පොත් ලැයිස්තුව

දුතිය ඛත සූත්‍රය.

star_outline

අංගුත්තර නිකාය චතුත්ථ නිපාතය.

​මහණෙනි, හතර දෙනකු කෙරෙහි වරදවා කටයුතු කරන, අව්‍යක්ත වූ, අසත්පුරුෂ වූ, අඥානයා ගුණ හාරා දමන ලද, ගුණයෙන්. නැසුණු ජීවිතයක් පරිහරණය කරයි. නුවණැත්තන්ටද වැරදි සහගතව කටයුතු කරයි, නින්දා අපහාස කරයි, බොහෝ පාප ධර්මයන්ද රැස් කර ගනී. කවර හතර දෙනකු උදෙසාද යත්?

​"මාතරි, භික්ඛවේ, මිච්ඡා පටිපජ්ජමානෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජෝ ච හෝති සානුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති. පිතරි, භික්ඛවේ, මිච්ඡා පටිපජ්ජමානෝ ....(පෙ).... තථාගතේ, භික්ඛවේ, මිච්ඡා පටිපජ්ජමානෝ ....(පෙ).... තථාගතසාවකේ, භික්ඛවේ, මිච්ඡා පටිපජ්ජමානෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජෝ ච හෝති සානුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති."

​1.මහණෙනි, මව්තුමිය කෙරෙහි වරදවා කටයුතු කරන, අව්‍යක්ත වූ, අසත්පුරුෂ වූ, අඥානයා ගුණය සාරා දමන ලද, ගුණයෙන් නැසුණා වූ ජීවිතයක් පරිහරණය කරයි. නුවණැත්තන්ට වැරදි කරන කෙනෙක්ද වෙයි, නින්දා අපහාස කරන කෙනෙක්ද වෙයි, බොහෝ පාප ධර්මයන්ද රැස් කර ගනියි.

2.මහණෙනි, පියා කෙරෙහි වරදවා පිළිපදින...

3.තථාගතයන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපදින...

4.තථාගත ශ්‍රාවකයන් කෙරෙහි වරදවා පිළිපදින අව්‍යක්ත වූ, අසත්පුරුෂ වූ, අඥානයා ගුණය හාරා දමන ලද, ගුණයෙන් නැසුණු ජීවිතයක් ගත කරයි. නුවණැත්තන්ට වැරදි සහගතව කටයුතු කරයි, නින්දා අපහාස කරයි, බොහෝ පාප ධර්මයන්ද රැස් කර ගනියයි.

​ධර්මාර්ථ විස්තරය

​කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මිත්‍රවින්දක නමින් හඳුන්වන ධනවත් සිටු පුත්‍රයෙකු ජීවත් විය. ඔහුගේ මව්පියෝ සිල්වත්ය, ගුණවත්ය, සද්ධාවන්තය, බුදු සසුනෙහි පැහැදුණෝය. එහෙත් මිත්‍රවින්දක එසේ නොවේ. දිනක් මිත්‍රවින්දක විදෙස් ගත වීමට තීරණය කළේය. තමාට සිටින එකම දරුවා බැවින් මව එයට විරුද්ධ විය. මව විරුද්ධව සිටියදීම මිත්‍රවින්දක යාමට සූදානම් විය. එවිට මව අතින් අල්ලා "පුතණුවනි, නොයන්න, අපව තනි නොකරන්න" යැයි ප්‍රකාශ කළාය. මිත්‍රවින්දක මවගේ අත ගසා දමා, මවට පහර දී, මව තල්ලු කර දමා විදෙස් ගමන පිටත්ව ගියේය.

​මුහුද මැදදී ඔවුහු ගමන් ගත් නෞකාව ක්‍රියා විරහිත විය. නැවෙහි කිසිම දෝෂයක් දක්නට නොලැබුණේය. එම අවස්ථාවේදී නැවෙහි ප්‍රධාන නියමුවාණන් "කවුරු හෝ පව්කාරයකු නිසා නැව මුහුද මැද නැවතී ඇත" කියා සිතී ය. එසේ සිතා පව්කාරයා සොයා ගැනීම පිණිස කුසපත් අඳින ලදී. එම කුසපත් ඇදීමේදී මිත්‍රවින්දක පව්කාරයකු බවට තීරණය විය. මිත්‍රවින්දකට පහර දී මුහුදට දැමුවේය. ඉන්පසු නැව පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව සැලසුණි.

