පොත් ලැයිස්තුව

ලෝක සූත්‍රය

star_outline

සංයුත්ත නිකාය සගාථ වර්‍ගය දේවතා සංයුත්තය අන්‍ව වර්‍ගය

කිස්මිං ලෝකෝ සමුප්පන්නෝ

කිස්මිං කුබ්බති සන්ථවං

කිස්ස ලෝකෝ උපාදාය

කිස්මිං ලෝකෝ විහඤ්ඤතීතී

කුමක් උපන් කල්හි ලෝකය උපන්නේ වේද. ලෝක සත්ත්වයා කුමක් සමග එකතු වීම කරයිද. ලෝක සත්ත්වයා කුමක් හේතු කරගෙන, ලෝක සත්ත්වයා කුමකින් වෙහෙසට පත් වේද.

"ඡස්සු ලෝකෝ සමුප්පන්නෝ

ඡස්සු කුබ්බති සන්ථවං

ඡන්නමේව උපාදාය

ඡස්සු ලෝකෝ විහඤ්ඤතීති"

​ආධ්‍යාත්මික ආයතන හයෙන් ලෝකය උපන්නේය. බාහිර ආයතන හය සමඟින් එකතු වන්නේය. ආධ්‍යාත්මික ආයතන හයම ප්‍රත්‍ය කරගෙන, බාහිර ආයතන හයෙන් ලෝක සත්ත්වයා පීඩාවට පත්වන්නේය.

​ගාථා විස්තරය

​"කුමක් උපන් කල්හි ලෝකය උපන්නේ වේද?" යනුවෙන් දෙවි කෙනා පළමුවන ප්‍රශ්නය අසන ලදී. තථාගතයන් වහන්සේ විසින් "ආධ්‍යාත්මික ආයතන හය උපන් කල්හි ලෝකය උපන්නේ වෙයි" යනුවෙන් පිළිතුරු ලබා දුන්හ.

​"කුමක් සමග සන්ථවය හෙවත් සමාගම, රැස්වීම, එකතුවීම කරනු ලැබේද?" යන පැනයට පිළිතුරු දෙමින් තථාගතයන් වහන්සේ විසින් "ඡස්සු කුබ්බති..." යනුවෙන් බාහිර ආයතන හය සමඟින් එකතු වන්නේ යැයි දේශනා කළේය. මෙයින් අදහස් කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආධ්‍යාත්මික ආයතන හය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන බාහිර ආයතන හය සමඟ එකතු වන බවයි.

​ඉන්පසු දෙවි කෙනා අසන්නේ, "කුමක් ප්‍රත්‍ය කරගෙන සත්ත්වයා දුක් විඳී ද?" යන ප්‍රශ්නයයි. තථාගතයන් වහන්සේ විසින් ආධ්‍යාත්මික ආයතන හය ප්‍රත්‍ය කරගෙන, හේතු කරගෙන, බාහිර ආයතන හය නිසා දුක් විඳින බව, වෙහෙසට පත්වන බව දේශනා කළහ.

ලෝකය යනු කුමක්ද?

​බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ලෝකය පිළිබඳව දේශනා කර ඇත. මෙහිදී සත්ත්වයා යනුවෙන් සම්මුතියෙන් හඳුන්වන ජීවිතය, පරමාර්ථ වශයෙන් ගත් කල්හි ස්කන්ධ, ධාතු හා ආයතන සමූහයකි. ආයතන ගැන කතා කිරීමේදී, ලෝකය හෙවත් සත්ත්වයා යනු ආයතන හයක් බව බුදුරජාණන් වහන්සේ නොයෙක් වර දේශනා කළහ. මෙහිදී සත්ත්වයා හැඳින්වීමට "සලායතන" යන වචනය යොදාගෙන තිබේ.

​"ඉපදීම" යන වචනයද අපට ඉතා හුරුපුරුදුය. සම්මුති වශයෙන් ගත් කල ඉපදීම, හටගැනීම, ඕපපාතිකව ඉපදීම, මව්කුසේ ඉපදීම, තෙත පරිසරයේ ඉපදීම සහ බිත්තර තුළින් ඉපදීම ආදී නොයෙක් ආකාරයෙන් ඉපදීම හඳුන්වනු ලබයි. පරමාර්ථ වශයෙන් ගත් කල, ඉපදීම යනු ආයතන හයෙහි පහළවීමයි; පංච උපාදානස්කන්ධයේ හටගැනීමයි. මෙහිදී ලෝකයේ උපත ලෙස ආයතන හයේ හටගැනීම පරමාර්ථ වශයෙන් දක්වා තිබේ.

අනු මාතෘකා