විමානවත්තු පාලි
මුගලන් මහ රහතන් වහන්සේ නිතර දෙව්ලොව චාරිකාවේ වැඩම කරති. දෙව්ලොව සිටින දෙවිදේවතාවන් විඳින්නා වූ සැපසම්පත් පිළිබඳව බලා, එම සැපසම්පත් ලැබීමට හේතුව කුමක්දැයි ඔවුන්ගෙන්ම විමසා දැනගනිති. දිනක් උන්වහන්සේට එක්තරා දිව්‍ය විමානයක් දක්නට ලැබුණි. එම දිව්‍ය විමානයෙහි දිව්‍යාංගනාවක් දිව්‍ය සළුපිළිවලින් සැරසී, දිව්‍ය මල් මාලාවන්ගෙන් සැරසී, වෙරළුමිණි නම් මැණික්වලින් සකසන ලද උදාර පුටුවක වාඩි වී සිටියාය. එම පුටුව මනස ගමන් කරන වේගය බඳු ඉතා වේගයෙන් ගමන් කරයි. එම දිව්‍යාංගනාව විදුලි කොටන අවස්ථාවේ සන්ධ්‍යා වලාකුළක් බබළන්නා මෙන් බබළයි. මෙබඳු ලස්සන පීඨයක් ලැබීමටත්, මහානුභාවසම්පන්න දිව්‍ය ආත්මයක් ලැබීමටත් හේතුව මුගලන් මහ රහතන් වහන්සේ විසින් එම දිව්‍යාංගනාවගෙන් විමසූහ.
"පීඨං තෙ වෙළුරියමයං උළාරං මනොජවං ගච්ඡති යෙන කාමං, අලඞ්කතෙ මාල්‍යධරෙ සුවත්ථෙ ඔභාසසි විජ්ජුරිවබ්භකූටං."
දිව්‍යමය සළුපිළි හැඳ පැළඳගත්, දිව්‍යමය මල්මාලා දරාගෙන සිටින්නාවූ, සරසන ලද ශරීර ඇත්තාවූ එම්බා දෙව්දුව, ඔබගේ වෙරළුමිණීමය මැණික්වලින් සකසන ලද උදාර වූ පුටුව මනස බදු වේගයෙන් කැමති තැනකට ගමන් කරයි. ඔබ විදුලි කොටන අවස්ථාවේ සන්ධ්‍යා වලාකුළක් මෙන් බබළයි.
"කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා."
කවර හේතුවකින් ඔබතුමියට මෙබඳු ශරීර වර්ණයක් ලැබුණේද? කවර පිනකින් ඔබේ සුචරිත ඵලය (කුසල විපාකය) මෙම දෙව්ලොව සමෘද්ධිමත් වූවාද? මනසට ප්‍රිය වූ ඒ සම්පත් කවර පිනකින් ඔබට පහළ වූවාද?
"පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති."
මහත් ආනුභාව ඇති දිව්‍යාංගනාවිය, ඔබගෙන් විමසා සිටිමි. මිනිස් ලෝකයේ සිටින කාලයේ කවර පිනක් කළාද? ඔබේ මේ ශරීර වර්ණය සියලු දිසාවන් බැබලීමට පත්කරයි. කවර පිනකින් මේ ආකාර වූ දිලිසෙන පුණ්‍ය ඉර්ධියක් ලැබුවාද?
සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
මුගලන් තෙරුන් වහන්සේ විසින් විමසන ලද අවස්ථාවේදී එම දිව්‍යාංගනාවිය, සතුටු සිත් ඇතුව, මේ පුණ්‍ය ඵලය හෙවත් පුණ්‍ය විපාකය කවර කුසල කර්මයක් නිසා ලැබුණේදැයි විමසන ලද විට මෙසේ පැවසුවාය.
අහං මනුස්සේසු මනුස්සභූතා
අබ්භාගතානාසනකං අදාසි
අභිවාදයිං අඤ්ජලිකං අකාසිං
යථානුභාවඤ්ච අදාසි දානං
ස්වාමීනී, මම පෙර මනුස්ස ලෝකයෙහි සිටින කාලයේ මිනිස් දුවක් වූවෙමි. එක ආගන්තුක භික්ෂුවකට ආසනයක් පූජා කළෙමි. වන්දනා කළෙමි, ඇදිලි බැන්දෙමි හෙවත් දෑත් දොහොත් මුදුනෙහි තබා වැන්දෙමි. ශක්ති ප්‍රමාණයෙන් දානයක්ද පූජා කළෙමි.
තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
එම පුණ්‍ය කර්මය නිසා මගේ ශරීරයෙහි වර්ණය මෙබඳු වෙයි. එම පිනෙන් මාගේ සම්පත්තිය මේ දෙව්ලොව සමෘද්ධ (සපල) වෙයි. මනස කැමති යම්කිසි සැපසම්පත් තිබේද, ඒ සම්පත් මට පහළ වෙති.
අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසිපුඤ්ඤං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දියණියක් වූ මම යම් පිනක් කරන ලද්දේද, එය ඔබට කියමි. එම පින නිසා මෙසේ දිලිසෙන පුණ්‍ය ඉර්ධියක් ඇති කෙනෙක් වෙමි. මගේ ශරීර වර්ණය සියලු දිසාවන් බැබලීමට පත් කරයි.
පුටු පූජා කිරීමේ ආනිසංස
එක්තරා උපාසිකාවක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වැඩසිටීම සඳහා ආසනයක් පනවා තැන්පත් වූ සිතින් පූජා කළාය. එම ස්වාමීන් වහන්සේ එම ආසනය මත වැඩසිටි සේක. එම අවස්ථාවේදී ඒ උපාසිකාව එම දර්ශනය දැක මහත් සේ සතුටට පත්විය. ආසනය පිළියෙල කොට පූජා කිරීමේ පින් බලයෙන් ඇයට සසර ගමනේදී බොහෝ වටිනා ආනිසංස ලැබුණේය.
01. අසූ වතාවක් සක්දෙව් රජතුමාගේ භාර්යාව බවට පත්වීම.
02. හැත්තෑ හත් වතාවක් සක්විති රජවරුන්ගේ අගමෙහෙසිය බවට පත්වීම.
03. උපදින ජීවිතවලදී ඉතා වටිනා වූ පුටු, ඇඳන් ආදිය ලැබීම.
04. චිත්ත පීඩාවන් ඇති නොවීම.
05. වටිනා මෙට්ට, පලස් ආදිය ලැබීම.
06. බොහෝ භෝග සම්පත් ලැබීම.
07. උසස් කුලවල ඉපදීම.
08. මානසික වේදනාවන්ට පත් නොවීම.
09. ලස්සන ප්‍රියමනාප ශරීරයක් ඇතුව ඉපදීම.
10. තමා නෑවීමට, කැවීමට, පෙවීමට, සුවඳ ගැල්වීමට බොහෝ පරිවාර සම්පත් ලැබීම.
11. අවසානයේදී නිර්වාණය ලැබීම සඳහා උපකාර වීම.
සසර සැප සම්පත් ලබන අදහසින් පුටුවක් පූජා කිරීමෙන් ආමිස දානමය පිනක් සිදුවෙයි. නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන පුටුවක් පූජා කිරීමෙන් ප්‍රතිපත්තිමය පිනක් ජීවිතයට එකතුවෙයි.
උපුටා ගැනීම ඒක පීඨදායිකා අපදාන