සීලවිශුද්ධිය
තමාට නියමිත සීලය ආරක්ෂා කර ගැනීම සීලවිශුද්ධියයි. සීල විශුද්ධිය සම්පූර්ණ වීම සඳහා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රිය ධර්මයන්, අභිජ්ඣා සහ ව්‍යාපාද හට නොගන්නා ආකාරයට, හෙවත් රාග, ද්වේශ, මෝහ වර්ධනය නොවන ආකාරයට සංවර කර ගත යුතුය. එය ඉන්ද්‍රිය සංවර සීලයයි. එසේම සිව්පස පරිභෝගයේදී ප්‍රත්‍යවේක්ෂා කරමින් සිව්පසය පරිභෝග කරන ආකාරය පුරුදු පුහුණු විය යුතුය. එය ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලයයි. අධාර්මික රැකී රක්ෂා නොකරමින් ධාර්මික රැකියාවක් මගින් ජීවිතය පවත්වාගෙන යා යුතුය. එය ආජීව පාරිශුද්ධි සීලයයි. මෙම සීල විශුද්ධිය හෙවත් සීලය පිරිසිදු කර ගැනීම නිවන් මඟෙහි පදනම වන්නේය.
චිත්ත විශුද්ධිය
සිත බොහෝ කලක පටන් අපිරිසිදු වී පවතී. සිත අපිරිසිදු වී ඇත්තේ රාග, ද්වේශ, මෝහ යන ක්ලේශ ධර්මයන්ගෙන්ය. සිත අපිරිසිදු වීමෙන් සත්ත්වයෝ අපිරිසිදු වෙති. සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙති. (ගද්දූලබද්ධ සූත්‍රය, සංයුත්ත නිකාය)
අපිරිසිදු වූ සිත උපක්‍රමයකින් පිරිසිදු කළ යුතුය. සිත පිරිසිදු කිරීම ක්‍රම කීපයකට කරනු ලැබේ. පංච නීවරණ ධර්මයන් යටපත් කර ගැනීම එහි පළමු පියවරයි. චිත්ත විශුද්ධියෙන් අදහස් කරන්නේ පංචනීවරණ ධර්මයන් සංසිඳුවාගෙන සිත පිරිසිදු කර ගැනීමයි. ඒ සඳහා සමථ භාවනාවක් පුරුදු පුහුණු කළ යුතුය. සමථ භාවනාවක් පුරුදු පුහුණු කරන විට, සිත තුළ පවතින පංචනීවරණ ධර්මයන් යටපත් වී සිත පිරිසිදු වෙයි. එය චිත්ත විශුද්ධියයි. මියන්මාර් ආදී රටවල්වල වෙසෙන භාවනා උපදේශක ආචාර්යවරු, චිත්ත විශුද්ධිය සඳහා බුද්ධානුස්සති භාවනාව පුරුදු කරනු ලැබේ. සෑම බෞද්ධයෙකු විසින්ම පුරුදු පුහුණු කළ යුතු භාවනා ක්‍රමයක් වන බැවින්, එය මෙහි කෙටියෙන් දක්වනු ලැබේ.
බුද්ධානුස්සතිය
බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකිරීම, නැවත නැවත සිහිකිරීම බුද්ධානුස්සති භාවනාවයි. තමන්ගේ සිත තුළ ශ්‍රද්ධාව උපදවන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සමීපයට ගොස්, තෙරුවන් වැඳපුදා, තෙරුවන්ට ජීවිතය පරිත්‍යාග කරමින්, ජීවමාන බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිටින්නෙමි යන සංඥාව ඇති කරගෙන බුදුගුණ මෙනෙහි කිරීම සිදුකරන්න. එබඳු ස්ථානයක් සොයා ගත නොහැකි තැනැත්තා විසින් පළමු වන දවසේ එබඳු ස්ථානයකට ගොස් භාවනා කිරීම සුදුසුය. ඉන්පසුව තමා සිටින ස්ථානයකදී භාවනාව දිගට කරගෙන යා හැකිය.
