පොත් ලැයිස්තුව

කෝධගරු සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතය

කෝධගරු හෝති න සද්ධම්මගරු, මක්ඛගරු හෝති න සද්ධම්මගරු, ලාභගරු හෝති න සද්ධම්මගරු, සක්කාරගරු හෝති න සද්ධම්මගරු.

​මහණෙනි, මෙම කාරණා හතරෙන් සමන්වාගත වූ පුද්ගලයා රැගෙන ගිය බරක් බිමින් තබන්නාක් මෙන් නිරයෙහි උපත ලබයි. කවර කරුණු හතරකින් යත්:

​1. ක්‍රෝධයට ගරු කරයි, සද්ධර්මයට ගරු නොකරයි.

2. ගුණමකු බවට (මක්ඛ) ගරු කරයි, සද්ධර්මයට ගරු නොකරයි.

3. ලාභයට ගරු කරයි, සද්ධර්මයට ගරු නොකරයි.

4. සත්කාරයට ගරු කරයි, සද්ධර්මයට ගරු නොකරයි.

​මහණෙනි, මේ කාරණා හතරින් සමන්වාගත වූ පුද්ගලයා ඔසවාගෙන රැගෙන යන ලද බරක් බිමින් තබන්නාක් මෙන් නිරයෙහි උපත ලබයි.

​ධර්මාර්ථ විස්තරය

​මෙම දේශනාවේදී තථාගතයන් වහන්සේ පුද්ගලයෝ අට දෙනෙක් පිළිබඳව පැහැදිලි කරති. ඉන් පළමුවන පුද්ගලයන් හතර දෙනා පිළිබඳව මෙහිදී විස්තර කරනු ලැබේ: ක්‍රෝධයට ගරු කරන, සද්ධර්මයට ගරු නොකරන පුද්ගලයා; ගුණමකු බවට ගරු කරන, සද්ධර්මයට ගරු නොකරන පුද්ගලයා; ලාභයට ගරු කරන, සද්ධර්මයට ගරු නොකරන පුද්ගලයා; සත්කාරයට ගරු කරන, සද්ධර්මයට ගරු නොකරන පුද්ගලයා.

​ක්‍රෝධ යනු ද්වේෂයට නමකි. කිපීම යනුවෙන් හඳුන්වන්නේද එයයි. ව්‍යාපාද නීවරණය යන නමින්ද හඳුන්වයි. දෝස යන අකුසල මූලය වශයෙන්ද හඳුන්වයි. "දෝසෝ අකුසලං දෝසෝ අකුසල මූලං..." යන දේශනා පාඨයට අනුව දෝසය අකුසලයකි, දෝසය අකුසල මූලයකි.

​ක්‍රෝධය යනු කුමක්ද?

ක්‍රෝධය ව්‍යාපාදයට අයත් එක ස්වභාවයකි. තරහෙන් යුතු අවස්ථාවන්හිදී කයින්, වචනයෙන් තෙපළ ප්‍රකාශ කිරීම ක්‍රෝධයේ ස්වභාවයයි.

​"තත්ථ කතමෝ කෝධෝ? යෝ කෝධෝ කෝධායනා කෝධිතත්තං දෝසෝ දූසනා දූසිතත්තං බ්‍යාපාදෝ පදූසෝ මනෝපදෝසෝ චණ්ඩික්කං අස්සුරෝපෝ අනත්ථකාමතා චිත්තස්ස, අයං වුච්චති කෝධෝ." (පුග්ගල ප්‍රඥප්ති ප්‍රකරණය)

(එහි ක්‍රෝධය යනු කුමක්ද? යම් කිපීමක්, කිපෙන ස්වභාවයක්, කිපුණු බවක්, ද්වේෂයක්, දූෂණය වීමක්, දූෂිත බවක්, ව්‍යාපාදයක්, මනසේ දූෂණය වීමක්, සිතේ සැඩපරුෂ බවක්, නොසන්සුන් බවක්, අහිත කැමැත්තක් ඇද්ද, මෙය ක්‍රෝධය යැයි කියනු ලැබේ.)

​"යෝ වේ උප්පතිතං කෝධං, රථං භන්තංව ධාරයේ; තමහං සාරථිං බ්‍රෑමි, රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ."

වේගයෙන් දුවන රථයක් මෙල්ල කරන්නාක් මෙන්, තමා තුළ උපදින ක්‍රෝධය යමෙක් වහාම පාලනය කරගන්නේද, මම ඔහුව සැබෑ රියදුරෙකු ලෙස කියමි. සෙසු පිරිස ලණුව අල්ලාගෙන සිටින්නන් පමණි.

​"අක්කෝච්ඡි මං අවධි මං, අජිනි මං අහාසි මේ; යේ තං උපනය්හන්ති, වේරං තේසං න සම්මති."

ඔහු මට බැන්නේය, මට ගැසුවේය, මා පැරදවූයේය, මගේ ධනය පැහැරගත්තේය කියා යමෙක් වෛර බඳින්නේද, ඔවුන්ගේ වෛරය කිසිදා නොසංසිඳේ.