​මිත්‍රවින්දක මරණයට පත්වී විමාන ප්‍රේත ලෝකයක උපත ලැබීය. එහි ලස්සන ප්‍රේතයන් හතර දෙනකු සිටියි. එම හතර දෙනා සමඟ පවුල් ජීවිතයක් ගත කළ මිත්‍රවින්දක එම කාන්තාවන් හතර දෙනාගෙන් සෑහීමකට පත් නොවී තවත් ප්‍රේත විමානයකට ගමන් කළේය. එහි ප්‍රේතයන් අට දෙනකු සිටියි. එහිද පවුල් ජීවිතයක් ගත කළ මිත්‍රවින්දක එයින්ද සෑහීමකට පත් නොවී තවත් ප්‍රේත විමානයකට ගමන් කළේය. එහිදී ප්‍රේතයන් දොළොස් දෙනකු හමුවිය. ඔවුන් සමඟද විවාහ ජීවිතයක් ගත කළ ඔහුට මෙසේ පාප ධර්ම රැස් කරගෙන මරණින් මතු නිරයෙහි උපත ලැබීමට සිදු විය.

​දිනක් මහා බෝධිසත්වයන් වහන්සේ දේව ආත්මයක සිටින කාලයෙහි, නිරයෙහි සංචාරයට පැමිණි අවස්ථාවේදී මිත්‍රවින්දක බෝධිසත්වයන් සමඟ කතා කළේය. "ස්වාමීනී, මාගේ හිස මත ගිනි ගත් යකඩ වළල්ලක් නිරන්තරයෙන්ම කැරකෙයි. මා මහත් පීඩාවන් විඳිමි. එයට හේතුව කුමක්ද?"

​එවිට බෝසතාණන් වහන්සේ, "ඔබ විසින් පෙර ජීවිතයේදී මවට පහර දෙන ලදී, මව තල්ලු කර දමන ලදී. එහි දිට්ඨධම්මික විපාක විදිහට ඔබ විදෙස් ගත වන අවස්ථාවේදී මුහුද මැදදී නෞකාවේ සිටි ප්‍රධාන නියමුවා ඔබට පහර දී මුහුදට දමන ලදී. ඉන්පසු ප්‍රේත ලෝකයෙහි ඉපිද නැවතත් කාමයන්හි වරදවා හැසිරෙමින් බොහෝ පාප ධර්ම රැස්කොට මේ නිරයට පැමිණියේය. එම අකුසල කර්මය නිසා ඔබගේ උරහිස වටා කැරකෙන ගිනි සහිත වළල්ලක් වෙයි" යනුවෙන් දේශනා කළහ.

මවට විපත් කිරීමෙහි ඇති දරුණුකම මෙම ජාතක කතාව ඔස්සේ තේරුම් ගත යුතුය. මෙම ජාතක කතාව විස්තර සහිතව බලනු කැමැත්තෝ මිත්තවින්දක ජාතකය කියවත්වා.

මවට විපත් කිරීමෙහි දරුණු බව මිත්තවින්දක කතා පුවතින් තේරුම් ගත යුතුය.

​පියාට විපත් කරන ලද අය අතර අජාසත්ත රජතුමාගේ කතාව ඉතා ප්‍රසිද්ධය. බුදුරජාණන් වහන්සේට විපත් කළ අය අතර දේවදත්තයන් විඳි දුක ප්‍රචලිතය. ශ්‍රාවක සංඝයාට විපත් කර දුසී මාරයා විසින් විඳින ලද මහා දුක මාර තජ්ජනීය සූත්‍රය අනුව බලාගත යුතුය, විස්තර කරගත යුතුය.

“චතූසු, භික්ඛවේ, සම්මා පටිපජ්ජමානෝ පණ්ඩිතෝ වියත්තෝ සප්පුරිසෝ අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජෝ ච හෝති අනනුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති. කතමේසු චතූසු? මාතරි, භික්ඛවේ, සම්මා පටිපජ්ජමානෝ පණ්ඩිතෝ වියත්තෝ සප්පුරිසෝ අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජෝ ච හෝති අනනුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති. පිතරි, භික්ඛවේ, සම්මා පටිපජ්ජමානෝ ....(පෙ).... තථාගතේ, භික්ඛවේ, සම්මා පටිපජ්ජමානෝ ....(පෙ).... තථාගතසාවකේ, භික්ඛවේ, සම්මා පටිපජ්ජමානෝ පණ්ඩිතෝ වියත්තෝ සප්පුරිසෝ අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජෝ ච හෝති අනනුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති. ඉමේසු ඛෝ, භික්ඛවේ, චතූසු සම්මා පටිපජ්ජමානෝ පණ්ඩිතෝ වියත්තෝ සප්පුරිසෝ අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජෝ ච හෝති අනනුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවතී”ති.

