පොත් ලැයිස්තුව

දෙවියාගේ දෘෂ්ටිය:

star_outline

කාම ගුණ සම්පත්තියෙන් තොර වූ තැනැත්තා දිළිඳු කෙනෙකි. ඔහු ඉතා දුකසේ ආහාරපාන ආදිය සොයන අයෙකි. ඔහු "මනුස්ස ප්‍රේතයකු" බඳුය; එසේම නිරයේ සිටින මිනිසෙකු බඳුය. ඔහුට සතුටක් නැත. එබැවින්, "පංචකාම වස්තූන් නැති තැනැත්තාට සැපයක් කොහෙන්ද?" යනුවෙන් එම දෙවියා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේය.

​භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම:

මෙම දෙවියා සෝකය ඉපදීමට හේතු වන දේම, සතුට ඉපදීමට හේතු ලෙස ප්‍රකාශ කරන බව භාග්‍යවතුන් වහන්සේ වටහා ගත් සේක. එම නිසා, "මම මොහුට ඔබ පවසන මේ දේවල් සැබවින්ම ශෝක වස්තූන් බව පැහැදිලි කර දෙන්නෙමි" යන අදහසින් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ගාථාව දේශනා කළ සේක.

​භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුරු ගාථාව

​"සෝචති පුත්තේහි පුත්තිමා

ගෝමිකෝ ගෝහි තථේව සෝචති

උපධීහි නරස්ස සෝචනා

න හි සෝ සෝචති යෝ නිරූපධීති."

පුතුන් ඇත්තා පුතුන් නිසා ශෝක කරයි. ගව හිමියා ගවයන් නිසා ශෝක කරයි. උපධි මිනිසාට ශෝකයට හේතුය. යමෙක් උපධි නැද්ද, ඔහු ශෝක නොකරයි."

පුතුන් ඇත්තා පුතුන් නිසා ශෝක කරයි. පුතුන් මුල් කරගෙන ආකාර නවයකට ශෝක කරන බව අටුවාවේ දක්වා ඇත. දරුවෙක් විදේශ ගමනක් ගිය විට ඔහු දක්නට නොලැබෙන නිසා දරුවා නැසුණේය, විදේශයකදී දරුවා නැසෙයි, අනාගතයේදී නැසෙන්නේය යනුවෙන් මෙසේ සැක සිතමින් ආකාර තුනකින් ශෝකය උපදී. රාජපුරුෂයන් ආදී අය දරුවෙකු අල්ලා ගත් පසුව දරුවා රාජපුරුෂයන් විසින් රැගෙන යන ලදී, එම දරුවා දැන් මරණයට පත් වී ඇතැයි සැක කරමින් ශෝක කරයි, රාජපුරුෂයන් විසින් අද දරුවා මරනු ඇතැයි සැක කරමින් ශෝක කරයි, රාජපුරුෂයන් විසින් අනාගතයේදී දරුවා මරන්නේ යැයි සැක කරමින් ශෝක කරයි යනුවෙන් තවත් ආකාර තුනකින් ශෝකය උපදී. දරුවා අවදානම් සහිත ගසකට නැග ගත් විටද, පර්වතයක් උඩට නැග ගත් විටද 'අත් පා කැඩුනේය, අත් පා කැඩෙයි. අත් පා කැඩෙන්නේය. යනුවෙන් ගසින් හෝ පර්වතයෙන් වැටී අත්අප්පා කැඩේ යැයි සැක සිතමින් ශෝක කරයි. මෙසේ දරුවන් ඇත්තා ආකාර නවයකින් ශෝක කරන බවත්, ගවයන් ඇත්තා ගවයන් නිසා ඒ ආකාරයෙන්ම ශෝක කරන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ."

යම්කිසි කෙනෙකුට උපධි නමින් හඳුන්වන කෙලෙස් නැත්නම්, උන්වහන්සේ රහතන් වහන්සේ නමකි. එම රහතන් වහන්සේ උපධීන්ගෙන් නිදහස් වූ බැවින් ශෝක නොකරන බව දේශනා කරමින්, බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව නිමාවට පත් කළහ."