පොත් ලැයිස්තුව

මෙත්තගූ සූත්‍රය

star_outline

(සුත්ත නිපාතය - පරායන වර්ගය)

මෙත්තගූ මානවක මෙසේ විමසයි:

(ඉච්චායස්මා මෙත්තගු)

පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මේතං,

මඤ්ඤාමි තං වේදගුං භාවිතත්තං;

කුතෝ නු දුක්ඛා සමුදාගතා ඉමේ,

යේ කේචි ලෝකස්මිං අනේකරූපා

​භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගෙන් අසමි, දේශනා කරනු මැනවි. ඔබ වහන්සේ ඥානවේදයෙහි පරතෙරට පැමිණි කෙනෙක් බවත්, වඩන ලද ආත්මභාව ඇති කෙනෙක් බවත් මගේ හැඟීමයි. ලෝකයෙහි යම්කිසිම නොයෙක් ස්වරූප ඇති දුකක් තිබේ නම්, එම දුක් කොතැනින් හට ගත්තෝද?

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක:

(මෙත්තගූති භගවා)

දුක්ඛස්ස වේ මං පභවං අපුච්ඡසි

තං තේ පවක්ඛාමි යථා පජානං

උපධිනිදානා පභවන්ති දුක්ඛා

යේ කේචි ලෝකස්මිං අනේකරූපා

​"මෙත්තගු මානවක, ඔබ දුකට හේතුව මගෙන් විමසයි. දුකට හේතුව දන්නා කෙනෙකු ලෙස මම එය ඔබට පවසමි. මේ ලෝකයෙහි නොයෙක් ස්වරූප ඇති යම්කිසි දුකක් වේ නම්, එම දුක් උපධි නිදාන කරගෙන හට ගනිති."

යෝ වේ අවිද්වා උපධිං කරෝති

පුනප්පුනං දුක්ඛමුපේති මන්දෝ

තස්මා හි ජානං උපධිං න කයිරා

දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී

අවිද්වා...අවබෝධය නැති

යෝ..යමෙක්

උපධිං.. තණ්හා ආදී උපධි

කරෝති..කරයි ද

මන්දෝ..මද නුවණ ඇත්තා වූ ඔහු

පුනප්පුුනං..නැවත නැවත

දුක්ඛං උපේති... දුකට පැමිණෙයි

දුක්ඛස්ස..සංසාර දුක්ඛය

ජාතිප්පභවානු පස්සි..ජාතිය මුල් කොට ඇතැයි දකින්නේ

තස්මාහි..එම නිසා

ජානං...ස්කන්ධ ආදිය අනිත්‍ය ආදී වශයෙන් දන්නා වූ තැනැත්තා

උපධිං.. තණ්හා ආදි උපධි

න කයිරා..නොකරන්නේය

අවබෝධය නැති යමෙක් තණ්හා ආදී උපධි ඇති කරගනීද මදනුවණ ඇත්තා වූ ඔහු නැවත නැවත දුකට පැමිණෙයි. සංසාර දුක ඉපදීම මුල්කරගෙන පවතියි දකින්නේ , එම නිසා ස්කන්ධ ආදී ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින තැනැත්තා තණ්හාව ආදී උපධි නොකරන්නේය.

මෙත්තගූ මානවක මෙසේ විමසයි:

(ඉච්ඡායස්මා මෙත්තගු)

යං තං අපුච්ඡිම්හ අකිත්තයී නෝ

අඤ්ඤං තං පුච්ඡාමි තදිංඝ බ්‍රෑහි

කථන්නු ධීරා විතරන්ති ඕඝං

ජාතිජරං සෝකපරිද්දවං ච

තං මේ මුනී සාධු වියාකරෝහි

තථා හි තේ විදිතෝ ඒස ධම්මෝ

​අපි යමක් විමසන ලද්දේ නම්, එය නුඹ වහන්සේ අපට දේශනා කළ සේක. අනෙක් කරුණක් ඔබ වහන්සේගෙන් විමසමි. ඒකාන්තයෙන් එය දැන් වදාළ මැනව. ප්‍රාඥයෝ ඕගයත්, ජාතිජරාවත්, සෝකපරිදේවයත් කෙසේ තරණය කරත්ද? මුනිවරයාණන් වහන්ස, නුඹ වහන්සේගෙන් අයදිමි; එය මට මනාව විසඳා දෙනු මැනව. යම් හෙයකින් නුඹ වහන්සේ විසින් මෙම දහම දන්නා ලද බැවිනි.