සූත්‍රයේ දෙවන කොටස

​මහණෙනි, හතර දෙනකු කෙරෙහි මනාව කටයුතු කරන, ව්‍යක්ත වූ, සත්පුරුෂ වූ, පණ්ඩිතයා තමාගේ ගුණ සාරා නොගත්, තමාගේ ගුණ නසා නොගත් ජීවිතයක් පරිහරණය කරයි. නුවණැත්තන් කෙරෙහි වැරදි නොකරන කෙනෙක්ද වෙයි, නින්දා අපහාස නොකරන කෙනෙක්ද වෙයි, බොහෝ පුණ්‍ය ධර්මයන්ද රැස් කර ගනියි. කවර හතර දෙනෙක් උදෙසාද?

​1.මව කෙරෙහි මනාකොට පිළිපැදීම.

2.පියා කෙරෙහි මනාකොට පිළිපැදීම.

3.තථාගතයන් වහන්සේ කෙරෙහි මනාකොට පිළිපැදීම.

4.තථාගත ශ්‍රාවකයන් කෙරෙහි මනාකොට පිළිපැදීම.

​මෙම හතර දෙනා කෙරෙහි මනාකොට පිළිපදින්නා වූ, ව්‍යක්ත වූ, සත්පුරුෂ වූ, පණ්ඩිතයා තමාගේ ගුණ හාරා ගැනීමකට පත් කර නොගත්, ගුණ නසා නොගෙන ජීවිතය පරිහරණය කරයි. නුවණැත්තන් කෙරෙහි වැරදි ලෙස කටයුතු නොකරයි, නින්දා අපහාස නොකරයි, බොහෝ පුණ්‍ය ධර්මයන්ද රැස් කර ගනී.

“මාතරි පිතරි චාපි - යෝ මිච්ඡා පටිපජ්ජති

තථාගතේ ච සම්බුද්ධේ - අථ වා තස්ස සාවකේ

බහුඤ්ච සෝ පසවති - අපුඤ්ඤං තාදිසෝ නරෝ”

​යම් මිනිසෙකු මෑණියන් කෙරෙහිද, පියා කෙරෙහිද වරදවා කටයුතු කරන්නේ නම්, සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහිද වරදවා කටයුතු කරන්නේ නම්, එසේම තථාගත ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහිද වරදවා කටයුතු කරන්නේ නම්, එබඳු මිනිසා බොහෝ අකුසල ධර්මයන් රැස් කර ගනියි.

​“තාය අධම්මචරියාය - මාතාපිතූසු පණ්ඩිතා

ඉධේව නං ගරහන්ති - පෙච්චාපායඤ්ච ගච්ඡති”

​මව්පියන් කෙරෙහි කරන ලද අධර්ම චරියාව හේතු කරගෙන, මෙලොවදීම නුවණැත්තෝ ඔහුට ගර්හා කරති; මරණින් මතු අපායටද ගමන් කරයි.

​“මාතරි පිතරි චාපි - යෝ සම්මා පටිපජ්ජති

තථාගතේ සම්බුද්ධේ - අථ වා තස්ස සාවකේ

බහුඤ්ච සෝ පසවති - පුඤ්ඤම්පි තාදිසෝ නරෝ”

​යම් මිනිසෙක් මව කෙරෙහිද, පියා කෙරෙහිද, සම්යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහිද, එසේම තථාගත ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහිද මනාව පිළිපදින්නේ නම්, එබඳු වූ ඒ මිනිසා බොහෝ පින් රැස් කර ගනියි.

​“තාය ධම්මචරියාය - මාතාපිතූසු පණ්ඩිතා

ඉධ චේව නං පසංසන්ති - පෙච්ච සග්ගේ ච මෝදතීති”

​මව්පියන් ආදීන් කෙරෙහි සිදු කරන ඒ යහපත් ප්‍රතිපත්තිය හේතු කරගෙන පණ්ඩිතයෝ මෙලොවදීම ඔහුට ප්‍රශංසා කරති; මරණින් මතු ඒ ධර්මචරියාව හේතු කරගෙන ස්වර්ගයෙහි ඉපදී සතුටු වෙයි.