පොත් ලැයිස්තුව

දුතිය පුඤ්ඤාභිසන්ද සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතය

චත්තාරෝමේ භික්ඛවේ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සෝවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමේ චත්තාරෝ?

​මහණෙනි, සැප ලබාදෙන, අග්‍ර වූ, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබාදෙන, සැප විපාක ලබාදෙන, ස්වර්ගයෙහි ඉපදීම පිණිස හේතුවන, ඉෂ්ට වූ, කාන්ත වූ, මනස කැමති වූ, හිත සැප පිණිස පවතින පුඤ්ඤාභිසන්ද (පුණ්‍ය ඉපදවීම්), කුසලාභිසන්ද (කුසල් ඉපදවීම්) හතරකි. එම හතර කවරේද?

ඉධ, භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. අයං භික්ඛවේ, පඨමෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

​මේ බුද්ධ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වෙයි: එනම්, ‘මෙසේද ඒ භාග්‍යවතුන් වහන්සේ...’

​අරහං: සියලු කෙලෙසුන් දුරුකර දැමූ බැවින් අරහත් නම් වන සේක.

​සම්මාසම්බුද්ධෝ: දත යුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව, තමන් වහන්සේම නුවණින් දැන වදාළ බැවින් සම්මාසම්බුද්ධ නම් වන සේක.

​විජ්ජාචරණසම්පන්නෝ: අෂ්ට විද්‍යාවන්ගෙන් සහ පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගත වන බැවින් විජ්ජාචරණසම්පන්න නම් වන සේක.

​සුගතෝ: සුන්දර නිවන් මාර්ගයෙහි වැඩම කළ බැවින්ද, සුන්දර වූ නිර්වාණයට වැඩම කළ බැවින්ද, සුන්දර මිහිරි වූ වචනයෙන් සද්ධර්මය දේශනා කළ බැවින්ද සුගත නම් වන සේක.

​ලෝකවිදූ: පංච උපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළ බැවින්ද, සත්ව, සංස්කාර ලෝකය සහ අවකාශ ලෝකය යන ත්‍රිවිධ ලෝකයම මනාව දැන වදාළ බැවින් ලෝකවිදූ නම් වන සේක.

​අනුත්තරෝ පුරිසදම්මසාරථී: සීලාදී ගුණයෙන් උත්තරීතර වන බැවින්ද, දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින්ද අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

​සත්ථා දේවමනුස්සානං: මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, ශාන්ත නිර්වාණය පිණිසද දෙවි මිනිසුන්ට අවවාද අනුශාසනා කරන ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

​බුද්ධෝ: චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ අවබෝධ කොට, අන් අයටද අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

​භගවා: රාගාදී සියලු කෙලෙස් බිඳ දැමූ බැවින්ද භගවා වන සේක.

​මහණෙනි, සැප ලබාදෙන, අග්‍ර වූ, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංචකාම සම්පත් ලබාදෙන, සැප විපාක ඇති, ස්වර්ගය පිණිස පවතින, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නා වූ පළමුවන පුඤ්ඤාභිසන්දය (පින් ඉපදවීම), කුසලාභිසන්දය (කුසල් ඉපදවීම) මෙයයි.

තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මුල මැද අග යහපත් වන බැවින් ස්වාක්ඛාත වන සේක. ස්වාක්ඛාත වූ සද්ධර්මයෙහි අර්ථය දැනගෙන ධර්මය දැනගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමට ගැලපෙන්නා වූ මාර්ගයෙහි ගමන් කිරීමෙන් ධර්මාවබෝධය වෙත ළඟා විය හැකිය. බොහෝ සත්වයන්ට ධර්මය ලබාදීමේ උදාර චේතනාවෙන් යුතුව චිත්‍රාංගනී මහත්මියද ඒ පවුලේ සත්පුරුෂයෝද කුඩා ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කරවා දානය පිණිස පූජා කරනු ලබති.

​ඔවුන් නමින් පරලොසැපත් ජිනසේන මහත්මා, ගුණසේන මහත්මාදී සියලු සත්පුරුෂයින්ට මේ පින් පෙත් අත්පත් වේවා! ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා! සැප බහුල වේවා! ඉතා ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය අවබෝධ කරත්වා!