(මෙත්තගූති භගවා)

​කිත්තයිස්සාමි තේ ධම්මං,

දිට්ඨේ ධම්මේ අනීතිහං;

යං විදිත්වා සතෝ චරං

තරේ ලෝකේ විසත්තිකං

​සිහියෙන් යුතුව හැසිරෙනුයේ දක්නා ලද මේ ජීවිතයේදීම අවබෝධ කළ ගතයුතු ධර්මයන් දැන, ලෝකයෙහි විසත්තිකා නම් වූ තණ්හාව තරණය කරන්නාවූ ඒ නිර්වාණ ධර්මය ඔබට ප්‍රකාශ කරන්නෙමි.

​තඤ්චාහං අභිනන්දාමි

මහේසි ධම්මමුත්තමං

යං විදිත්වා සතෝ චරං

තරේ ලෝකේ විසත්තිකං

​මහා ඍෂිවරයාණන් වහන්ස සතිමත්ව හැසිරෙනුයේ (සතෝ චරං) අනිත්‍ය ආදී වශයෙන් සියලු සංස්කාර ධර්මයන් දැන (විදිත්වා) විසත්තිකා නම් වූ තණ්හාවෙන් තරණය කරන්නේ නම්, ඔබවහන්සේගේ උතුම් භාෂිතයද, ඒ උත්තම වූ ධර්මය ද ප්‍රාර්ථනා කරමි.

බුදුරජාණන් වහන්සේ මෙසේ මෙත්තගූ මානවකයාට වදාළ සේක:

(මෙත්තගූති භගවා)

යං කිඤ්චි සම්පජානාසි,

උද්ධං අධෝ තිරියඤ්චාපි මජ්ඣේ;

ඒතේසු නන්දිං ච නිවේසනං ච,

පනුජ්ජ විඤ්ඤාණං භවේ න තිට්ඨේ

​උඩද (අනාගත කාලය), යටද (අතීත කාලය), මැද නම් වූ හාත්පසද (වර්තමාන කාලය) පවතින්නා වූ ධර්මයක් ඔබ දනී නම්, එම ධර්මය කෙරෙහි තණ්හාවද, දෘෂ්ටි වලින් වාසය කිරීමද, කර්ම සකස් කරන්නා වූ විඤ්ඤාණයද දුරු කරව. එවිට භවයෙහි නොසිටින්නේය.

​ඒවංවිහාරී සතෝ අප්පමත්තෝ,

භික්ඛු චරං හිත්වා මමායිතානි;

ජාතිං ජරං සෝකපරිද්දවඤ්ච,

ඉධේව විද්වා පජහෙය්‍ය දුක්ඛං

​මෙසේ වාසය කරන සිහියෙන් යුක්ත වූ, අප්‍රමාදී වූ භික්ෂුව තණ්හා මිත්‍යාදෘෂ්ටි ආදී 'මගේ' යැයි ගන්නා ලද දේ අතහැර දමා හැසිරෙන්නේ, බුද්ධිමත් වූයේ ඉපදීමද, ජරාවද, සෝකයද, පරිදේවයද යන දුක මේ ජීවිතයේදීම දුරු කරන්නේය.

බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට මෙත්තගූ මානවකයාට නිර්වාණ මාර්ගය දේශනා කළ සේක. එම නිවන් මඟ අසා ප්‍රසාදයට පත් වූ මෙත්තගු මෙසේ පවසයි.

