පොත් ලැයිස්තුව

කිමත්ථිය සුත්තං

star_outline

අංගුත්තර නිකාය

ඒකාදසක නිපාතෝ

​ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච:

​මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක.

​ඒ කාලයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ එකත්පසෙක හිඳගත්හ.

එකත්පසෙක හිඳ ගත්තා වූ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ:

​"කිමත්ථියානි භන්තේ කුසලානි සීලානි කිමානිසංසානීති? අවිප්පටිසාරත්ථානි ඛෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානිසංසානීති."

​"ස්වාමීනී, කුසල ශීලයෝ කුමක් අර්ථ කොට, කුමක් ආනිසංස කොට ඇත්තාහු ද?"

​"ආනන්දය, කුසල ශීලයෝ අවිප්පටිසාරය (සිතෙහි පසුතැවිලි නොවීම) අර්ථ කොට ඇත්තාහ; අවිප්පටිසාරය ආනිසංස කොට ඇත්තාහ."

​"අවිප්පටිසාරෝ පන භන්තේ කිමත්ථියෝ කිමානිසංසෝති?"

​"ස්වාමීනී, සිතෙහි පසුතැවිලි නොවීම කුමක් අර්ථ කොට, කුමක් ආනිසංස කොට ඇත්තේ ද?"

​"ආනන්දය, අවිප්පටිසාරය පාමොජ්ජය (ප්‍රමෝදය) අර්ථ කොට ඇත්තේය; පාමොජ්ජය (ප්‍රමෝදය) ආනිසංස කොට ඇත්තේය."

​"පාමොජ්ජං පන භන්තේ කිමත්ථියං කිමානිසංසන්ති?"

​"ස්වාමීනී, ප්‍රමෝදය කුමක් අර්ථ කොට ඇත්තේ ද? ප්‍රමෝදය කුමක් ආනිසංස කොට ඇත්තේ ද?"

​"ආනන්දය, ප්‍රමෝදය ප්‍රීතිය අර්ථ කොට ඇත්තේය; ප්‍රීතිය ආනිසංස කොට ඇත්තේය."

පීති පන භන්තේ කිමත්ථියා කිමානිසංසාති? පීති ඛෝ ආනන්ද පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා.

​ස්වාමීනී, ප්‍රීතිය කුමක් අර්ථ කොට ඇත්තේ ද, කුමක් ආනිසංස කොට ඇත්තේ ද?

​ආනන්දය, ප්‍රීතිය පස්සද්ධිය අර්ථ කොට ඇත; පස්සද්ධිය ආනිසංස කොට ඇත.

පස්සද්ධි පන භන්තේ කිමත්ථියා කිමානිසංසාති? පස්සද්ධි ඛෝ ආනන්ද සුඛත්ථා සුඛානිසංසා.

​ස්වාමීනී, පස්සද්ධිය කුමක් අර්ථ කොට ඇත්තේ ද, කුමක් ආනිසංස කොට ඇත්තේ ද?

​ආනන්දය, පස්සද්ධිය සැපය අර්ථ කොට ඇත; සැපය ආනිසංස කොට ඇත.

සුඛං පන භන්තේ කිමත්ථියං කිමානිසංසන්ති? සුඛං ඛෝ ආනන්ද සමාධත්ථං සමාධානිසංසං.

​ස්වාමීනී, සැපය කුමක් අර්ථ කොට ඇත්තේ ද, කුමක් ආනිසංස කොට ඇත්තේ ද?

​ආනන්දය, සැපය සමාධිය අර්ථ කොට ඇත්තේය; සමාධිය ආනිසංස කොට ඇත්තේය.

සමාධි පන භන්තේ කිමත්ථෝ කිමානිසංසෝති? සමාධි ඛෝ ආනන්ද යථාභූතඤාණදස්සනත්ථෝ යථාභූතඤාණදස්සනානිසංසෝ.

​ස්වාමීනී, සමාධිය කුමක් අර්ථ කොට ඇත්තේ ද, කුමක් ආනිසංස කොට ඇත්තේ ද?

​ආනන්දය, සමාධිය යථාභූත ඥාන දර්ශනය අර්ථ කොට ඇත්තේය; යථාභූත ඥාන දර්ශනය ආනිසංස කොට ඇත්තේය.

යථාභූතඤාණදස්සනං පන භන්තේ කිමත්ථියං කිමානිසංසන්ති? යථාභූතඤාණදස්සනං ඛෝ ආනන්ද නිබ්බින්දනත්ථං නිබ්බිදානිසංසං.

​ස්වාමීනී, යථාභූත ඥාන දර්ශනය කුමක් අර්ථ කොට ඇත්තේ ද, කුමක් ආනිසංස කොට ඇත්තේ ද?

​ආනන්දය, යථාභූත ඥාන දර්ශනය නිබ්බිදා විරාගය අර්ථ කොට ඇත; නිබ්බිදා විරාගය ආනිසංස කොට ඇත.

නිබ්බිදා විරාගෝ පන භන්තේ කිමත්ථෝ කිමානිසංසෝති? නිබ්බිදා විරාගෝ ඛෝ ආනන්ද විමුත්තිඤාණදස්සනත්ථෝ විමුත්තිඤාණදස්සනානිසංසෝති.

ස්වාමීනී, කලකිරීම හෙවත් නිබ්බිධාව සහ විරාගය කුමක් අර්ථ කොට ඇත්තේ ද, කුමක් ආනිසංස කොට ඇත්තේ ද?