සෝ භගවා අරහං: ඒ භාග්‍යවතුන් වහන්සේ රාගාදී සියලු කෙලෙසුන් නැසූ බැවින්ද, සංසාර චක්‍රයෙහි අවිද්‍යා, තණ්හා ආදී කෙලෙස් අර සිඳ දැමූ බැවින්ද, රහසින්වත් පව් නොකළ බැවින්ද 'අරහං' වන සේක. මෙම අරහං ගුණය බොහෝ වාර සිහි කරමින් සිත ඒ තුළ පිහිටුවාගෙන වාසය කිරීමට පුරුදු පුහුණු වන්න. භාවනා කරන කාලය තුළදී එක දිගට විනාඩි පහළොවක්, විස්සක්, තිහක් හෝ ඊට වැඩි කාලයක් වාඩිවී භාවනා කරන්න. එම කාලය තුළදී වරින් වර ඉරියව් වෙනස් කිරීමෙන් වළකින්න. එය සමාධිය ඇති කරගැනීමට ප්‍රබල බාධාවකි. ඉවසා ගත නොහැකිම අවස්ථාවකදී ඉරියව් වෙනස් කිරීමේ වරදක් නැත. මෙය කලක් හොඳින් පුරුදු පුහුණු කොට, දෙවන බුදුගුණයද මෙනෙහි කිරීම ආරම්භ කළ යුතුය.
සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ: ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය විශිෂ්ට ඥානයෙන් දැන වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක. දුක්ඛ ආර්ය සත්‍යය පිරිසිඳ දැන වදාළ බැවින්ද, සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කොට වදාළ බැවින්ද, නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කොට වදාළ බැවින්ද, මාර්ග ආර්ය සත්‍යය වඩා නිම කළ බැවින්ද සම්මා සම්බුද්ධ වන සේක. සංඛාර, විකාර, ලක්ඛණ, ප්‍රඥප්ති, නිබ්බාන යන පංචවිධ නෙය්‍ය මණ්ඩලය ගුරු උපදේශ නොමැතිව අවබෝධ කොට වදාළ බැවින්ද සම්මා සම්බුද්ධ වන සේක.
මේ ආකාරයෙන් පළමු බුදු ගුණයද, දෙවන බුදු ගුණයද, දෙකම නැවත නැවත සිහි කරමින් බුද්ධානුස්සතිය පුරුදු පුහුණු කරන්න.
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ: ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගත වන බැවින් 'විජ්ජාචරණ සම්පන්නෝ' වන සේක.
සෝ භගවා ඉතිපි සුගතෝ: ඒ භාග්‍යවතුන් වහන්සේ සුන්දර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට සුන්දර වූ නිවනට පැමිණ වදාළ බැවින්ද, සුන්දර මිහිරි වචනයෙන් සද්ධර්මය දේශනා කළ බැවින්ද 'සුගතෝ' වන සේක.
සෝ භගවා ඉතිපි ලෝකවිදූ: ඒ භාග්‍යවතුන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකය චතුරාර්ය සත්‍ය වශයෙන් දැන වදාළ බැවින්ද 'ලෝකවිදූ' වනසේක. සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය දැන වදාළ බැවින්ද ලෝකවිදූ වන සේක.
සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්ම සාරථි: ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු වූ දිව්‍ය, මනුස්ස, බ්‍රහ්ම, යක්ෂ, රාක්ෂ, සිද්ධ, විද්‍යාධර පුරුෂයන් උත්තරීතර ක්‍රමයෙන් දමනය කොට වදාළ බැවින්ද 'අනුත්තරෝ පුරිසදම්ම සාරථි' වන සේක.
සෝ භගවා ඉතිපි සත්ථා දේව මනුස්සානං: ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව යහපත පිණිස අවවාද අනුශාසනා කළ බැවින්ද, පරලොව සුගතිය පිණිස අවවාද අනුශාසනා කළ බැවින්ද, නිර්වාණ පරමාර්ථය පිණිස අවවාද අනුශාසනා කළ බැවින්ද 'සත්ථා දේව මනුස්සානං' වන සේක.
