පොත් ලැයිස්තුව

නිස‍්සරණීය සුත‍්තං

star_outline
ඛුද‍්දකනිකායො ඉතිවුත‍්තකපාළි තිකනිපාතො තතියවග‍්ගො

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් අසන ලදී.

​තිස්සෝ ඉමා භික්ඛවේ නිස්සරණියා ධාතුයෝ. කතමා තිස්සෝ? කාමානමේතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං. රූපානමේතං නිස්සරණං යදිදං ආරුප්පං. යං ඛෝ පන කිඤ්චි භූතං සංඛතං පටිච්චසමුප්පන්නං, නිරෝධෝ තස්ස නිස්සරණං. ඉමා ඛෝ භික්ඛවේ තිස්සෝ නිස්සරණීයා ධාතුයෝ’ති.

​මහණෙනි, නිස්සරණ ධාතු තුනකි. ඒ තුන කවරේද? යම් නෙක්ඛම්මයක් වේද, එය කාමයන්ගේ නික්මීමයි. යම් අරූප ධ්‍යානයක් වේද, එය රූපයන්ගේ නිස්සරණයයි. යම් නිරෝධයක් හෙවත් නිර්වාණයක් වේද, එය රැස් කරන ලද හේතූන්ගෙන් හටගත් හෙවත් පටිච්චසමුප්පාදයේ නිස්සරණයයි. මහණෙනි, මේ නිස්සරණ ධාතු තුනකි.

​අතිරේක දහම් විස්තරය

​නිස්සරණය යනු නික්මීමයි. මෙම දේශනාවේදී නෙක්ඛම්මය කියා හඳුන්වා ඇත්තේ පළමුවන ධ්‍යානයයි. එයට හේතුව කුමක්ද? පළමුවන ධ්‍යානයේදී කාමච්ඡන්දය යටපත් වෙයි. එම ධ්‍යාන අවස්ථාව තුළදී කාමය අරමුණු කරගත් සිතුවිලි ඇති නොවේ. කාම විතර්ක ඇති නොවේ. එබැවින් නෙක්ඛම්මය නුවෙන් ප්‍රථම ධ්‍යානය මෙහිදී හඳුන්වා ඇත. කාමච්ඡන්දය යටපත් කොට, තාවකාලිකව හෝ සහනයක් ලබා ගත හැක්කේ ප්‍රථම ධ්‍යානයට සමවැදීම තුළිනි. ප්‍රථම ධ්‍යානයේදී කාමයෙන් සිත ඉවත්වන බව බුද්ධ දේශනාවේ සඳහන්ය.

​"විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි..." (සච්චවිභංග සූත්‍රය - මජ්ඣිම නිකාය)

කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව. එහි අකුසල ධර්ම යනුවෙන් හඳුන්වා ඇත්තේ ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණයෝය.

​රූපයෙන් නික්මීම

​රූප යනු ශරීරයට කියන නමකි. "කණු හිටවා වහල ගසා වරිච්චි බැඳ, මැටි ආලේප කළ කල්හි, එය නිවස යන නමින් හඳුන්වනු ලබයි. එසේම ඇටසැකිල්ල, නහර වැලින් බැඳ, මස් ලේ ආලේප වී අහස වැසුණ කල්හි, එය රූපය යනුවෙන් හඳුන්වනු ලබයි." (මහා වේදල්ල සූත්‍රය - මජ්ඣිම නිකාය).

​ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ; මේවාද රූපයට අයත් අංගයෝය.

​"චත්තාරෝ ච මහාභූතා චතුන්නංච මහාභූතං උපාදාය රූපං..." (විභංග සූත්‍රය - සංයුත්ත නිකාය)

පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු සහ එයින් හටගත් වර්ණ, ගන්ධ, රස, ඕජා යන 'උපාදාය රූප' යන නමින් හඳුන්වනු ලැබේ. අභිධර්මය තුළ රූපය කොටස් විසි අටකට බෙදා විස්තර කර දී ඇත.

​මෙම රූපයේ පැවැත්ම අරූපාවචර ධ්‍යාන අවස්ථාවේදී නොදැනේ. ආලාර කාලාම තාපසතුමා මහා මාර්ගය අයිනේ අරූපාවචර ධ්‍යානයකට සමවැදී වැඩ සිටියහ. එම අවස්ථාවේ ඒ මාවතෙහි කරත්ත පන්සීයක් ගමන් කළේය. එම කරත්තවල රෝද ගැටෙන හඬ හෝ ගවයන්ගේ කුරහඬ හෝ මිනිසුන් කතාබහ කරන හඬ හෝ එතුමාට ඇසුණේ නැත. ඒ රූපය ඉක්මවා ගිය සමාධියක් ලබා සිටි බැවිනි.

​ප්‍රත්‍ය ධර්මයන්ගෙන් නික්මීම

​හේතූන්ගෙන් සකස් වූ පටිච්චසමුප්පන්න ධර්මයන්ගේ නික්මීම නිර්වාණයයි. නිවන හේතුඵල දහමින් හටගත් දෙයක් නොවේ. හේතුඵල දහමින් හටගත්තේ 'සංඛත' යන නමින් හඳුන්වනු ලැබේ. නිවන හේතූන්ගෙන් සකස් නොවූ බැවින් 'අසංඛතය' වේ. සංඛතයෙන් නික්මීම යනු අසංඛත ධාතු නිර්වාණය අවබෝධ කරගැනීමයි.

කාමනිස්සරණං ඤත්වා රූපානඤ්ච අතික්කමං

සබ්බසංඛාරසමථං

ඵුසං ආතාපි සබ්බදා

​සැමකල්හි කෙලෙස් තවන වීර්යය ඇති, කාමයන්ගේ නිස්සරණයද, රූපයන් ඉක්මවා යාමද, දැන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ස්පර්ශ කරන්නා වූ;

​ස වේ සම්මද්දසෝ භික්ඛු යතෝ තත්ථ විමුච්චති

අභිඤ්ඤා වෝසිතෝ සන්තෝ ස වේ යෝගාතිගෝ මුනී”ති

​එම භික්ෂුව ඒකාන්තයෙන්ම සම්යක් දර්ශන ඇත්තා යැයි කියනු ලැබේ. විශිෂ්ට ඥානයෙන් දැන, නිමා කරන ලද නිවන් මඟ කටයුතු ඇති, එම රහත් භික්ෂුව, සතර යෝගයන් තරණය කළේ නම් වෙයි.

ගාථා විස්තරය..

​මෙහි 'යෝග' යනු යෙදීමය. යෝග යනුවෙන් හඳුන්වන ක්ලේශ ධර්ම හතරක් ඇත. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යනු සතර යෝගයෝය.

​කාම යෝගය: යනු රූපාදී පංචකාම ගුණික රාගයයි.

​භව යෝගය: යනු රූප, අරූප ධ්‍යාන කෙරෙහි ඇති ඇල්ම හෙවත් ධ්‍යාන නිකාන්තියත්, රූප අරූප බ්‍රහ්ම ලෝක කෙරෙහි ඇල්මත් ය. .

​දිට්ඨි යෝගය:යනු මිථ්‍යා දෘෂ්ටියයි.

​අවිජ්ජා යෝගය:යනු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීමයි.

අනු මාතෘකා