මෙත්තගූ මානවක මෙසේ විමසයි:

(ඉච්චායස්මා මෙත්තගු)

ඒතාභිනන්දාමි වචෝ මහේසිනෝ

සුකිත්තිතං ගෝතම නූපධීකං

අද්ධා හි භගවා පහාසි දුක්ඛං

තථා හි තේ විදිතෝ ඒස ධම්මෝ

මහා ඉසිවරයාණෙනි, මම ඔබ වහන්සේගේ වචනය සතුටින් පිළිගනිමි. ගෞතමයන් වහන්ස,ඔබ වහන්සේ විසින් උපධි 'නැතාවූ නිර්වාණය මනාව ප්‍රකට කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම දුක දුරු කරන ලද්දේය. එම නිසාම ඒ දහම භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.

තේ චාපි නූන පජහෙය්‍යු දුක්ඛං

යේ ත්වං මුනි අට්ඨිතං ඕවදෙය්‍

යතං තං නමස්සාමි සමෙච්ච නාග

අප්පේව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය

මුනි වූ ඔබ වහන්සේ යමෙකුට සකස් කොට අවවාද දෙන්නේ නම් ඔවුහු ඒකාන්තයෙන්ම දුක දුරුකරන්නාහ. බුද්ධ නාගයාණන් වහන්ස, ඔබ වහන්සේ සමීපයට පැමිණ ඔබ වහන්සේට නමස්කාර කරමි.. භාග්‍යවතුන් වහන්සේ මට සකසා අවවාද දෙන්නේ නම් මැනවි.

බුදුරජාණන් වහන්සේ මෙසේ මෙත්තගූ මානවකයාට වදාළ සේක:

(මෙත්තගූති භගවා)

​යං බ්‍රාහ්මණං වේදගුං ආභිජඤ්ඤා,

අකිඤ්චනං කාමභවේ අසත්තං;

අද්ධා හි සෝ ඕඝමිමං අතාරි,

තිණ්ණෝ ච පාරං අඛිලෝ අකංඛෝ

​බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක:

​බ්‍රාහ්මණ වූ (පාපධර්ම දුරු කරන ලද බැවින්) යමෙකු සතර මාර්ගඥානයෙන් නිවනට පැමිණි (වේදගූ), රාගාදි කිංචන නැති, කාමයෙහිද භවයෙහිද නොඇලුනාවූ, ඔහු ඒකාන්තයෙන්ම මේ සතර ඕඝ තරණය කළේය. ඕඝ තරණය කළාවූ, රාගාදී කෙලෙස් උල් නැත්තාවූ, චතුරාර්ය සත්‍යයෙහි සැක නැත්තාවූ ඔහු නිර්වාණ පරතෙරට ගියේය.

විද්වා ච සෝ වේදගූ නරෝ ඉධ,

භවාභවේ සංගමිමං විසජ්ජ;

සෝ වීතතණ්හෝ අනීඝෝ නිරාසෝ,

අතාරි සෝ ජාතිජරන්ති බ්‍රෑමීති

​මේ ශාසනයෙහි යම් බුද්ධිමත් පුද්ගලයෙක් සතර මාර්ගඥානයන්හි පරතෙරට (නිවනට) පත් වූයේ, කුඩා මහත් භවයන්හි රාගාදී සංග දුරුකර සිටියේ, දුරුකරන ලද තණ්හා ඇති, දුක් නැති, ආසා නැති, ඔහු ජාති ජරාව තරණය කළේ යැයි කියමි.

ධර්මාර්ථ විස්තරය

​මෙම සූත්‍ර දේශනාවේදී අපට හමුවන වචන කීපයක් පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන්නෙමු. එය නවක ධර්මකාමීන්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතමි.

​උපධි - උපධි යනු කෙලෙස්, ස්කන්ධ, අභිසංස්කාර, හෙවත් සසර ගමන් කිරීමට හේතු වන කර්මය හැඳින්වීමට යොදන වචනයකි.