​මෙම ධර්ම දානමය කුසල කර්මයේ බලයෙන් දායකත්වය දරන සැදැහැති සත්පුරුෂයෝ නිදුක් වෙත්වා! නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා! දීර්ඝායුෂ ලබත්වා! අපල උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ දුරු වේවා! කාය චිත්ත පීඩා දුරු වේවා! ඉතා සුවසේ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට පහසු විහරණ සැලසේවා! මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර යන සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවේවා! සුගතිගාමී දිව්‍ය ජීවිත, මිනිස් ජීවිත ලබමින් සුවසේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ඉතාම ඉක්මන් භවයකදී බුද්ධාදී උතුමන් නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර ලෝකෝත්තර අජරාමර නිර්වාණ ප්‍රතිලාභය පිණිස මේ පින් උපකාර වෙත්වා!

​මෙම ධර්ම ග්‍රන්ථය සැකසීමේදී බොහෝ සේ වෙහෙස මහන්සි වී කටයුතු කරනු ලබන පූජනීය මීපාගම සංඝරතන ස්වාමීන් වහන්සේද, පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේද, ධම්මදස්සි බෞද්ධ මධ්‍යස්ථානයෙහි සියලු දායක දායිකාවෝද සුඛභාගී වෙත්වා!

නැවත ද මහණෙනි, ආර්ය ශ්‍රාවකයා ධර්මයෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මුල මැද අග යහපත් වන බැවින් ස්වාක්ඛාතය. ලෝකෝත්තර ධර්මය තමා විසින්ම අවබෝධ කරගත යුතු බැවින් සන්දිට්ඨිකය. මාර්ග චිත්තයට අනතුරුව ඵල චිත්තය උපදවන බැවින්ද, මාර්ග සිතත් ඵල සිතත් අතර කාලයක් නොමැති බැවින්ද අකාලිකය. එව බලව කියා දැක්විය හැකි ගුණ ඇති බැවින් ඒහිපස්සිකය. තම සන්තානයෙහි උපදවා ගැනීමට සුදුසු වන බැවින් ඕපනයිකය. පණ්ඩිත ජනයන් විසින් දත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීය. මහණෙනි, සැප ලබා දෙන්නා වූ, අග්‍ර වූ රූපාදී පංචකාම සම්පත් ගෙන දෙන්නා වූ, සැප විපාක ඇති, ස්වර්ගයෙහි ඉපදීම පිණිස හේතුවන, ඉෂ්ට වූ, කාන්ත වූ, මනස කැමති වූ, හිත සුව පිණිස පවතින්නා වූ දෙවන පුඤ්ඤාභිසන්ද (පින් ප්‍රවාහය) යයි, කුසලාභිසන්ද (කුසල් ප්‍රවාහය) යයි.

පුනචපරං භික්ඛවේ, අරියසාවකෝ සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: ‘සුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, ඒස භගවතෝ සාවකසංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති. අයං භික්ඛවේ, තතියෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

නැවත ද මහණෙනි, ආර්ය ශ්‍රාවකයා සංඝරත්නය කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය යහපත් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන බැවින් සුපටිපන්නය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සෘජු මාවතෙහි ගමන් කරන බැවින් උජුපටිපන්නය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය නිර්වාණ මාර්ගයෙහි ගමන් කරන බැවින් ඤායපටිපන්නය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිව්පස පිදීමට වත්පිළිවෙත් කිරීමට සුදුසු මාවතෙහි ගමන් කරන බැවින් සාමීචිපටිපන්නය. මෙසේ පුරිස යුගල සතර දෙනෙක්ගෙන්ද, පුද්ගලයින් අට දෙනෙක්ගෙන්ද යුක්ත වූ ආර්ය සංඝරත්නය දුර සිට ගෙනෙන සිව්පසය පිදීමට සුදුසු වන බැවින් ආහුනෙය්‍යය. ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය පිදීමට සුදුසු බැවින් පාහුණෙය්‍යය. පරලොව සැප පතා දන් දීමට සුදුසු බැවින් දක්ඛිණෙය්‍යය. දෑත් දොහොත් මුදුනෙහි තබා වැඳීමට සුදුසු බැවින් අංජලිකරණීයය. ලෝක සත්ත්වයාගේ පුණ්‍ය බීජ පැළවෙන කෙත වන බැවින් අනුත්තර පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සය.

​මහණෙනි, සුවය ලබාදෙන, අග්‍ර වූ, රූපාදී පංචකාම සම්පත් ලබාදෙන, සැප විපාක ඇත්තා වූ, ස්වර්ගයෙහි ඉපදීම පිණිස පවතින්නා වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, හිත වූ, සැප වූ තුන්වන පුණ්‍ය ප්‍රවාහයයි, කුසල ප්‍රවාහයයි.