​ආනන්දය, නිබ්බිධා විරාගය විමුක්ති ඥාන දර්ශනය අර්ථ කොට ඇත්තේය; විමුක්ති ඥාන දර්ශනය ආනිසංස කොට ඇත්තේය.

ප්‍රමෝදය යනු ප්‍රමුදිත බවයි; සතුටට පත්වන ස්වභාවයයි; ප්‍රමෝදයට පත්වන ස්වභාවයයි. (ධම්මසංගණී අට්ඨකථා)

​ප්‍රීතිය යනු පංච නීවරණ යටපත් වීම නිසා සිත තුළ හටගන්නා වූ ප්‍රීති චෛතසිකයයි.

​පස්සද්ධි යනු කායික මානසික සැහැල්ලු බවයි. එහෙත් මෙහිදී විශේෂයෙන් මානසික සැහැල්ලු බව අදහස් කරයි. "පීතිමනස්සපි කායෝපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති" යනුවෙන්, නිරාමිස ප්‍රීතියෙන් යුතු වූ තැනැත්තාගේ කයද සැහැල්ලු වෙයි, සිතද සැහැල්ලු වෙයි යනුවෙන් දේශනා කොට ඇත.

​සුඛ යනු සැපයට නමකි. මනසෙහි ඇතිවන සැපය මේ නමින් හඳුන්වනු ලබයි. කායික සැපය හැඳින්වීමටද සුඛ යන වචනය බොහෝ බහුලව භාවිත වෙයි.

​සමාධි යනු සිතෙහි එකඟ බවයි. පංච නීවරණයන්ගෙන් ගැවසී ගත්තා වූ සිතක් සමාධිමත් බවින් තොරය. භාවනා අරමුණක් තුළ සිත පිහිටුවා පංච නීවරණ ධර්මයන් යටපත් කරගත් කල්හි සිත සමාධිගත වන්නේය, එකඟ වන්නේය. මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනු නොලැබේ.

​යථාභූත ඥානදර්ශනං - යථාභූත ඥාන දර්ශනය යනු යථාර්ථය දැකීමයි. යථාර්ථය යනු අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, අසුභ ලක්ෂණය යන මෙයයි. එම යථාර්ථය දැකීම යථාභූත ඥාන දර්ශනය යන නමින් හඳුන්වනු ලබයි.

​නිබ්බිදා - නිබ්බිදා යනු දුක කෙරෙහි කළකිරීමයි; හෙවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දැකීමෙන් ඒවා කෙරෙහි නොඇලෙන ස්වභාවය නිබ්බිදා යන නමින් හඳුන්වනු ලබයි.

​විරාගය යනු නොඇලෙන ස්වභාවයයි. රාගය දුරුවීම විරාගයයි.

​මෙම විරාගය විමුක්ති ඥාන දර්ශනය පිණිස උපකාර වෙයි.

කිමත්ථිය සූත්‍රයෙහි අවසාන කොටස.

ඉති ඛෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි, අවිප්පටිසාරානිසංසානි. අවිප්පටිසාරෝ පාමොජ්ජත්ථෝ පාමොජ්ජානිසංසෝ. පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං. පීති පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා. පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා. සුඛං සමාධත්ථං සමාධානිසංසං. සමාධි යථාභූතඤාණදස්සනත්ථෝ යථාභූතඤාණදස්සනානිසංසෝ. යථාභූතඤාණදස්සනා නිබ්බින්දත්ථං නිබ්බිදානිසංසං, නිබ්බිදා විරාගත්ථා විරාගානිසංසා, විරාගෝ විමුත්තිඤාණදස්සනත්ථෝ විමුත්තිඤාණදස්සනානිසංසෝ. ඉති ඛෝ ආනන්ද කුසලානි සීලානි අනුපුබ්බේන අග්ගාය පරෙන්තීති.

ආනන්දය, මෙසේ කුසල ශීලයෝ පසු නොතැවීම අර්ථ කොට ඇත්තාහ; පසු නොතැවීම ආනිසංස කොට ඇත්තාහ. පසු නොතැවීම ප්‍රමෝදය අර්ථ කොට ඇත්තේය; ප්‍රමෝදය ආනිසංස කොට ඇත්තේය. ප්‍රමෝදය ප්‍රීතිය අර්ථ කොට ඇත්තේය; ප්‍රීතිය ආනිසංස කොට ඇත්තේය. ප්‍රීතිය පස්සද්ධිය අර්ථ කොට ඇත; පස්සද්ධිය ආනිසංස කොට ඇත. පස්සද්ධිය සැපය අර්ථ කොට ඇත; සැපය ආනිසංස කොට ඇත. සැපය සමාධිය අර්ථ කොට ඇත්තේය; සමාධිය ආනිසංස කොට ඇත්තේය. සමාධිය යථාභූත ඥාන දර්ශනය අර්ථ කොට ඇත්තේය; යථාභූත ඥාන දර්ශනය ආනිසංස කොට ඇත්තේය. යථාභූත ඥාන දර්ශනය නිබ්බිදා විරාගය අර්ථ කොට ඇත; නිබ්බිදා විරාගය ආනිසංස කොට ඇත. නිබ්බිදා විරාගය විමුක්ති ඥාන දර්ශනය අර්ථ කොට ඇත්තේය; විමුක්ති ඥාන දර්ශනය ආනිසංස කොට ඇත්තේය.

​ආනන්දයෙනි, මෙසේ කුසල ශීලයෝ අනුපිළිවෙළින් අග්‍ර බවට (අර්හත්වයට ) පැමිණෙන්නාහ"