සුත්ත නිපාතය පරායන වර්ගය
(ඉච්චායස්මා හේමකෝ)
යේ මේ පුබ්බේ වියාකංසු
හුරං ගෝතම සාසනං
ඉච්චාසි ඉති භවිස්සති
සබ්බං තං ඉතිහීතිහං
සබ්බං තං තක්කවඩ්ඪනං
නාහං තත්ථ අභිරමිං
භාග්‍යවතුන් වහන්ස, පෙර බාවරී ආදී බ්‍රාහ්මණවරු "මෙසේ විය, මෙසේ වන්නේය" යනුවෙන් මා හට දේශනා කළහ. එම දහම "මෙසේය, මෙසේය" කියා පරම්පරාවෙන් එන කතා ඇති වෙයි. එය (කාම විතර්ක ආදී. ) තර්කය වර්ධනය කරයි. මම එහි නොඇලුනෙමි.
ත්වං ච මේ ධම්මමක්ඛාහි
තණ්හා නිග්ඝාතනං මුනි
යං විදිත්වා සතෝ චරං
තරේ ලෝකේ විසත්තිකං
මුනින්ද්‍රයන් වහන්ස, සිහියෙන් යුතුව යම් දහමක් දැනගෙන හැසිරෙන්නේ නම්, ලෝකයෙහි විසත්තික නම් වූ තණ්හාව තරණය කරන්නේද, ඔබ වහන්සේ මට තණ්හාව නසන, ධර්මයක් දේශනා කරනු මැනවි..
භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුරු ගාථාව
ඒතදඤ්ඤාය යේ සතා
දිට්ඨධම්මාභිනිබ්බුතා
උපසන්තා ච තේ සදා
තිණ්ණා ලෝකේ විසත්තිකන්ති
(සිහියෙන් යුක්තව සබ්බේ සංඛාරා අනිච්චා ආදී වශයෙන් විදර්ශනාවෙන් අනුපිළිවෙළින්ම දැනගෙන යමෙක් කායානුපස්සනා ආදී සතිපට්ඨානයෙහි යෙදෙන්නේ නම් එය සතා යනුවෙන් හඳුන්වනු ලබයි. දිට්ඨධම්මාභිනිබ්බුතෝ යනු දන්නා ලද ධර්ම ඇති, දකින ලද ධර්ම ඇති, රාගාදි කෙලෙස් ගිනි නිවන ලද, විශේෂයෙන් නිවුණා වූ යන අර්ථය ඇති වචනයකි. එබඳු ලක්ෂණ ඇති සැමකල්හි උපශාන්ත වූ ඒ රහතන් වහන්සේ ලෝකයෙහි විසත්තිකා නම් වූ තණ්හාව තරණය කළහ යනු මෙම ගාථාවෙහි අටුවාගත අර්ථයයි.)
සිහියෙන් යුක්ත වූ, දක්නා ලද අනිත්‍යාදී ධර්ම ඇති යම් රහතන් වහන්සේ කෙනෙක් මේ ජීවිතයේදීම නිවීමට පත් වූයේ, සැමදා උපශාන්ත වූයේ, උන්වහන්සේලා ලෝකයෙහි විසත්තිකා නම් තණ්හාව දුරු කළහ.
දිට්ඨ සුත මුත යනු
රූප ශබ්ද ගන්ධ රස ඈ
පහස සිතුවිලි යන
බාහිර ආයතනම වේ
ප්‍රියමනාප වූ මේ දෙය
කෙරෙහි පැවති තණ්හා සැම
නසා පියා සිටින කෙනා
නොමැරෙන නිවනට පත් වෙති
අනිත්‍යාදී ධර්ම දැන
මෙලොව නිවුණු සැනසුණු ඒ
උපශාන්ත රහත් මුනිඳු
ලොව තණ්හා තරණය කළ
හේමක මේ දහම අසා
පාප විතර්කය දුරලා
තණ්හා හැම සිඳ හැරලා
නිවනට පත් වනු සතොසා