ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාලිය, චතුත්ථ නිපාතය.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
ලොකො, භික‍්ඛවෙ, තථාගතෙන අභිසම‍්බුද‍්ධො; ලොකස‍්මා තථාගතො විසංයුත‍්තො. ලොකසමුදයො, භික‍්ඛවෙ, තථාගතෙන අභිසම‍්බුද‍්ධො; ලොකසමුදයො තථාගතස‍්ස පහීනො. ලොකනිරොධො, භික‍්ඛවෙ, තථාගතෙන අභිසම‍්බුද‍්ධො; ලොකනිරොධො තථාගතස‍්ස සච‍්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා, භික‍්ඛවෙ, තථාගතෙන අභිසම‍්බුද‍්ධා; ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස‍්ස භාවිතා.
මහණෙනි, ලෝකය තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කළහ. තථාගතයන් වහන්සේ ලෝකයෙන් වෙන්ව වාසය කරති. මහණෙනි, ලෝකය හට ගැනීමට හේතුව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කළහ. තථාගතයන් වහන්සේ ලෝක සමුදය හෙවත් ලෝකය හට ගැනීමට හේතුව ප්‍රහාණය කළහ. මහණෙනි, තථාගතයන් වහන්සේ ලෝක නිරෝධය අවබෝධ කළහ. තථාගතයන් වහන්සේ ලෝක නිරෝධය (නිර්වාණය) සාක්ෂාත් කළහ. තථාගතයන් වහන්සේ ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව (ආර්ය අෂ්ටාංගික මාර්ගය) අවබෝධ කළහ. තථාගතයන් වහන්සේ ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව (ආර්ය අෂ්ටාංගික මාර්ගය) වඩන ලද්දේය.
‘‘යං, භික‍්ඛවෙ, සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා යස‍්මා තං තථාගතෙන අභිසම‍්බුද‍්ධං, තස‍්මා තථාගතොති වුච‍්චති.’’
මහණෙනි, දෙවියන් සහිත වූ, මාරයන් සහිත වූ, බ්‍රහ්මයන් සහිත වූ ලෝක සත්ත්වයා විසින්, මහණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ව සමූහයා විසින් ඇසින් යමක් දක්නා ලද්දේ නම්, කනින් යමක් අසන ලද්දේ නම්, පැමිණියා වූ දෙය ගන්නා ලද්දේ නම් (නාසයෙන් යමක් ආඝ්‍රාණය කරන ලද්දේ නම්, දිවෙන් යමක් රස විඳින ලද්දේ නම්, කයින් යම් ස්පර්ශයක් ලබන ලද්දේ නම්, ඒ සියල්ල පැමිණියා වූ දෙයයි යනුවෙන් හඳුන්වයි. මුතං යනු එයයි). සිතින් දැනගන්නා ලද දෙය ද, සොයා හෝ නොසොයා සිතින් ලබන ලද දෙය ද, සොයන ලද දෙය ද, සිතින් විමසන ලද දෙය ද, මේ සියල්ල තථාගතයන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කරන ලද්දේ ය. එබැවින් තථාගත යැයි කියනු ලැබේ.
යථාවාදී තථාකාරී – යම් සේ කියන්නේ නම්, එය එසේම කරන්නේය.
තථාකාරී තථාගතෝ තථාවාදී – තථාගතයන් වහන්සේ යම් සේ කරන්නේ නම්, එසේම කියන්නේය.
මෙසේ බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී වන සේක.
එම නිසා "තථාගත" යැයි කියනු ලැබේ.
දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙව්, මිනිසුන් සහිත සත්ත්ව සමූහයෙහි තථාගතයන් වහන්සේ,
අභිභූ – අන් අය පරදවා පවත්වන සේක.
අනභිභූතෝ – අනුන් විසින් උන්වහන්සේව යටපත් නොකරන සේක.
අඤ්ඤදත්ථු දසෝ වසවත්ති – ඒකාන්තයෙන්ම සියල්ල දන්නා සේක. සියල්ල තමාගේ වසඟයෙහි පවත්වන සේක.
එම නිසාම "තථාගත" යැයි කියනු ලැබේ.
සබ්බ ලෝකං අභිඤ්ඤාය, සබ්බ ලෝකේ යථාතථං.
සබ්බ ලෝක විසංයුත්තෝ, සබ්බ ලෝකේ අනූපයෝ.
