පොත් ලැයිස්තුව

දුතිය ජනකුහන සූත්‍රය

star_outline

(ඉතිවුත්තකපාලිය - දුක නිපාතය)

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී:

​"නයිදං, භික්ඛවේ, බ්‍රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං, න ජනලපනත්ථං, න ලාභසක්කාරසිලෝකානිසංසත්ථං, න ‘ඉති මං ජනෝ ජානාතූ’ති. අථ ඛෝ ඉදං, භික්ඛවේ, බ්‍රහ්මචරියං වුස්සති අභිඤ්ඤත්ථඤ්චේව පරිඤ්ඤත්ථඤ්චා"ති.

​මහණෙනි, මේ බ්‍රහ්මචරියාව ජනයා මා දනීවායි ජනයා විස්මයට පත් කරනු පිණිස, ජනතාව ලවා සිය ගුණ කියවා ගැනීම පිණිස, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ආනිසංස ලබාගැනීම පිණිස නොවසනු ලැබේ. මහණෙනි, මේ බ්‍රහ්මචරියාව සියලු ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැනගැනීම පිණිසද, පිරිසිඳ දැනගැනීම පිණිසද වාසය කරනු ලැබේ.

ධර්මාර්ථ විස්තරය

​තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද නිවන් මාර්ගය බ්‍රහ්මචරියාව කියා හඳුන්වනු ලැබේ. ගිහි ගෙදර වාසය කරන කෙනෙකු තමාගේ ස්වාමි දියණියගෙන්, භාර්යාවගෙන් සතුටු වන්නේ නම්, එයද බ්‍රහ්මචරියාවකි.

​දිසාපාමොක්කාචාර්යයන් වහන්සේ ධර්මපාල බ්‍රාහ්මණතුමන් සමීපයට ගොස් ධර්මපාල පරපුරේ අය අඩු වයසින් මරණයට පත් නොවීමට හේතු විමසූහ. එවිට ධර්මපාලතුමා දීර්ඝායුෂ ලැබීමට හේතු රාශියක් දේශනා කළහ. ධර්මපාල බ්‍රාහ්මණතුමා දේශනා කළ එක හේතුවක් මෙසේය:

​"මයඤ්ච භරියා නාතික්කමාම, අම්හේච භරියා නාතික්කමන්ති; අඤ්ඤත්‍ර තාහි බ්‍රහ්මචරියං චරාම, තස්මාහි අම්හං දහරානමීයරේ."

​"අපිද භාර්යාව ඉක්මවා නොයන්නෙමු. අපගේ පවුල්වල භාර්යාවෝද තම පුරුසයා ඉක්මවා නොයති. ඔවුනොවුන්ම බ්‍රහ්මචරියාව තුළ හැසිරෙන්නෙමු. එම නිසා අපගේ දරුවෝ කුඩා කාලයේ මිය නොයති" (ධම්මපාල ජාතකය).

​මෙම ගාථාවෙන් ස්වදාර සන්තුට්ඨිය බ්‍රහ්මචරියාව වශයෙන් දේශනා කළ සේක. අබ්‍රහ්මචරියාවෙන් වැළකී වාසය කිරීමද බ්‍රහ්මචරියාවකි. ආර්ය අෂ්ටාංගික මාර්ගයද මාර්ග බ්‍රහ්මචරියාව යනුවෙන් දේශනා කළ සේක.

​සම්බුද්ධ ශ්‍රාවකයා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව, ගෞරවයෙන් යුතුව නිවන් මඟ ගමන් කළ යුතුය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ ආසාවෙන් තොරව නිවන් මඟ ගමන් කළ යුතුය. "තමා සිල්වත් කෙනෙකු, ගුණවත් කෙනෙකු, ඉද්ධිලාභී කෙනෙකු, බලසම්පන්න කෙනෙකු" ආදී වශයෙන් මිනිසුන් දැනගනිත්වා යන පහත් වූ අදහසින් තොරව නිවන් මඟ ගමන් කළ යුතුය. "මාගේ සීලවන්ත බව, ගුණවන්ත බව දැනගෙන මිනිසුන් මට සිව්පසය පූජා කරත්වා" ආදී අදහස්වලින් තොරව නිවන් මඟ ගමන් කළ යුතුය.

​අභිඤ්ඤෙය්‍යං — විශිෂ්ට ඥානය

​ශ්‍රාවකයා නිවන් මඟ ගමන් කළ යුත්තේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත යුතු ධර්මයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කර ගැනීම පිණිසය. පංච උපාදානස්කන්ධය, ෂඩායතන, ධාතුන්, පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍යය ආදී ධර්මයන් විශිෂ්ට ඥානයෙන්, වෙනස් නොවන ආකාරයෙන්, පවතින ආකාරයෙන් හෙවත් යථාර්ථයෙන්ම දැනගත යුතුය, අවබෝධ කළ යුතුය.

​පරිඤ්ඤෙය්‍යං — පිරිසිඳ දැනගැනීම

​තථාගත ශ්‍රාවකයා ස්කන්ධ ආදී ධර්මයන් පිරිසිඳ දැනගැනීම පිණිස නිවන් මඟ ගමන් කරයි: දුක්ඛ පිරිසිඳ දැනගැනීම යනු ඉතුරුවක් නැතුව අවබෝධ කරගැනීමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් අවබෝධ කරගැනීමයි. විශේෂයෙන් දුක පිරිසිඳ දත යුතුය.

​පහාතබ්බං — ප්‍රහාණය කළ යුතුය

​දුකට හේතුව ප්‍රහාණය කළ යුතුය. කෙලෙස් ප්‍රහාණය කළ යුතුය.

ඒ සඳහා ඇති මාවතක් භාවනා කිරීමයි, හෙවත් සිත වැඩීමයි. ඉන් තොරව කෙලෙස් ප්‍රහාණය කිරීමක් නැත.