සෝ භගවා ඉතිපි බුද්ධෝ: ඒ භාග්‍යවතුන් වහන්සේ දුක්ඛ සත්‍යය අවබෝධ කොට අන් අයට අවබෝධ කර වූ බැවින්ද, සමුදය සත්‍යය අවබෝධ කොට අන් අයට අවබෝධ කර වූ බැවින්ද, නිරෝධ සත්‍යය අවබෝධ කොට අන් අයට අවබෝධ කර වූ බැවින්ද, මාර්ග සත්‍යය අවබෝධ කොට අන් අයට අවබෝධ කර වූ බැවින්ද 'බුද්ධ' වන සේක.
සෝ භගවා ඉතිපි භගවා: ඒ භාග්‍යවතුන් වහන්සේ රාගය බිඳ දැමූ බැවින්ද, ද්වේෂය බිඳ දැමූ බැවින්ද, මෝහය බිඳ දැමූ බැවින්ද, ලාමක පාපක අකුසල ධර්මයන් බිඳ දැමූ බැවින්ද, නිකෙලෙස් වූ බැවින්ද 'භගවා' වන සේක.
මෙසේ නව අරහාදී බුදු ගුණ පාඩම් කරගෙන, පෙර සඳහන් කරන ලද පරිදි නැවත නැවත සිතමින් බුද්ධානුස්සති භාවනාව පුරුදු පුහුණු කළ යුතුය. එවිට සිත තුළ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වී චිත්ත සමාධියක් ඇති කරගත හැකිය. එය චිත්ත විශුද්ධියයි.
දිට්ඨි විසුද්ධිය
මෙහිදී දිට්ඨි විසුද්ධිය ඇතිකර ගන්නා ආකාරයට භාවනා කිරීම පිළිබඳව භාවනා උපදේශ ලබා දෙන්නේ නැත. ඒවා අති පූජනීය රේණුකානේ චන්දවිමල මහා නා හිමියන් විසින් රචිත ග්‍රන්ථයන්ගෙන් හෝ විශුද්ධි මාර්ගයෙන් හෝ බලා ඉගෙන ගත යුතුය.
නාම රූප ධර්මයන්ගේ ඇති සැටි දැකීම හෙවත් යථාර්ථය දැකීම දිට්ඨි විසුද්ධියයි. නාම රූප ධර්මයන්ගේ යථාර්ථය දැකීමෙන් දෙසැට මිථ්‍යා දෘෂ්ටියෙන් සිත මිදෙන බැවින්, එය දිට්ඨි විසුද්ධිය යනුවෙන් හඳුන්වනු ලැබේ.
අෂ්ට සමාපත්තිය උපදවා ගන්නා ලද යෝගීහු, නේවසඤ්ඤානාසඤ්ඤායතනය හැරුණු කොට වෙනත් ධ්‍යානයකට සමවැදී එයින් නැගිට, ධ්‍යාන අංග විදර්ශනා වඩමින් දිට්ඨි විසුද්ධිය සම්පාදනය ආරම්භ කරන්නේය.
අෂ්ට සමාපත්ති උපදවාගෙන නැති, මුල සිටම විදර්ශනාව පමණක් වඩන ශුද්ධ විදර්ශකයා විසින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගේ යථා ස්වභාවය හෙවත් ධාතු ස්වභාවය මෙනෙහි කරමින් දිට්ඨි විසුද්ධිය ආරම්භ කළ යුතුය.
කේසාදී පඨවි ධාතු කොටස් විස්ස ද, පිත සෙම ආදී ආපෝ ධාතු කොටස් දොළස ද, තේජෝ ධාතු කොටස් හතර ද, වායෝ ධාතු කොටස් හය ද නුවණින් විමසා බලා ඒවා ධාතු මාත්‍රයක්ම බව අවබෝධ කරගත යුතුය. ඉන්පසුව ආකාස ධාතුවද නුවණින් විමසා බලා, ඒ ඒ ධාතු ස්වභාවයද අවබෝධ කරගත යුතුය. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරම විඤ්ඤාණ ධාතුව සේ ගෙන එය නාම මාත්‍ර පමණක් බව අවබෝධ කරගත යුතුය. මේ ආකාරයෙන් සත්වයා යනු නාම රූප සමූහයක් පමණක් වන බවත්, මෙහි සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොමැති බවත් වටහාගත යුතුය. මෙම අවබෝධය දිට්ඨි විසුද්ධියයි.