මුළු ලොව විශිෂ්ට ඥානයෙන් දැන, සියලු ලෝකයෙහි සියල්ල යථාර්ථයෙන්ම දැන, සියලු ලෝකයෙන් වෙන් වූ, සියලු ලෝකයෙහි තණ්හා දිට්ඨි වසයෙන් ගැනීම් රහිත වූ,
සබ‍්බෙ සබ‍්බාභිභූ ධීරො සබ‍්බගන්‍ථප‍්පමොචනො,
ඵුට‍්ඨාස‍්ස පරමා සන‍්ති නිබ‍්බානං අකුතොභයං.
සබ්බේ සබ්බාභිභූ – රූපාදී අරමුණු, සියලු අරමුණු ද, සියලු සංස්කාරයන්ට අයත් දෙය ද, සියලු මාරයන් ද යට කරගෙන සිටියා වූ,
ධීරෝ – ප්‍රඥා සම්පන්න වූ තථාගතයන් වහන්සේ.
සබ්බ ගන්ථප්පමෝචනෝ – අභිජ්ඣා කායගන්ථ ආදී සියලු ග්‍රන්ථයන්ගෙන් නිදහස්ව සිටියා වූ, අන් අය ද කෙලෙස් ග්‍රන්ථයන්ගෙන් නිදහස් කළාවූ,
ඵුට්ඨස්ස පරමා සන්ති – සාන්ත නිර්වාණය ස්පර්ශ කරන ලදී.
නිබ්බානං අකුතෝ භයං – නිර්වාණයෙහි කිසියම් බයක් නැත.
ඒස ඛීණාසවො බුද්ධෝ, අනීඝෝ ඡින්නසංසයෝ.
සබ්බ කම්මක්ඛයං පත්තෝ, විමුත්තෝ උපධිසංඛයේ.
බුදුරජාණන් වහන්සේ ආශ්‍රව නැති කළ සේක (ක්ෂීණාශ්‍රව වූ සේක). නිදුක් වූ සේක. සැක සංකා සිඳින ලද සේක. සියලු කර්ම ක්ෂය කොට අවසානයට පැමිණි සේක. උපධි ක්ෂය කිරීම නම් වූ නිර්වාණයෙහි විමුක්තියෙන් මිදුණේ වෙයි.
බුදුගුණ වන්දනා
ඒස සෝ භගවා බුද්ධෝ – ඒස සීහෝ අනුත්තරෝ
සදේවකස්ස ලෝකස්ස – බ්‍රහ්මචක්කං පවත්තයී
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට වදාළ බැවින් බුද්ධ වන සේක. උපද්‍රවයන් ඉවසන බැවින් ද, කෙලෙස් නසන බැවින් ද අනුත්තර වූ සිංහ වන සේක. දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පැවැත්වූ සේක
.
ඉති දේවා මනුස්සා ච – යේ බුද්ධං සරණං ගතා
සංගම්ම තං නමස්සන්ති – මහන්තං වීතසාරදං
මෙසේ යම් දෙවි මිනිස් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියෝ ද, ඔවුහු ගුණයෙන් මහත් වූ, චතුර්විශාරද ඥානයෙන් යුක්ත බැවින් විශාරද වූ උන්වහන්සේ වෙත පැමිණ නමස්කාර කරති.
දන්තෝ දමයතං සෙට්ඨෝ – සන්තෝ සමයතං ඉසි
මුත්තෝ මොචයතං අග්ගෝ – තිණ්ණෝ තාරයතං වරෝ
දැමුණේ අනුන් දමනය කරන්නවුන් අතරෙහි ශ්‍රේෂ්ඨ වන සේක. සාන්ත වූයේ අන් අය සාන්ත කරන්නවුන් අතරෙහි ඉසිවරයා වන සේක. තමා මිදුණේ අනුන් මුදවන අය අතර අග්‍ර වන සේක. තමා එතෙර වූයේ එතෙර කරන්නවුන් අතර උතුම් වන සේක.
ඉති හේතං නමස්සන්ති – මහන්තං වීතසාරදං
සදේවකස්මිං ලෝකස්මිං – නත්ථි තේ පටිපුග්ගලෝ
මෙසේ ගුණය දැනගෙන මහත් වූ, වීතසාරද වූ ඔබ වහන්සේට නමස්කාර කරති. දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි ඔබ වහන්සේට සමාන කළ හැකි පුද්ගලයෙක් නොවන සේක.
( ගාථා පරිවර්තනය කිරීමේදී අටුවා සම්ප්‍රදාය අනුව යමින්, සරලව තේරුම් ගත හැකි ආකාරයට, ලියා ඇති බව කරුණාවෙන් සලකන්න.)
