(කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳව ධර්ම විස්තරයද ඇතුලත් ය.)
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
සේඛස්ස භික්ඛවේ භික්ඛුනෝ අප්පත්තමානසස්ස අනුත්තරං යෝගක්බේමං පත්ථයමානස්ස විහරතෝ බාහිරං අංගන්ති කරිත්වා නාඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි ඒවං බහූපකාරං යථයිදං භික්ඛවේ කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තෝ භික්ඛවේ භික්ඛු අකුසලං පජහති කුසලං භාවේතී’ති.
මහණෙනි, අරිහත්වයට නොපැමිණි, උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් වාසය කරන සේඛ භික්ෂුවට, බාහිර වූ ගුණාංගයක් වශයෙන්ම මෙම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය බොහෝ උපකාර පිණිස පවතී ද, එබඳු වූ අන් එක ගුණාංගයක්වත් මම බුදුනුවණින් නොදකිමි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුව අකුසල් දුරු කරයි, කුසල් වඩයි.
කල්‍යාණ මිත්‍ර ආශ්‍රය.
සීලාදී ගුණ සම්පන්න වූ, පාප ධර්මයන් නසන්නා වූ, හිත වැඩ සලසන්නා වූ, සියලු ආකාරයෙන් උපකාර කරන්නා වූ මිත්‍රයා කල්‍යාණ මිත්‍රයා නම් වෙයි. කල්‍යාණ මිත්‍රයා ස්වභාවයෙන්ම ශ්‍රද්ධා සම්පන්නය., සීල සම්පන්නය, සුත සම්පන්නය. ත්‍යාග සම්පන්නය, වීර්යය සම්පන්නය, සති සම්පන්නය, සමාධි සම්පන්නය, ප්‍රඥා සම්පන්නය වෙයි. (ඉතිවුත්තක පාලි අට්ඨකථා).
ශ්‍රද්ධා සම්පන්න වූ තැනැත්තා තථාගතයන් වහන්සේ සියල්ල දන්නා සර්වඥතා ඥානයෙන් යුක්ත වූ බව මුළු හදවතින්ම පිළිගනියි. අදහයි, විශ්වාස කරයි. එම නිසාම ඔහු ධර්මාවබෝධය කිරීමට කැමතිව, සත්ත්වයන් වෙත හිතවත් බව අත් නොහරී. එබැවින් ධර්මාවබෝධය කිරීමට කැමති සත්පුරුෂයන් හට උපකාර කරයි. සීල සම්පන්න වූ තැනැත්තා සීල සම්පත්තිය හේතු කරගෙන බ්‍රහ්මචාරී ජීවිත ගත කරන අයට ඉතා ප්‍රිය මනාප කෙනෙක් බවට පත්වේ. ගරු කරන්නෙකු බවට පත්වේ, සෙසු අයගේ ගෞරවය පිළිගැනීමට සුදුසු කෙනෙක් වෙයි. වරදක් දුටු විට ගර්හා කරයි, වරද පෙන්වා දීමට ඉතා දක්ෂ කෙනෙක් බවට පත්වෙයි. සීලවන්ත තැනැත්තා අනුන්ගේ අවවාද අනුශාසනා පිළිගනී.
සුතය යනුවෙන් හඳුන්වා ඇත්තේ ධර්මය පිළිබඳව අසා ලද හෝ කියවා ලද හෝ දහම් දැනුමයි. සුත සම්පත්තිය ඇති තැනැත්තා ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ආදී ගැඹුරු ධර්ම කාරණාවන් පැහැදිලි කරන කෙනෙක් බවට පත්වෙයි. ත්‍යාගය යනු තමා සතු වස්තුව කෙරෙහි ඇති ලෝභ මූලකය හෙවත් තණ්හාව දුරුකොට අන් අයට පරිත්‍යාග කිරීමේ චේතනාවයි. ත්‍යාග සම්පත්තියෙහි පිහිටියා වූ තැනැත්තා අල්පේච්ඡ කෙනෙකි. බොහෝ දේ ලැබීමේ ආසාව ඔහුට නැත. ඔහු ලද දෙයින් සතුටු වෙයි. කාය චිත්ත විවේකයෙන් යුතුව වාසය කරයි. පිරිස සමග ඇලී ගැලී වාසය කිරීමට කැමති නොවේ.
