අංගුත්තර නිකාය චතුක්ක නිපාතය
අථ ඛෝ අනාථපිණ්ඩිකෝ ගහපති යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අනාථපිණ්ඩිකං ගහපතිං භගවා ඒතදවෝච:
ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදර ගෞරවයෙන් වන්දනාමාන කර එකත්පසෙකුට හිඳියේය. එකත්පසෙක හිඳියා වූ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
චතූහි ඛෝ ගහපති, ධම්මේහි සමන්නාගතෝ අරියසාවකෝ ගිහිසාමීචිපටිපදං පටිපන්නෝ හෝති යසෝපටිලාභිනිං සග්ගසංවත්තනිකං. කතමේහි චතූහි?
ගෘහපතිතුමනි, කාරණා හතරකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා යසස ලැබීමට හේතු වූ, සුගතියෙහි ඉපදීම පිණිස හේතුවන ගිහි සාමීචි ප්‍රතිපදාවට පිළිපන් කෙනකු වෙයි. කවර කාරණා හතරකින්ද යත්:
ඉධ ගහපති, අරියසාවකෝ භික්ඛුසංඝං පච්චුපට්ඨිතෝ හෝති චීවරේන, භික්ඛුසංඝං පච්චුපට්ඨිතෝ හෝති පිණ්ඩපාතේන, භික්ඛුසංඝං පච්චුපට්ඨිතෝ හෝති සේනාසනේන, භික්ඛුසංඝං පච්චුපට්ඨිතෝ හෝති ගිලානපච්චයභේසජ්ජපරික්ඛාරේන.
ගෘහපතිතුමනි, මේ ලෝකයෙහි ආර්ය ශ්‍රාවකයා භික්ෂු සංඝයාට චීවර පූජා කරයි. භික්ෂු සංඝයාට පිණ්ඩපාතය පූජා කරයි. භික්ෂු සංඝයාට සේනාසන පූජා කරයි.
භික්ෂු සංඝයාට ගිලන්පස බෙහෙත් පිරිකර පූජා කරයි.
(සංඝයාට සිවුරු පූජා කිරීම පිණිස එළැඹ සිටියේ වෙයි. .සංඝයාට සිවුරු පූජා කරයි. මෙම පරිවර්තන දෙකම නිවැරදි බව අටුවා මතයයි. එබැවින් පූජා කරයි යන වචනය යොදන ලද බව, නැණවත්හු සලකත්වා)
ඉමේහි ඛෝ ගහපති, චතූහි ධම්මේහි සමන්නාගතෝ අරියසාවකෝ ගිහීසාමීචිපටිපදං පටිපන්නෝ හෝති යසෝපටිලාභිනිං සග්ගසංවත්තනික”න්ති.
ගෘහපතිතුමනි, මේ කාරණා හතරින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා යසස ලැබීමට හේතුවන, සුගතියෙහි ඉපදීම පිණිස හේතුවෙන ගිහි සාමීචි ප්‍රතිපත්තියට පිළිපන් කෙනකු වෙයි.
ගිහිසාමීචිපටිපදං, පටිපජ්ජන්ති පණ්ඩිතා
සම්මග්ගතේ සීලවන්තේ, චීවරේන උපට්ඨිතා
පිණ්ඩපාතසයනේන, ගිලානපච්චයේන ච
යහපත් මාර්ගයෙහි ගමන් කරන සිල්වතුන් උදෙසා සිවුරු, පිණ්ඩපාතය, සයනාසන, ගිලන්පස පූජා කරමින් උපස්ථාන කරන බුද්ධිමත් වූ ගිහියෝ ගිහි සාමීචි ප්‍රතිපදාවෙහි යෙදෙති.
තේසං දිවා ච රත්තෝ ච, සදා පුඤ්ඤං පවඩ්ඪති
සග්ගඤ්ච ගච්ඡති ඨානං, කම්මං කත්වාන භද්දක”න්ති
ඔවුනට දිවා රාත්‍රී දෙකෙහි සෑම දිනම පින් වැඩෙයි. යහපත් වූ කුසල කර්ම සිදුකොට ස්වර්ගයට උපත් වශයෙන් යති.
ගිහි සාමීචි ප්‍රතිපදාව
ගිහි සාමීචි ප්‍රතිපදාව යනු ගිහි ගෙදර වාසය කරන අයට ගැලපෙන්නා වූ ප්‍රතිපත්තියයි. (ගිහීනං අනුච්ඡවිකං පටිපත්තිං - ගිහියන්ට ගැලපෙන ප්‍රතිපදාවයි, අටුවාව.) මෙහි ගිහි සාමීචි ප්‍රතිපදාව යනුවෙන් සඳහන් කර ඇත්තේ මහා සංඝරත්නය උදෙසා සිව්පසය පූජා කිරීමයි. මහා සංඝරත්නය උදෙසා සිව්පසය පූජා කරන සැදැහැතියෝ දිවා රාත්‍රී දෙකෙහි සෑම දිනකම පින් ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. දිවා රාත්‍රී දෙකෙහි පින් ලැබෙන්නේ කෙසේද? ඒ පිළිබඳව මෙම සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත.
පරිත්‍යාග කරන පූජා කරන මොහොතේ මොහොතේදී පින් ලැබෙයි. එය පරිත්‍යාග වශයෙන් පින් සිදුවීමයි. තමන් විසින් කරන ලද පිනක් යම් අවස්ථාවකදී සිහි කරන්නේ නම්, සිහි කරන සෑම මොහොතකදීම පින් සිදුවෙයි. එය අනුස්සරණ වශයෙන් පින් සිදුවීමයි. මේ ආකාරයට පිනක් සිදු කරන ලද තැනැත්තාට වරින් වර ඒ පින සිහි කරමින් හැමදාම පින ලබාගත හැකිය, පින් උපදවා ගත හැකිය. විශේෂයෙන් මෙම දේශනාවේදී ගිහි ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරන ලදී.
ගිහි සාමීචි පටිපදා සුත්තං නිට්ඨිතං