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම අර්ථය දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
අතිරේක විස්තරය
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝකය අවබෝධ කළ සේක. "ලුජ්ජති පලුජ්ජතීති ලෝකෝ" - නැසෙන, වැනසෙන ස්වභාවයෙන් යුක්ත හෙයින් "ලෝකය" යැයි කියනු ලැබේ. (ඉතිවුත්තක පාලි අට්ඨකථා)
සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියා ත්‍රිවිධ ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
සංස්කාර ලෝකය යනු කුමක්ද?
"ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා." - ලෝක එකකේ එනම් සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙති. (පටිසම්භිදාමග්ග පාලි)
මෙහි ආහාර යනුවෙන් ප්‍රත්‍ය දේශනා කොට ඇත. ප්‍රත්‍යයෙන් උපදිනා සියල්ල සංස්කාර ලෝකයට අයත් වෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී ඉන්ද්‍රිය බද්ධ සියලු දෙය ද, ඉන්ද්‍රියයන්ට හසු නොවන්නා වූ සියලු දෙය ද, සියලු ස්කන්ධයෝ ද "පච්චයෙහි සංඛතාරා" (ප්‍රත්‍යයන්ගෙන් සැකසුණු) වෙති. "ලුජ්ජති පලුජ්ජති" යනුවෙන් දක්වා ඇති බැවින් මෙය සංස්කාර ලෝකය නම් වෙයි.
සත්ත්ව ලෝකය
"සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා" - ලෝකය ශාස්වතය හෙවත් ස්ථීර වූ ආත්මයක් ඇත. ලෝකය අශාස්වතය හෙවත් ස්ථීර වූ ආත්මයක් නැත. ඉන්ද්‍රිය බද්ධ වූ සියලු ස්කන්ධයෝ ද, සන්තානය ද සත්ත්ව ලෝකය නම් වෙයි.
අවකාශ ලෝකය
සහස්සී ලෝකධාතුව, ද්විසහස්සී ලෝකධාතුව, තිසහස්සී ලෝකධාතුව ආදී අනන්ත අප්‍රමාණ ලෝක ධාතූන් අවකාශ ලෝකය නම් වෙයි.
ලෝකෝති කන්ධ ලෝකෝ, ධාතු ලෝකෝ, ආයතන ලෝකෝ, විපත්ති භව ලෝකෝ, විපත්ති සම්භව ලෝකෝ, සම්පත්ති භව ලෝකෝ, සම්පත්ති සම්භව ලෝකෝ. (පටිසම්භිදාමග්ග පාලි)
ලෝකය යනු ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, විපත්ති භව ලෝකය, විපත්ති සම්භව ලෝකය, සම්පත්ති භව ලෝකය, සම්පත්ති සම්භව ලෝකයයි.
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය හේතූන්ගෙන් හටගත් බැවින් ද, හේතු නැතිවීමෙන් නැසී වැනසී යන බැවින් ද, කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුතු බැවින් ද ලෝකය යැයි කියනු ලැබේ.
පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව ධාතු ලෝකය නම් වෙයි.
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආයතන ලෝකය නම් වෙයි.
නරක, තිරිසන්, ප්‍රේත, අසුරා යන සතර අපාය දුක් සහගත විපත්තීන්ගෙන් යුක්ත වන බැවින් විපත්ති භව ලෝකය නම් වෙයි.
සතර අපායේ ඉපදීමට හේතුවන අකුසල කර්ම විපත්ති සම්භව ලෝකය නම් වෙයි.
මිනිස් ලෝකය ද, දිව්‍යලෝක හය ද, සියලු බ්‍රහ්ම ලෝක ද සම්පත්ති භව ලෝක නම් වෙයි.
එම ලෝකයන්හි ඉපදීමට හේතුවන කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල ධර්මයන් සම්පත්ති සම්භව ලෝකය නම් වෙයි.
සංස්කාර ලෝකය විස්තර වශයෙන්
එකකි:
"ඒකෝ ලෝකෝ – සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා"
සංස්කාර ලෝකය එකකි; එනම් සියලු සත්වයෝ ආහාරය මත (ප්‍රත්‍යයන් මත) පවතින්නෝය.
දෙකකි:
"ද්වේ ලෝකා – නාමඤ්ච රූපඤ්ච"
සංස්කාර ලෝක දෙකකි; එනම් නාමය හා රූපයයි.
