පොත් ලැයිස්තුව

කාලකාරාම සූත්‍රය

star_outline

කාලකාරාම සූත්‍රය පිළිබඳ හැඳින්වීම

​මෙම දේශනාව සම්බුද්ධ ශාසනය තුළ ඉතා ප්‍රසිද්ධය. මිහින්තලා පුද බිමේ කළු දිය පොකුණ සමීපයෙහි කළු තිඹිරි ගසක් යටදී කාලබුද්ධරක්ඛිත නම් තෙරුන් වහන්සේ විසින් කාලකාරාම සූත්‍රයෙන් එක් රැයක් එළිවන තෙක් ධර්ම දේශනාවක් සිදු කළ බව ඉතිහාසයේ සඳහන්ය. එම දේශනාව ඇසීමට සද්ධාතිස්ස රජතුමාද පැමිණ තිබේ. දේශනාව අවසානයේදී සද්ධාතිස්ස රජතුමා ප්‍රසාදයට පත් වී සාධුනාද පැවැත්වූහ.

​රජතුමා විසින් බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් මෙසේ විමසන ලදී: "ස්වාමීනී, ඔබ වහන්සේ විසින් තුන්යම් රාත්‍රියක් පුරා බුදුගුණ දේශනා කරන ලදී. තථාගතයන් වහන්සේ සතුව තිබෙන්නේ ඔය බුදුගුණ ටික විතරද? ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ සතු සියලු බුදුගුණ දේශනා කළ සේක්ද?"

​එවිට කාලබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ: "මහ රජතුමනි, තථාගතයන් වහන්සේගේ ගුණ අනන්තය, අප්‍රමාණය. ඒවා කියා නිම කළ නොහැකිය. අහස තරම් විශාලය. වැහිලිහිණියකුගේ පියාපතකින් අහසේ යම් කොටසක් වැසෙන්නේ නම්, එබඳු ස්වල්ප බුදුගුණ ප්‍රමාණයක් පමණක් මා විසින් දේශනා කරන ලදී." යනුවෙන් බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දේශනා කළහ.

​කාලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ සියල්ල දන්නා නුවණ හෙවත් සර්වඥතා ඥානය පිළිබඳව මැනවින් සඳහන් වෙයි. තථාගතයන් වහන්සේ ලොව ඇති සියල්ල දන්නා සේක; උන්වහන්සේ සර්වඥ නම් වෙයි. උන්වහන්සේ ලෝකයෙහි ඇති සියල්ල දකිනා සේක; එබැවින් සබ්බදස්සාවී යන නමින් හඳුන්වනු ලබයි.

​මෙම දේශනාවේදී දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්ත, පරියේසිත යන වචන මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පැහැදිලි කර දෙයි. තථාගතයන් වහන්සේ "දිට්ඨ" යනුවෙන් හඳුන්වන, ඇසට පෙනෙන නීල, පීත ආදී රූපායතන අවබෝධ කළ සේක.

"සුත" යනුවෙන් හඳුන්වන බෙර ශබ්ද, ගීත ශබ්ද ආදී සියලු ශබ්දයන් හෙවත් සද්දායතනය අවබෝධ කළ සේක.

"මුත" යනුවෙන් හඳුන්වන්නේ ගන්ධය, රසය, පහස යන කාරණා තුනයි. ඒවා පිළිවෙළින් ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය යනුවෙන් හඳුන්වනු ලබයි. ඒ සියල්ල ද තථාගතයන් වහන්සේ අවබෝධ කළ සේක.

"විඤ්ඤාත" යනු විඤ්ඤාණයෙන් දැනගන්නා සැප, දුක් ආදී සියලු දැනගැනීම්ය.

​මෙම දේශනාවේදී "පත්තං..." යනුවෙන්:

​"පරියේසිත්වාවා අපරියේසිත්වා පත්තං..." (සූත්‍ර අටුවාව)

සිතින් සෙවීම සිදු කරන ලද්දේ හෝ සිතින් සෙවීම නොකරන ලද්දේ හෝ යමකට පැමිණියේද, එයයි. තථාගතයන් වහන්සේ ඒ සියල්ල ද අවබෝධ කළ සේක.

​"පරියේසිතං පත්තං වා අපත්තං වා පරියේසිතං..." (සූත්‍ර අටුවාව)

පැමිණියා හෝ නොපැමිණියා හෝ සොයන ලද්දා වූ දෙය පරියේසිත නම් වෙයි. ඒ සියල්ල ද තථාගතයන් වහන්සේ අවබෝධ කළහ.

​"අනුවිචරිතං මනසාති – චිත්තේන අනුසංචරිතං..." (සූත්‍ර අටුවාව)

සිතින් හැසිරෙන ලද දෙය, චිත්තේන පරියේසිතං යනුවෙන් හඳුන්වනු ලබයි.

​ඊළඟට අප සූත්‍රයේ මූලික කොටස් වෙත යොමු වෙමු.

කාලකාරාම සූත්‍රය

චතුක්ක නිපාතය අංගුත්තර නිකාය. .

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාකේතේ විහරති කාළකාරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි - “භික්ඛවෝ”ති. “භදන්තේ”ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච -

​එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වැඩ වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ "මහණෙනි" කියා භික්ෂූහු ඇමතූහ. "ස්වාමීනී" යනුවෙන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යං භික්ඛවේ, සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි.

​මහණෙනි, දෙවියන් සහිත වූ, මරයා සහිත වූ, බ්‍රහ්මයන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙව් මිනිස් ප්‍රජාවෙහි දිට්ඨං – දකිනා ලද දෙයක් වේද, සුතං – අසන ලද දෙයක් වේද, මුතං – ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද දෙයක් වේද, විඤ්ඤාතං – සිතින් දැනගන්නා ලද දෙයක් වේද, පත්තං – පත්වූ දෙයක් වේද, පරියේසිතං – සොයා ගන්නා ලද දෙයක් වේද, අනුවිචරිතං මනසා – මනසින් සිතා බලන ලද / හැසිරෙන ලද දෙයක් වේද, ඒ සියල්ල මම දනිමි.

යං භික්ඛවේ, සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, තමහං අබ්භඤ්ඤාසිං. තං තථාගතස්ස විදිතං, තං තථාගතෝ න උපට්ඨාසි.

​මහණෙනි, දෙවියන් සහිත වූ, මාරයා සහිත වූ, බ්‍රහ්මයන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙව් මිනිස් ප්‍රජාවෙහි යම් දිට්ඨං.. දකිනා ලදදෙයක් වේද, සුතං අසන ලද දෙයක් වේද, මුතං ..ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද දෙයක් වේද, විඤ්ඤාතං ..සිතින් දැනගන්නා ලදදෙයක් වේද, පත්තං.. පැමිණෙන ලද ලබන ලද දෙයක් වේද, පරියේසිතං... සොයා ගන්නා ලද දෙයක් වේද, අනුවිචරිතං මනසා.. මනසින් හැසිරෙන ලද දෙයක් වේද, මා විසින් ඒ සියල්ල අවබෝධ කරන ලදී. ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් දන්නා ලදී. තථාගතයන් වහන්සේ ඒ කෙරෙහි තණ්හා දෘෂ්ටි වශයෙන ඇලී වාසය නොකරති. (හෙවත් කෙලෙස් වශයෙන් ජීවත්වීමක් නැත)