​"න හි වේරේන වේරානි, සම්මන්තීධ කුදාචනං; අවේරේන ච සම්මන්ති, ඒස ධම්මෝ සනන්තනෝ." (ධම්මපදය)

මේ ලෝකයෙහි වෛරයෙන් වෛරය කිසි කලෙකත් නොසංසිඳේ. වෛරය නොමැති වීමෙන් (මෛත්‍රියෙන්) ම වෛරය සංසිඳේ. මෙය සදාතනික ධර්මතාවයකි.

​"කෝධෝ අත්ථං න ජානාති, කෝධෝ ධම්මං න පස්සති; අන්ධතමං තදා හෝති, යං කෝධෝ සහතේ නරං." (අංගුත්තර නිකාය)

ක්‍රෝධයෙන් පිරුණු මිනිසා තමාගේ හෝ අනුන්ගේ යහපත (අර්ථය) නොදනියි. ක්‍රෝධයෙන් මුලා වූවන් ධර්මය නොදකිති. ක්‍රෝධය විසින් යම් මිනිසෙකු යටපත් කරනු ලැබුවේද, එකල ඔහු ඝනාන්ධකාරයකට (මහා මුලාවකට) පත්වේ.

​"පරස්ස කෝපේන කිං තුය්හං? සකභාගං න දූසයේ; තත්තකපාලං හත්ථේන, ගණ්හන්තෝව ප්‍රදය්හසි."

අනුන්ගේ කෝපය ගැන සිතා ඔබ කුමකට ළතැවෙන්නේද? ඔබ ඔබේම සිත දූෂණය කර නොගන්න. එය හරියට රත් වූ යකඩ කැබැල්ලක් අතින් අල්ලාගෙන තමාගේම අත පුළුස්සා ගැනීමට සමානය.

​මෙසේ නොයෙක් ආකාරයෙන් ක්‍රෝධයෙහි ආදීනව විමසා බලා ක්‍රෝධය යටපත් කරගත යුතුය. සමථ භාවනාවකින් හෝ විදර්ශනා භාවනාවකින් හෝ සමාධියක් ලබාගත් විට ක්‍රෝධය ඉතා ප්‍රබලව යටපත් වෙයි. අනාගාමී මාර්ගඥානයෙන් ක්‍රෝධය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙයි.

​ඉරිසියාව යනු කුමක්ද?

අන්සතු වස්තුවට අකමැති ස්වභාවය ඉරිසියාව යන නමින් හඳුන්වනු ලබයි. ඉරිසියාව සිත තුළ හටගත් කල්හි අන් අය දියුණු වෙනවා දැකීමට අකමැතිය. අන් අයගේ දක්ෂතාවයන් දැකීමට, ඇසීමට අකමැතිය. ඉරිසියාව මහත් වූ පාපයකි. එම පාපය නිසා මතු උපදින ජීවිතවලදී දුප්පත්ව, අසරණව, භෝග සම්පත්වලින් තොර ජීවිත ලබන්නේය. ඉරිසියාවද ව්‍යාපාදයට අයත්ම කොටසකි. ඉරිසියාවේ ඇති ආදීනව නුවණින් සලකා ඉරිසියාව යටපත් කර ගත යුතුය. ඉරිසියාව දුරු කිරීම සඳහා තිබෙන භාවනා ක්‍රමය මුදිතාවයි. "යථා ලද්ධ සම්පත්තිතෝ මාවිගච්ඡන්තු" - ලද සැපතින් නොපිරිහේවා කියා නිතර නිතර සිතීමෙන් මුදිතා ගුණය වර්ධනය වෙයි. "මොහු ලද සැපතින් නොපිරිහේවා! මොහු තව තව සම්පත් ඇති කෙනෙක් වේවා! ලැබූ සම්පත් දිනෙන් දින දියුණුවේවා!" මෙබඳු සිතුවිලි බහුල කරන්න. එවිට ඉරිසියාව යටපත් වී යයි.

​මසුරුකම යනු කුමක්ද?

තමා සතු වස්තුව අන් කෙනෙකුට දීමට ඇති අකමැත්ත මසුරුකමයි. මසුරුකමද ව්‍යාපාදයට අයත්ය. මසුරුකම නිසා දන් දීම සිදු නොකරනු ලැබේ. මසුරුකම ඇති තැනැත්තා තමා සතු වස්තුව සඟවනු ලැබේ. මච්ඡේර සිටුතුමා මසුරුකම නිසා කැවුමක් කෑමට විඳි දුක මෙහිලා සිහිපත් කරගත යුතුය. දානය, පරිත්‍යාගය පුරුදු පුහුණු කිරීම තුළින් මසුරුකම ජයගත හැකිය.