තුනකි:
"තයෝ ලෝකා – තිස්සෝ වේදනා"
සංස්කාර ලෝක තුනකි; එනම් සැප, දුක්, උපේක්ෂා යන තෙවිධ වේදනාවෝය.
හතරකි:
"චත්තාරෝ ලෝකා – චත්තාරෝ ආහාරා"
සංස්කාර ලෝක හතරකි; එනම් කබලිංකාර ආහාරය, ඵස්ස ආහාරය, මනෝසංචේතනා ආහාරය සහ විඤ්ඤාණ ආහාරය යන සතර ආහාරයෝය.
පහකි:
"පඤ්ච ලෝකා – පඤ්චුපාදානක්ඛන්ධා"
සංස්කාර ලෝක පහකි; එනම් පංච උපාදානස්කන්ධයෝය.
හයකි:
"ඡ ලෝකා – ඡ අජ්ඣත්තිකානි ආයතනානි"
සංස්කාර ලෝක හයකි; එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආධ්‍යාත්මික ආයතන හයයි.
හතකි:
"සත්ත ලෝකා – සත්ත විඤ්ඤාණට්ඨිතියෝ"
සංස්කාර ලෝක හතකි; එනම් සප්ත විඤ්ඤාණට්ඨිති (විඤ්ඤාණය පිහිටන ස්ථාන හත) යි.
අටකි:
"අට්ඨ ලෝකා – අට්ඨ ලෝකධම්මා"
සංස්කාර ලෝක අටකි; එනම් අටලෝ දහමයි.
නමයකි:
"නව ලෝකා – නව සත්තාවාසා"
සංස්කාර ලෝක නමයකි; එනම් නව සත්තාවාසයන්ය.
දහයකි:
"දස ලෝකා – දස ආයතනානි"
සංස්කාර ලෝක දහයකි; එනම් ආධ්‍යාත්මික ආයතන පහ සහ බාහිර ආයතන පහයි (රූපී ආයතන දහයයි).
දොළහකි:
"ද්වාදස ලෝකා – ද්වාදස ආයතනානි"
සංස්කාර ලෝක දොළහකි; එනම් ආධ්‍යාත්මික ආයතන හය සහ බාහිර ආයතන හයයි.
දහඅටකි:
"අට්ඨාරස ලෝකා – අට්ඨාරස ධාතුයෝ"
සංස්කාර ලෝක දහඅටකි; එනම් අෂ්ටාදස (18) ධාතූන්ය.
මෙම සියලු ලෝකයන් පංච උපාදානස්කන්ධය තුළ සංග්‍රහ වෙයි. එබැවින් ලෝකය යනු පංච උපාදානස්කන්ධය යයි.
පංච උපාදානස්කන්ධ ලෝකය යනු කුමක්ද?
පංච උපාදානස්කන්ධ ලෝකය යනු දුක්ඛ ආර්ය සත්‍යයයි. දුක්ඛ ආර්ය සත්‍යය යනු,
ජාතිපි දුක්ඛා – ඉපදීම දුකකි.
ජරාපි දුක්ඛා – වයසට යාම දුකකි.
ව්‍යාධිපි දුක්ඛො – ලෙඩවීමම දුකකි.
මරණම්පි දුක්ඛං – මරණයට පත්වීම දුකකි.
අප්පියෙහි සම්පයොගො දුක්ඛො – අප්‍රිය පුද්ගලයින් හා අප්‍රිය වස්තූන් සමඟ එක්වීම දුකකි.
පියෙහි විප්පයොගො දුක්ඛො – ප්‍රිය පුද්ගලයන්ගෙන් ද ප්‍රිය වස්තූන්ගෙන් ද වෙන්වීම දුකකි.
යම්පිච්ඡං න ලහති තම්පි දුක්ඛං – කැමති වන දේ නොලැබීම දුකකි.
සංඛිත්තේන පඤ්චූපාදානක්ඛන්ධා දුක්ඛා – කෙටියෙන්ම කිවහොත් පංච උපාදානස්කන්ධය දුකකි. ලෝක ශබ්දයෙන් ප්‍රධාන වශයෙන් පංච උපාදානස්කන්ධය කියනු ලැබේ. තථාගතයන් වහන්සේ එම පංච උපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළ සේක. එබැවින් ලෝක විදූ නම් වන සේක. ලෝකාවබෝධ සූත්‍රය තුළ උන්වහන්සේගේ ලෝකය පිළිබඳ දැනුම විශේෂයෙන් විස්තර වන්නේය.
ලෝකය පිළිබඳ කරන ලද හැඳින්වීම අවසානයි.