පොත් ලැයිස්තුව

කප්ප සූත්‍රය

star_outline

පරායන වර්ගය සුත්ත නිපාතය

කප්ප මානවක මෙසේ විමසයි.

​(ඉච්චායස්මා කප්පෝ)

මජ්ඣේ සරස්මිං තිට්ඨතං

ඕඝේ ජාතේ මහබ්භයේ

ජරාමච්චුපරේතානං දීපං පබ්‍රෑහි මාරිස

ත්වං ච මේ දීපමක්ඛාහි යථායිදං නාපරා සියා

නිදුකානන් වහන්ස, (පටන් ගත් කෙළවරක් නොපෙනෙන, අවසානයක් නොපෙනෙන, මැද පිහිටියා වූ බැවින් සංසාරයා "මජ්ඣේ" යැයි කියනු ලැබෙයි යනු අටුවා අදහසයි.) මැද වූ සංසාරයෙහි සිටියා වූ, ජරා මරණ දෙකෙන්ම යට කරන ලද, ඉපදීම ආදී මහත් වූ බය ඇති, කාම ආදී ඕඝයන් උපන් කල්හි ආරක්ෂිත ස්ථානය (දිවයින, දීපය) දේශනා කරනු මැනවි.

යම් ආකාරයකින් මේ දුක නැති වන්නේද, ඒ ආකාරයෙන් මට ආරක්ෂිත ස්ථානය දේශනා කරනු මැනවි.

​භාග්‍යවතුන් වහන්සේ

කප්පාති භගවා

​මජ්ඣේ සරස්මිං තිට්ඨතං

ඕඝේ ජාතේ මහබ්භයේ

ජරාමච්චුපරේතානං

දීපං පබ්‍රෑමි කප්ප තේ

මැද පිහිටියා වූ සංසාරයෙහි සිටින්නා වූ, ජරා මරණයන්ගෙන් යට වූ, ඉපදීම ආදී මහත් භය ඇත්තා වූ, කාමාදී ඕඝයන් උපන් කල්හි, කප්පය, ඔබට ආරක්ෂිත ස්ථානයක් ප්‍රකාශ කරමි.

​අකිඤ්චනං අනාදානං

ඒතං දීපං අනාපරං

නිබ්බානමිති තං බ්‍රෑමි

ජරාමච්චුපරික්ඛයං

​(මීට සමාන වෙනත් පිහිටක් නැත්තා වූ, එබැවින් ශ්‍රේෂ්ඨ වූ යනුවෙන් "අනාපරං" යන වචනය අටුවාවේ පැහැදිලි කරයි.)

වෙනත් පිහිටක් නැත්තා වූ, ඒ පිහිට රාගාදි පළිබෝධයන්ගෙන් තොරය; තණ්හාවෙන් ග්‍රහණය කර ගැනීමෙන් තොරය; ජරා මරණයන්ගේ සංසිඳීම නම් වූ එය නිර්වාණය යැයි කියමි.

​ඒතදඤ්ඤාය යේ සතා

දිට්ඨධම්මාභිනිබ්බුතා

න තේ මාරවසානුගා

න තේ මාරස්ස පද්ධගූති

​සතිමත් වූ, අනිත්‍යාදී ස්වභාවයෙන් දක්නා ලද ධර්ම ඇති රහතන් වහන්සේලා ඒ නිර්වාණය දැන කෙලෙස් දුරු කළහ හෙවත් ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවී වදාළහ. උන්වහන්සේලා මාරයාගේ වසඟයට නොගිය අය වෙති; මාරයාගේ පාද අනුව හැසිරෙන්නෝ නොවෙති.

කප්ප සූත්‍රය අවසානයි.