පොත් ලැයිස්තුව

දුතිය භික්ඛු සූත්‍රය

star_outline

ඉතිවුත්තක පාලිය - ඒකක නිපාතය

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.

​“ද්වීහි, භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භේදා පරං මරණා සුගති පාටිකංඛා. කතමේහි ද්වීහි? ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතාය ච භෝජනේ මත්තඤ්ඤුතාය ච. ඉමේහි ඛෝ, භික්ඛවේ, ද්වීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භේදා පරම්මරණා සුගති පාටිකංඛා”ති.

​මහණෙනි, කුසල ධර්ම දෙකකින් සමන්වාගත වූ භික්ෂුව ජීවිතයේදී කාය චිත්ත පීඩාවන්ගෙන් තොරව, කායික මානසික දැඩි වෙහෙසකර ස්වභාවයෙන් තොරව, කෙලෙස් දැවිලි වලින් තොරව වාසය කරයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුතුය. කවර කුසල ධර්ම දෙකකින් ද? ඉන්ද්‍රියන්හි වසන ලද දොරටු ඇති බව හෙවත් ඉන්ද්‍රිය සංවරය ද, භෝජනයෙහි පමණ දන්නා බව ද. මෙම කුසල ධර්ම දෙකෙන් සමන්වාගත වූ භික්ෂුව මේ ජීවිතයේදී ම සැප සේ වාසය කරයි. කාය චිත්ත පීඩා නැති වෙයි, කායික මානසික දැඩි වෙහෙස නැතුව, කෙලෙස් දැවිලි නැතුව වාසය කරයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුතු වෙයි.

අතිරේක විස්තරය

​ඉන්ද්‍රිය සංවරය

ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ඉන්ද්‍රිය යනුවෙන් හඳුන්වනු ලබයි. එම ඉන්ද්‍රිය ධර්මයන් සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවරයයි. මෙය 'ඉන්ද්‍රිය සංවර සීලය' කියාද හඳුන්වනු ලබයි.

​“කථඤ්ච භික්ඛවේ භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති: ඉධ භික්ඛවේ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති, නානුබ්‍යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමේනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති;”

​මහණෙනි, ඇස නම් වූ දොරටුව වසා ගන්නේ කෙසේද? මහණෙනි, මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුව ඇසින් රූප දැක නිමිති නොගනියි (නිමිති යනු කෙලෙස් හට ගැනීමට හේතුවන රූප සටහන්ය). අනු ව්‍යංජන නොගනී (අනු ව්‍යංජන යනු කාන්තාවකගේ නම් මූණ, පියයුරු, අත්, පා ආදී නොයෙක් ශරීර කොටස්ය; පුරුෂයෙකුගේ නම් දැලි රැවුල, ඇස් දෙකක්, පා ආදී කොටස්ය). ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරන විට, අධික ආශාව ද, දෝමනස්සය ද, ලාමක පාපක අකුසල ධර්මයෝ ද වැගිරෙයි නම්, එසේ නොවීම පිණිස ඇසෙහි සංවරය පිණිස පිළිපදිති. ඇස සංවර කර ගනී. චක්ඛු ඉන්ද්‍රිය රැක ගනියි.

​මේ ආකාරයට කන, නාසය, දිව, ශරීරය යන දොරටු සංවර කරගන්නා ක්‍රමය තේරුම් ගත යුතුය. කෙටියෙන් කිවහොත්, ඇසින් රූප දැක එම රූප කෙරෙහි ඇලීම ඇති කර නොගත යුතුය. එම රූප කෙරෙහි ගැටීම හෙවත් ව්‍යාපාදය ඇති කර නොගත යුතුය. එම රූප කෙරෙහි මුලාවට පත් නොවිය යුතුය. රාග, ද්වේෂ, මෝහ හට නොගන්නා ආකාරයට ඇස සංවර කර ගත යුතුය. මෙය ඉන්ද්‍රිය සංවරයයි.