​මෙහිදී ක්‍රෝධය, ඉරිසියාව, මසුරුකම යන නොයෙක් ආකාරයෙන් ව්‍යාපාදය සිත තුළ ක්‍රියාත්මක වන හැටි පැහැදිලි කරන ලදී. කැත, පිළිකුල, අප්පිරියාව, එපාවීම, දුක, කණගාටුව, දොම්නස යන වචනවලින්ද කියවෙන්නේ ව්‍යාපාදයයි.

​මක්ඛ යනු කුමක්ද?

මක්ඛ යනු ගුණමකු බවයි. අන් අයගේ ගුණ මකා දමන ස්වභාවය මක්ඛ යනුවෙන් හඳුන්වනු ලැබේ. තමා හට උදව් කරන ලද, උපකාර කරන ලද අයගේ ගුණය අමතක කර දැමීම මක්ඛ නම් අකුසලයයි. "මම තනියම ඉගෙන ගත්තෙමි, මා හට ඉගෙන ගැනීමට කිසිවෙකු උදව් කළේ නැත, මම තනියම ගෙවල් දොරවල් හදාගත්තෙමි, මව්පියෝද නෑදෑයෝද මට උපකාර නොකළේය" මේ ආදී වශයෙන් අනුන්ගේ ගුණ මකා දමන ස්වභාවය ඔහු තුළ පවතී. අසූචි ටිකක් ගෙන තවත් කෙනෙකුට ගසන විට මුලින්ම තමාගේ අත අපිරිසිදු බවට පත්වෙයි, අන් අයද අපිරිසිදු බවට පත්වෙයි. එසේම මක්කයද තමාද අපිරිසිදු බවට පත්වන, අන් අයගේ ජීවිතද අපිරිසිදු බවට පත්කරන ස්වභාවයෙන් යුතු අකුසලයකි. ජලස්නානයෙන් පසුව ජලය රෙදි කැබැල්ලකින් පිස දමනු ලැබේ. එසේ පිස දමන විට එම රෙදි කැබැල්ලෙහි ජලය රැඳේ. ඒ ආකාරයට අන් අයගේ ගුණ මකා දමන ස්වභාවය මක්කය බව දත යුතුය. මෙම අකුසලය හේතු කරගෙන උපදින ජීවිතවලදී මෙන්ම මෙම ජීවිතයේදීද බොහෝ නින්දා අපහාස, චරිත ඝාතනවලට ලක්වෙයි. නොකරන ලද වරදට චෝදනා ලැබීමට සිදුවෙයි. නොකරන ලද වරදට දඬුවම් ලැබීමට සිදුවෙයි. ඉතා දරුණු රෝගාබාධවලට මෙලොවම ලක්වෙයි.

​ලාභ සත්කාරවලට ගරු කිරීම

සමහර කෙනෙකු ධර්මයට ගරු නොකරයි. එහෙත් නොයෙක් ලාභ සත්කාරවලට ගරු කරයි. ලාභ යනු ලැබීම්ය. ධර්මානුකූල නොවන ආකාරයට යමක් ලබා ගැනීම අධාර්මිකය. සත්කාර යනු අනුන්ගෙන් ලැබෙන්නා වූ ගෞරව කිරීම, වන්දනා කිරීම, වත්පිළිවෙත් කිරීම, පූජා සත්කාර පැවැත්වීම ආදියයි. සමහර පවිටු පුද්ගලයෝ ලාභ සත්කාර වෙනුවෙන් ධර්මයට අගෞරව කරති. අධර්මයෙන් හෝ ලාභ සත්කාර ලබා ගැනීමට කටයුතු කරති. එයට විරුද්ධව සිටිනවා යැයි, තර්ජනයක් වෙනවා යැයි හැඟේ නම් එම විරුද්ධවාදියා හෝ තර්ජනය කරන්නා හෝ බාධාව හෝ ඉවත් කළ යුතු යැයි ඉතා පහත් ලෙස හිතයි.

​සූත්‍රයේ අවසාන කොටස වෙත අවධානය යොමු කරමු:

සද්ධම්මගරු හෝති න කෝධගරු, සද්ධම්මගරු හෝති න මක්ඛගරු, සද්ධම්මගරු හෝති න ලාභගරු, සද්ධම්මගරු හෝති න සක්කාරගරු.

​මේ ලෝකයෙහි පුද්ගලයෝ හතර දෙනෙක් ජීවත් වෙති. එනම්:

1. සද්ධර්මයට ගරු කරන, ක්‍රෝධයට ගරු නොකරන පුද්ගලයාය.

2. සද්ධර්මයට ගරු කරන, ගුණමකු බවට ගරු නොකරන පුද්ගලයාය.

3. සද්ධර්මයට ගරු කරන, ලාභයට ගරු නොකරන පුද්ගලයාය.

4. සද්ධර්මයට ගරු කරන, සත්කාරයට ගරු නොකරන පුද්ගලයාය.

​මෙම පුද්ගලයෝ හතර දෙනා ඔසවාගෙන ගිය බරක් බිමින් තැබුවා සේ මරණින් මතු සුගතියෙහි උපත ලබන බව තථාගතයන් වහන්සේ දේශනා කළහ.