මහණෙනි, මේ සැප විපාක ගෙන දෙන්නා වූ, අග්‍ර වූ රූපාදී පංචකාම සම්පත් ලබා දෙන, සැප විපාක සහිත වූ, ස්වර්ගයෙහි ඉපදීමට හේතුවන, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සැප පිණිස පවතින තුන්වන පුණ්‍ය ප්‍රවාහයයි, කුසල ප්‍රවාහයයි.

​"පුනචපරං භික්ඛවේ, අරියසාවකෝ අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අඛණ්ඩේහි අච්ඡිද්දේහි අසබලේහි අකම්මාසේහි භුජිස්සේහි විඤ්ඤුප්පසත්ථේහි අපරාමට්ඨේහි සමාධිසංවත්තනිකේහි. අයං භික්ඛවේ, චතුත්ථෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති."

​නැවත ද මහණෙනි, ආර්ය ශ්‍රාවකයා ආර්යකාන්ත සීලයෙන් සමන්වාගත වෙයි. එම සීලය:

  1. ​මුලින් හා අගින් ශික්ෂාපද නොකැඩී ඇති බැවින් අඛණ්ඩ සීලයකි.
  2. ​මැද ශික්ෂාපද නොකැඩී ඇති බැවින් අච්ඡිද්ධ සීලයකි.
  3. ​එක දිගට ශික්ෂාපද කීපයක් නොකැඩී ඇති බැවින් අසබල සීලයකි.
  4. තැනින් තැනින් ශික්ෂාපද නොකැඩී ඇති බැවින් අකම්මාස සීලයකි.
  5. ​තණ්හා දාසත්වයෙන් මිදී රකින සීලයක් බැවින් භුජිස්ස සීලයකි.
  6. ​බුද්ධාදී නුවණැතියන් විසින් ප්‍රශංසා කරන ලද සීලයක් වන බැවින් විඤ්ඤුප්පසත්ථ සීලයකි.
  7. ​මිථ්‍යාදෘෂ්ටිවලින් පරාමරසනය නොකරන ලද බැවින් අපරාමට්ඨ සීලයකි
  8. සමථ විදර්ශනා සමාධි ලැබීමට උපකාර වන බැවින් සමාධිසංවත්තනික සීලයකි.

​මහණෙනි, මේ සැප ලබා දෙන්නා වූ, අග්‍ර වූ රූපාදී පංචකාම සම්පත් ලබා දෙන්නා වූ, සැප විපාක ඇත්තා වූ, සුගති උපතට හේතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සැප පිණිස පවතින්නා වූ හතරවන පුඤ්ඤාභිසන්දයයි, කුසලාභිසන්දයයි

ඉමේ ඛෝ භික්ඛවේ, චත්තාරෝ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සෝවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්තී”ති.

​මහණෙනි, මේ සැප ලබාදෙන්නා වූ, අග්‍ර වූ රූපාදී පංචකාම සම්පත් ලබාදෙන්නා වූ, සැප විපාක ඇත්තා වූ, සුගතියෙහි ඉපදීම පිණිස හේතුවන්නා වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, හිත සැප පිණිස පවතින්නා වූ මේ සතර වැදෑරුම් පුණ්‍ය ධාරාවෝය, කුසලධාරාවෝය.

​යස්ස සද්ධා තථාගතේ, අචලා සුප්පතිට්ඨිතා

සීලඤ්ච යස්ස කල්‍යාණං, අරියකන්තං පසංසිතං

​යම්කිසි කෙනෙකු හට තථාගතයන් වහන්සේ කෙරෙහි නොසැලෙන සද්ධාවක් මනාකොට පිහිටියේ නම්, යම් කෙනෙකුට ආර්යයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරන ලද්දා වූ යහපත් සීලයක් පිහිටියේ නම්,

​සංඝේ පසාදෝ යස්සත්ථි, උජුභූතඤ්ච දස්සනං

අදළිද්දෝති තං ආහු, අමෝඝං තස්ස ජීවිතං

​යම් කිසි කෙනෙකු හට සංඝරත්නය කෙරෙහි ප්‍රසාදයක් තිබේ නම්, සෘජු වූ ධර්මය පිළිබඳ අවබෝධයක් තිබේ නම්, ඔහු දිළිඳු කෙනෙකු නොවේ යැයි කියති. ඔහුගේ ජීවිතය හිස් නොවූ එකකි.

​තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං

අනුයුඤ්ජේථ මේධාවී, සරං බුද්ධාන සාසන”න්ති

​එම නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහිකරන්නා වූ බුද්ධිමත් තැනැත්තා සද්ධාවද, සීලයද, ප්‍රසාදයද, ධර්ම දර්ශනයද යන මෙහි යෙදෙන්නේය.

​දුතිය පුඤ්ඤාභිසන්ධ සූත්‍රය අවසානයි