​භෝජනයෙහි පමණ දන්නා බව

ආහාරපාන අනුභව කිරීමේදී පමණ දැන අනුභව කළ යුතුය. එසේම ප්‍රත්‍යවේක්ෂා කොට ආහාර අනුභව කළ යුතුය. එය ආහාරයෙහි පමණ දන්නා බවය.

​ආහාර ප්‍රත්‍යවේක්ෂාව

මා මේ ආහාරය අනුභව කරන්නේ ක්‍රීඩා පිණිස නොවේ. යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවන මදය ආදී මද වර්ධනය කර ගැනීම පිණිස නොවේ. ශරීරය සැරසීම පිණිස නොවේ. ශරීරය අලංකාර කිරීම පිණිස නොවේ. මේ ආහාරය අනුභව කරන්නේ මේ ශරීරය පවත්වා ගැනීම පිණිසය. සතර ඉරියව් පහසුවෙන් පැවැත්වීම හෙවත් යැපීම පිණිසය. කුසගිනි වේදනා දුරු කර ගැනීම පිණිසය. නිවන් මගට අනුග්‍රහ පිණිසය. මෙසේ නුවණින් සලකා ආහාර අනුභව කරන විට, පැරණි කුසගිනි වේදනා දුරු වන්නේය. අලුත් කුසගිනි වේදනා නූපදින්නේය. ජීවිත යාත්‍රාව පවත්වා ගැනීමට හැකි වන්නේය. නිවැරදි බව ද පහසු විහරණය ද සැලසෙන්නේය.

​මේ අනුභව කරන ආහාරය පිරිසිදු දෙයක් වන්නේය. අපිරිසිදු ශරීරය හා එකතු වී අතිශයින් පිළිකුල් වන්නේය. මේ ආහාරය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් හටගත්තේය. මෙය අනුභව කරන පුද්ගලයා ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු මාත්‍රයකි. සත්ත්වයකු නොවේ, පුද්ගලයෙකු නොවේ, ජීවයක් නොවේ. ආත්මයකින් හිස් වන්නේය.

​මෙසේ නුවණින් සිතා ආහාර පාන ගැනීම ඉතා වැදගත්ය. එවිට ආහාරපාන කෙරෙහි ඇති රස තෘෂ්ණාව දුරු වෙයි. කායික මානසික නීරෝගී භාවය ද ඇති වෙයි. සුවසේ වාසය කිරීමට අවස්ථාව ලැබෙයි.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ සේක. එහි එම අර්ථය ගාථාවලින් මෙසේද කියනු ලැබේ.

​“චක්ඛු සෝතඤ්ච ඝානඤ්ච, ජිව්හා කායෝ අථෝ මනෝ;

ඒතානි යස්ස ද්වාරානි, සුගුත්තානීධ භික්ඛුනෝ.”

​මේ ශාසනයෙහි භික්ෂුව, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන දොරටු මනාකොට වසන ලද්දේ ද.

​“භෝජනම්හි ච මත්තඤ්ඤූ, ඉන්ද්‍රියේසු ච සංවුතෝ;

කායසුඛං චේතෝසුඛං, සුඛං සෝ අධිගච්ඡති.”

​භෝජනයෙහි පමණ දන්නා වූ, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූ එම භික්ෂුව කායික සැපය ද මානසික සැපය ද යන දෙයාකාර සැපයට පැමිණෙයි.

​“අඩය්හමානේන කායේන, අඩය්හමානේන චේතසා;

දිවා වා යදි වා රත්තිං, සුඛං විහරති තාදිසෝ”ති.

​එබඳු භික්ෂුව කායික ගින්නෙන් නොදැවෙයි. චෛතසික ගින්නෙන් නොදැවෙයි. දිවා රාත්‍රී දෙකෙහි සැප සේ වාසය කරයි.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. මා විසින් අසන ලදී.