​ඕඝං - මෙය ඉතා ප්‍රසිද්ධ වූ වචනයකි. ඕඝ යනු සැඩ පහරයි. වේගයෙන් පහළට ගලාගෙන යන්නා වූද මහත් වූද ජල ප්‍රවාහය ඕඝ යන නමින් හඳුන්වයි. එසේම සත්වයා පහළට හෙවත් නරක, තිරිසන්, ප්‍රේත, අසුර ආදී යටට ඇදගෙන යන නිසාද, මහත් වූ කෙලෙස් සමූහයක් වන නිසාද, කාම, භව, දිට්ඨි, අවිද්‍යා යන කෙලෙස් ඕඝ නමින් හඳුන්වයි. එහි කාම යනු පංචකාම වස්තූන් කෙරෙහි ඇති තණ්හාවයි, හෙවත් කාමච්ඡන්දයයි. භව යනු රූප, අරූප ධ්‍යාන කෙරෙහි ඇති සියුම් ඇලීම සහ රූප අරූප බ්‍රහ්ම ලෝක කෙරෙහි ඇති තණ්හාවයි. දිට්ඨි යනු මිථ්‍යා දෘෂ්ටි හැට දෙකයි. අවිද්‍යා යනු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොවීමයි.

​අනීතිහං - තමාම ප්‍රත්‍යවේක්ෂා කොට අවබෝධ කර ගැනීමයි. අන් අයගේ වචනය ඇදහීමකින් තොරව තමාගේම අවබෝධයක් බවට පත් කර ගැනීම මින් අදහස් කරයි.

​විසත්තිකා - තණ්හාවට නමකි. විශේෂයෙන් ඇලෙනවා යන අර්ථයෙන් තණ්හාව විසත්තිකා යන්න නමින් හඳුන්වයි.

​සතෝ - යනු සිහියයි.

​උද්ධං, අධෝ, මජ්ඣේ, තිරියං - යන වචන කීපය මෙම සූත්‍රයෙහි ඇතුළත්ව ඇත. එම වචනවල සරල අර්ථය නම් උඩ, යට, මැද, සරස (හාත්පස) යන්නයි. මෙම දේශනාවේදී උඩු යනුවෙන් අතීත කාලයද, යට යනුවෙන් අනාගත කාලයද, සරස (තිරියං) යනුවෙන් වර්තමාන කාලයද හඳුන්වා තිබේ. ඒ බව අටුවාවේ සඳහන්ය.

​බ්‍රාහ්මණං - බ්‍රාහ්මණ වංශිකයා හැඳින්වීමට මෙම වචනය යොදයි. එසේම "බාහිත පාප ධම්මෝති බ්‍රාහ්මණෝ" යන නිර්වචනයට අනුව පව් බැහැර කළ තැනැත්තා බ්‍රාහ්මණ නම් වෙයි. මෙහි භාවිතා කරන්නේ එම අර්ථයයි.

​වේදගූ - වේදයෙහි පරතෙරට පැමිණි යන අර්ථය ඇති වචනයකි. බ්‍රාහ්මණ ආගමිකයෝ ත්‍රිවේදයෙහි පරතෙරට ගිය අය හැඳින්වීමට මෙම වචනය භාවිතා කළහ. බුදුදහමෙහි සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරිහත් යන සතර මාර්ග ඥානයන්ගේ කෙළවර නම් වූ නිවනට පත්වූ තැනැත්තා මේ නමින් හඳුන්වයි.

​අකිංචනං - රාග, ද්වේෂ, මෝහ, තණ්හා, දිට්ඨි ආදී කෙලෙස් හැඳින්වීමට යොදන වචනයකි.

​අඛිලෝ - කුණු, කසල, කහට හැඳින්වීමට යොදන නමකි. චේතෝකිල සූත්‍ර අටුවාවෙහි ඒ බව සඳහන්ය. මෙහි අර්ථය නොදන්නෝ කිල යනු 'උල්' යයිද කියති. මේ නමින් කෙලෙස් හඳුන්වයි.

​නිරාසෝ - ආසා නැති.

​සංග - පංච සංග යනුවෙන් කෙලෙස් පහකි.

​භවාභවේ - කුඩා මහත් භවයන්.