අංගුත්තර නිකාය පඤ්චක නිපාතෝ
පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ දුක්ඛං විහරති සවිඝාතං සවුපායාසං සපරිළාහං, කායස්ස ච භේදා පරම්මරණා දුග්ගති පාටිකංඛා. කතමේහි පඤ්චහි:
මහණෙනි, ධර්මතා පහකින් යුක්ත වූ භික්ෂුව මේ ආත්මයෙහිදීම දුක් සහිතවත්, උපායාස හෙවත් දැඩි දුකින් පීඩිතව, කෙලෙස් දැවිලි සහිතව දුකසේ වාසය කරයි. කය බිඳී මරණින් මතු දුගතිය කැමති විය යුතුයි. කවර ධර්ම පහකින්ද යත්:
ඉධ භික්ඛවේ භික්ඛු අස්සද්ධෝ හෝති, අහිරිකෝ හෝති, අනොත්තප්පී හෝති, කුසීතෝ හෝති, දුප්පඤ්ඤෝ හෝති.
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාව නැත්තෙක් වෙයි, පවට ලැජ්ජාව නැත්තෙක් වෙයි, පවට බය නැත්තෙක් වෙයි, කුසීත වෙයි, ප්‍රඥාව නැත්තෙක් වෙයි.
ඉමේහි ඛෝ භික්ඛවේ පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ දුක්ඛං විහරති සවිඝාතං සවුපායාසං සපරිළාහං, කායස්ස ච භේදා පරම්මරණා දුග්ගති පාටිකංඛා.
මහණෙනි, මේ ධර්ම පහෙන් යුක්ත වූ භික්ෂුව මේ ජීවිතයේදීම දුක් සහිතව, උපායාස සහිතව, කෙලෙස් දැවිලි සහිතව දුකසේ වාසය කරයි. කය බිඳී මරණින් මතු දුගතිය කැමති විය යුතුයි.
පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං, කායස්ස ච භේදා පරම්මරණා සුගති පාටිකංඛා. කතමේහි පඤ්චහි:
මහණෙනි, මේ ධර්මතා පහෙන් යුක්ත වූ භික්ෂුව මේ ජීවිතයේදීම දුක් නැතිව, උපායාස නැතිව, කෙලෙස් දැවිලි නැතිව සුවසේ වාසය කරයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුතුය. කවර ධර්ම පහකින්ද යත්:
ඉධ භික්ඛවේ භික්ඛු සද්ධෝ හෝති, හිරිමා හෝති, ඔත්තප්පී හෝති, ආරද්ධවිරියෝ හෝති, පඤ්ඤවා හෝති.
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවන්ත වෙයි, පවට ලැජ්ජාව ඇතිවෙයි, පවට බය ඇතිවෙයි, අරඹන ලද වීර්යය ඇතිවෙයි, ප්‍රඥාවන්ත වෙයි.
ඉමේහි ඛෝ භික්ඛවේ පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං, කායස්ස ච භේදා පරම්මරණා සුගති පාටිකංඛාති.
මහණෙනි, මේ පංච ධර්මයන්ගෙන් යුක්ත වූ භික්ෂුව දුක් නැතුව, උපායාස නැතිව, කෙලෙස් දැවිලි නැතිව සුවසේ වාසය කරයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුතුයි.
ධර්මාර්ථ විවරණය
මෙම දේශනාවේදී අසද්ධාව, අහිරිකය, අනොත්තප්පය, කුසීත බව, දුෂ්ප්‍රාඥ බව යන කරුණු මෙලොව කායිකව හා මානසිකව දුක් විඳීමටත්, මරණින් මතු දුගතිගාමී වීමටත් හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
බල වර්ගයේ සඳහන් වන යථාභත සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ, අසද්ධාව, අහිරිකය, අනොත්තප්පය, කුසීත බව, දුෂ්ප්‍රාඥ බව යන අකුසල ධර්මයන්ගෙන් යුක්ත තැනැත්තා ඔසවාගෙන ගිය බරක් බිමින් තැබුවා සේ පහසුවෙන් නිරයේ උපදින බව දේශනා කළහ.
යම්කිසි ශාසනික පැවිද්දෙකුට සද්ධා, හිරි, ඔතප්, වීර්ය, ප්‍රඥා යන ධර්ම පහ නොවේ නම්, ඔහුට ශික්ෂා ප්‍රතික්ෂේප කොට ගිහිබවට පත්වන්නට සිදු වන බවත්, මෙලොවදීම කරුණු සහිතව නින්දා අපහාස ලැබීමට එය හේතු වන බවත් දේශනා කළහ. (සික්ඛාපච්චක්ඛායන සූත්‍රය, සේඛ බල වර්ගය, අංගුත්තර නිකාය පංචක නිපාතය)
මෙම දේශනාවේ සඳහන් වන වචනවල අර්ථ:
- අස්සද්ධාව: බුද්ධාදී රත්නත්‍රය නොඇදහීම අස්සද්ධාවයි.
2. අහිරිකය: කයින්, වචනයෙන්, මනසින් පව් කිරීමට ලැජ්ජා නොවීම,පව පිළිකුල් නොකිරීම අහිරික නම් පාප ධර්මයයි.
3. අනොත්තප්පය: කයින්, වචනයෙන්, මනසින් පව් කිරීමට බිය නොවීම අනොත්තප්ප නම් පාප ධර්මයයි.
4. කුසීතබව: අකුසල ධර්ම ප්‍රහාණය කොට, කුසල ධර්ම උපදවා ගැනීම පිණිස වීර්යය ආරම්භ නොකිරීම හෙවත් වීර්යය නැති බව කුසීත බව නම් වූ පාප ධර්මයයි.
5. දුෂ්ප්‍රාඥ බව: මෝහයෙන් අන්ධ වී, කුසලය හා අකුසලය නොදැන, අවිද්‍යාවෙන් යුතුවම කල්ගත කිරීම දුෂ්ප්‍රාඥ බව නම් පාප ධර්මයයි..