඨානවිරියාධිගතේහි භෝගේහි බාහාබලපරිචිතේහි සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි ධම්මලද්ධේහි යේ තේ සමණබ්‍රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසෝරච්චේ නිවිට්ඨා ඒකමත්තානං දමෙන්ති, ඒකමත්තානං සමෙන්ති, ඒකමත්තානං පරිනිබ්බාපෙන්ති, තථාරූපේසු සමණබ්‍රාහ්මණේසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපේති සෝවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං. අයං පඤ්චමෝ භෝගානං ආදියෝ.


​නැවතද ගෘහපතිතුමනි, ආර්ය ශ්‍රාවකයා උත්සාහයෙන් වීර්යයෙන් ලබා ගන්නා ලද, බාහු බලයෙන් රැස්කර ගන්නා ලද, දහඩිය වගුරුවා උපයාගන්නා ලද, ධාර්මිකව ලද භෝගයෙන්, මදයෙන් හා ප්‍රමාදයෙන් වැළකුණා වූ, ඉවසීමෙන් හා කීකරුකමින් යුතුව වාසය කරන්නා වූ, තමාගේ සිත දමනය කරන්නා වූ, තමාගේ සිත සංසිඳුවන්නා වූ, තමාගේ සිත (කෙලෙසුන්ගෙන්) නිවාලන්නා වූ, එබඳු ස්වභාව ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු සැප විපාක බලාපොරොත්තුවෙන්, සුගතියට හිත වූ, සැප විපාක ඇත්තා වූ, ස්වර්ගයට පමුණුවන්නා වූ උතුම් දක්ෂිණාව (දානය) පිහිටුවයි (දන් දෙයි). භෝගයන්ගෙන් ලබාගත යුතු පස්වන ප්‍රයෝජනය මෙයයි

යදත්ථං භෝගං ඉච්ඡෙය්‍ය පණ්ඩිතෝ ඝරමාවසං,

සෝ මේ අත්ථෝ අනුප්පත්තෝ කතං අනනුතප්පියං.


​ගිහි ගෙයි වාසය කරන නුවණැති තැනැත්තා යමක් සඳහා භෝග කැමති වේ නම්, මා විසින් ඒ ප්‍රයෝජනය ලබන ලද්දේ වෙයි; පසුතැවීමට (නොතැවීමට) හේතු වන කුසල කර්ම කරන ලදී.


​ඒතං අනුස්සරං මච්චෝ අරියධම්මේ ඨිතෝ නරෝ,

ඉධේව නං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදතීති.


​මෙය සිහිකරන මිනිසා ආර්ය ධර්මය තුළ පිහිටියේ වෙයි. ඔහු මෙලොවදීම ප්‍රශංසා ලබති; මරණින් මතු ස්වර්ගයෙහි සතුටු වෙයි.

ධර්මාර්ථ විස්තරය:


​මෙම දේශනාවේදී තථාගතයන් වහන්සේ විසින් ධාර්මිකව උපයා සපයා ගත් බෝගයන්ගෙන් ආර්ය ශ්‍රාවකයාට ලබාගත හැකි ප්‍රයෝජන පහක් පිළිබඳව දේශනා කළහ.


1. තමාද, මව්පියනුද, අඹුදරුවන් සහ දාස කම්කරු පුරුෂයන්ද සුවපත් කිරීම සහ පෝෂණය කිරීම පළමුවන ප්‍රයෝජනයයි.

2. තමාගේ මිත්‍ර වූ අමාත්‍යයන් පෝෂණය කිරීම දෙවන ප්‍රයෝජනයයි.

3. ​ගින්නෙන් හෝ, ජලයෙන් හෝ, රජවරුන්ගෙන් හෝ, සොරුන්ගෙන් හෝ, අප්‍රිය දායාදයන්ගෙන් හෝ යම් විපතක් සිදුවූ විට බෝගයන් යොදවා එම උපද්‍රවය මගහරවා ගැනීම හා තමාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම තුන්වන ප්‍රයෝජනයයි.

4. ​තමා විසින් උපයා ගන්නා ලද බෝගයන්ගෙන් ඥාතීන්ට, අතිථීන්ට (දුගී මගී අසරණ යාචකයින්ට) සංග්‍රහ කිරීමද, මියගිය අය වෙනුවෙන් පින්කම් කර පින්දීමද, රජයට බදු මුදල් ගෙවීමද, දෙවි දේවතාවුන් උදෙසා පූජා සත්කාර පැවැත්වීමද සිව්වන ප්‍රයෝජනයයි.

5. ​සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් උදෙසා දන් දීම සහ මතු සැප විපාක ලැබෙන පින්කම් කර ගැනීම පස්වන ප්‍රයෝජනයයි.


​ධාර්මිකව උපයා ගන්නා ලද බෝගයන්ගෙන් මෙම ප්‍රයෝජන ලබා ගත්තා වූ තැනැත්තාට මානසිකව ලොකු සතුටක් දැනෙයි. සමහර විට මෙම ප්‍රයෝජනයන් ලබා ගන්නා විට ධනය ක්ෂය වීමට පත්විය හැකිය. එවිටද "මා විසින් මා සතු ධනය ප්‍රයෝජනවත් ලෙස යොදවන ලදී, මතු සැප විපාක ලැබෙන පින් දහම්ද කරන ලදී" යනුවෙන් ඔහුට සතුටු විය හැකිය. මෙම ප්‍රයෝජන ලබා ගන්නා අතරතුර ධනය වර්ධනය වීමද සිදුවිය හැකිය. එම අවස්ථාවේදී "මා විසින් ධාර්මිකව ධනය සොයන ලදී, ඉන් ප්‍රයෝජන ගන්නා ලදී, මගේ ධනයද වර්ධනය විය" කියා මහත් වූ සතුටක් ලැබිය හැකිය.