වීර්යය සම්පත්තියෙන් යුක්ත වූ තැනැත්තා තමාටත් අනුන්ටත් යහපත පිණිස පවතින පිළිවෙතෙහි වීර්යය ආරම්භ කරන ලද කෙනෙකු වෙයි. හෙවත් ඉතා වීර්යයෙන් යුතුව සීලාදී ගුණ පුරන, සමථ විදසුන් භාවනා වඩන කෙනෙක් වෙයි. සති සම්පත්තියෙන් යුක්ත වූ තැනැත්තා නිරතුරුවම සති අවිප්පවාසයෙන් හෙවත් සිහිය අත් නොහැර වාසය කරයි. උතුම් වූ සිහිනුවණින් යුක්ත වෙයි. පෙර කරන ලද දෙය ද, පෙර කියන ලද දෙය ද සිහිකරන කෙනෙක් වෙයි, නැවත නැවත සිහිකරන කෙනෙක් වෙයි. සමාධි සම්පත්තියෙන් යුක්ත වූ කල්‍යාණ මිත්‍රයා ශාන්ත වූ සිත් ඇති කෙනෙක් වෙයි, එකඟ වූ සිත් ඇති කෙනෙක් වෙයි. ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත වූ කල්‍යාණ මිත්‍රයා යථාර්ථය දකින්නෙක් වෙයි, සිහියෙන් කුසල අකුසල ධර්මයන්ගේ ස්වභාවයන් නුවණින් පරීක්ෂා කරමින් කටයුතු කරයි. එසේම අන්‍ය සත්ත්වයන්ට අකුසලයෙන් අත්මුදවා කුසලයෙහි යොදවමින් කටයුතු කරයි.
කල්‍යාණ මිත්‍ර ආශ්‍රය බොහෝ උපකාරය. කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරන විට කම්මස්සකතා ඥානය හෙවත් කර්මඵල ඇදහීමේ නුවණ උපදවා ගැනීමට පහසුවෙයි. උපන්නා වූ ශ්‍රද්ධාව දියුණු කරගත හැකි වෙයි. ශ්‍රද්ධාවෙන් යුතුව කල්‍යාණ මිත්‍රයා වෙත එළැඹෙයි. කල්‍යාණ මිත්‍රයා වෙත පැමිණ ධර්මය ශ්‍රවණය කරයි. ධර්ම ශ්‍රවණය කොට තෙරුවන් කෙරෙහි පැහැදීම වර්ධනය කර ගනී. ඒ අතරින් සමහර සැදැහැතියෝ ගිහිගෙය අතහැර දමා පැවිදි ජීවිතයට පත්වෙයි. පැවිදි වූ දවසේ පටන් සිව් පිරිසිදු සීලයෙහි පිහිටා, තමාගේ ශක්ති ප්‍රමාණයෙන් ධුතාංග ආදී ගුණධර්ම සමාදන්ව, දහම් කරුණු අසමින් සියලු දුකින් එතෙර වන මාවතෙහි ගමන් කරයි.
ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති -
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දේශනා කළ සේක. එම අර්ථය මෙසේ ද කියනු ලැබේ:
‘‘කල්‍යාණමිත්තෝ යෝ භික්ඛු, සප්පතිස්සෝ සගාරවෝ,
කරං මිත්තානං වචනං, සම්පජානෝ පතිස්සතෝ,
පාපුණේ අනුපුබ්බේන, සබ්බසංයෝජනක්ඛය’’න්ති.
සුවච කීකරු වූයේ, ගෞරව සහිත වූ, කල්‍යාණ මිත්‍රයන් ඇති යම් භික්ෂුවක් වේද, එම භික්ෂුව නුවණින් යුතුව, සිහියෙන් යුතුව කල්‍යාණ මිත්‍රයන්ගේ වචනය ඉටු කරයි. අනුපිළිවෙලින්ම සියලුම සංයෝජනයන්ගේ ක්ෂය කිරීම නම් වූ නිර්වාණයට පැමිණෙන්නේය.
මෙම අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
දුතිය සේඛ සූත්‍රය අවසානයි.