(ඉච්චායස්මා නන්දෝ)
යේ කේචිමේ සමණබ්‍රාහ්මණා සේ
දිට්ඨේන සුතේනාපි වදන්ති සුද්ධිං
සීලබ්බතේනාපි වදන්ති සුද්ධිං
අනේකරූපේන වදන්ති සුද්ධිං
කච්චිස්සු තේ භගවා තත්ථ යථා චරන්තා
අතාරු ජාතිං ච ජරං ච මාරිස
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මේතං
නන්ද මානවක මෙසේ විමසයි:
භාග්‍යවතුන් වහන්ස, යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටියෙන් හෝ, ඇසීමෙන් හෝ ශුද්ධිය (විමුක්තිය) වන්නේ යැයි කියත් නම්, සීලව්‍රතයන්ගෙන් හෝ ශුද්ධිය වන්නේ යැයි කියත් නම්, නොයෙක් ආකාරයෙන් ශුද්ධිය වන්නේ යැයි කියත් නම්, නිදුකාණන් වහන්ස, ඒ දෘෂ්ටිකයෝ ඒ ක්‍රියායෙහි යෙදී වාසය කරමින් ජාතියත් ජරාවත් තරණය කළ අය වෙත්ද? මම භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය විමසමි; මේ කාරණාව මට දේශනා කරනු මැනවි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
(නන්දාති භගවා)
යේ කේචිමේ සමණබ්‍රාහ්මණා සේ
දිට්ඨේන සුතේනාපි වදන්ති සුද්ධිං
සීලබ්බතේනාපි වදන්ති සුද්ධිං
අනේකරූපේන වදන්ති සුද්ධිං
කිඤ්චාපි තේ තත්ථ යථා වදන්ති
නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
නන්දයෙනි, යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටියෙන්ද, ඇසීමෙන්ද පිරිසිදු බවට පත්වන්නේ යැයි. කියත් නම්, සීලව්‍රතයෙන් හෝ පිරිසිදු බවට පත්වන්නේ යැයි කියත් නම්, නොයෙක් ආකාරයෙන් පිරිසිදු වන්නේ යැයි කියත් නම්, ඔවුහු ඒ අයුරින් යම්තාක් කියති. නමුත් ඒ කාරණයෙහි යෙදී වාසය කරමින් ජාතිය හා ජරාව තරණය නොකළෝයැයි මම කියමි.
නන්ද මානවක මෙසේ විමසයි:
(ඉච්චායස්මා නන්දෝ)
යේ කේචිමේ සමණබ්‍රාහ්මණා සේ
දිට්ඨේන සුතේනාපි වදන්ති සුද්ධිං
සීලබ්බතේනාපි වදන්ති සුද්ධිං
අනේකරූපේන වදන්ති සුද්ධිං
භාග්‍යවතුන් වහන්ස, යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටියෙන්, සුතයෙන් (ඇසීමෙන්) පිරිසිදු වන්නේ යැයි කියත් නම්, සීලබ්බතයෙන් පිරිසිදු වන්නේ යැයි කියත් නම්, නොයෙක් ආකාර වූ හේතූන්ගෙන් පිරිසිදු වන්නේ යැයි කියත් නම්...
තේ චේ මුනි බ්‍රෑසි අනෝඝතිණ්ණෝ
අථ කෝ චරහි දේවමනුස්සලෝකේ
අතාරි ජාතිං ච ජරං ච මාරිස
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මේතං
...මුනින්ද්‍රයන් වහන්ස, ඒ දෘෂ්ටිකයන් ඕඝ තරණය නොකළ පිරිසකැයි දේශනා කරන සේක. නිදුකාණන් වහන්ස, එසේ තිබියදී දෙව් මිනිස් ලෝකයෙහි කවර නම් වූ කෙනෙක් ජාතියත් ජරාවත් තරණය කරන ලද්දෝ වෙත්ද? භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගෙන් විමසමි; මේ කාරණාව මට දේශනා කරනු මැනවි.
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:
(නන්දාති භගවා)
නාහං සබ්බේ සමණබ්‍රාහ්මණා සේ
ජාතිජරාය නිවුතාය බ්‍රෑමි
යේ සූධ දිට්ඨං ව සුතං මුතං වා
සීලබ්බතං වා පි පහාය සබ්බං
අනේකරූපම්පි පහාය සබ්බං
තණ්හං පරිඤ්ඤාය අනාසවා සේ
තේ වේ නරා ඕඝතිණ්ණාති බ්‍රෑමි
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:
නන්දයෙනි, මම හැම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ම ජාතිජරාවෙන් ආවරණය කරන ලද්දාහු (එයින් වැසී සිටින්නෝ) යැයි නොකියමි. යම් කෙනෙක් මේ සාසනයෙහි දෘෂ්ටියද, ඇසීමද, මුත ( මුත යනු. ගන්ධ රස පහස යන බාහිර ආයතන තුනයි. ) ද, සීලබ්බත පරාමාසයද සියල්ල අතහැර දමා, නොයෙක් ආකාර වූ කෝතුහල මංගල ශුද්ධිය යන සියල්ල අතහැර දමා, තණ්හාව පිරිසිඳ දැන (අභිඥාවෙන් අවබෝධ කොට) ආශ්‍රව රහිත වූවාහු වෙත්ද, ඔවුහු ඒකාන්තයෙන් ඕඝ තරණය කළෝයැයි මම කියමි.
නන්ද මානවක මෙසේ පවසයි:
(ඉච්චායස්මා නන්දෝ)
ඒතාභිනන්දාමි වචෝ මහේසිනෝ
සුකිත්තිතං ගෝතම නූපධීකං
යේ සූධ දිට්ඨං ව සුතං මුතං වා
සීලබ්බතං වා පි පහාය සබ්බං
අනේකරූපම්පි පහාය සබ්බං
තණ්හං පරිඤ්ඤාය අනාසවා සේ
අහං පි තේ ඕඝතිණ්ණාති බ්‍රෑමීති
මහා ඉසිවර වූ ඔබ වහන්සේගේ වචනය මම සතුටින් පිළිගනිමි. ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උපධි රහිත වූ නිර්වාණය මනාකොට ප්‍රකට කරන ලදී. මේ ලෝකයෙහි යම් කෙනෙක් සියලු දෘෂ්ටීන් ද, සියලු සුතයන් ද, සියලු මුතයන් ද (මුත යනු ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර ආයතන තුනට නමකි), සීලබ්බතපරාමාසයද, නොයෙක් ආකාර වූ (මිථ්‍යා විසුද්ධි) ක්‍රමයන් ද අතහැර දමා, තණ්හාව පිරිසිඳ දැන ආශ්‍රව රහිත වූවෝ ඕඝ තරණය කළෝයැයි මම කියමි.