කංඛාවිතරණ විසුද්ධිය
නාම රූප ධර්මයන් හට ගැනීමට හේතු නුවණින් විමසා බලා අවබෝධ කර ගැනීම තුළින් අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලය හා සම්බන්ධ සැක සංකා දුරු වී යයි. නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය නුවණින් විමසා බැලීම කංඛාවිතරණ විසුද්ධියයි.
මෙම විසුද්ධිය සම්පාදනය කරනු කැමති යෝගාවචරයා විසින්, දක්ෂ වෛද්‍යවරයෙකු රෝගියෙකු දැක මේ රෝගයෙහි නිදානය සොයන්නා සේම, නාම රූප ධර්මයන්ට නිධානය හෙවත් හේතු ප්‍රත්‍ය නුවණින් විමසා බැලිය යුතුය. මාවතේ වැටී සිටින කුඩා දරුවෙකු දැක, මේ දරුවාගේ පියතුමා කවරෙක්ද, මොහු කාගේ පුතාද යනුවෙන් මවුපියන් සොයන්නා සේ, නාමරූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය නුවණින් සෙවිය යුතුය.
ඔහු ප්‍රථමයෙන්ම මෙසේ නුවණින් විමසා බලයි: නාම රූප සියලු තැන්වල, සියලු කාලවල සියල්ලන්ටම සමානව නොපවතී. එම නිසා අහේතුක නොවේ. නාම රූප දෙක ඊශ්වර ආදී මැවුම්කාරයෙකු විසින් මවන ලද දෙයක් ද නොවෙයි. නාම රූප ධර්ම හැර මැවුම්කාරයෙක් දක්නට නොලැබේ. එම නිසා නාමරූප ධර්මයන්ට හේතු ප්‍රත්‍ය තිබිය යුතුය. එම හේතු ප්‍රත්‍ය මොනවාදැයි ඔහු නුවණින් විමසා බලයි.
රූපයට හේතුව
රූපය හෙවත් මේ ශරීරය හටගත්තේ නෙළුම් මලක් මත නොව, රන් පියුමක් මත නොව, සුදු හඳුන් අරටුවක් මත නොව, මැණික් ආකරයක නොවේ. මෙම ශරීරය මව්කුස තුළ හටගත්තේය. කුණු වූ මස් කැබැල්ලක, කුණු වූ ආහාර කොටසක පණුවෙකු උපදින්නාක් මෙන්, කුණු වළක, අසූචි වලක පණුවෙකු උපදින්නාක් මෙන් මේ කය මව්කුසෙහි ඉපදුණේය.
එසේ ඉපදීමට අවිද්‍යාව, තණ්හාව, උපාදානය, කර්මයක් යන මේවා උපදවන හේතු බවට පත්විය. ආහාරය උපස්තම්භක විය හෙවත් උපකාර කළේය, උපස්ථාන කළේය. මෙම පංච ධර්මයන් නිසා රූප කය හටගත්තේය. මේ ආකාරයෙන් රූප කයට හේතු සොයා ඉන්පසු නාම කය පිළිබඳව නුවණින් විමසා බලයි.
ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී. කනත් ශබ්දයත් නිසා සෝත විඤ්ඤාණය හටගනී. නාසයත් ගන්ධයත් නිසා ඝාන විඤ්ඤාණය හටගනී. දිවත් රසයත් නිසා ජිව්හා විඤ්ඤාණය හටගනී. කයත් පහසත් නිසා කාය විඤ්ඤාණය හටගනී. මනසත් සිතුවිලිත් නිසා මනෝ විඤ්ඤාණය හටගනී. (සලායතන වර්ගය, සංයුත්ත නිකාය)
මේ ආකාරයෙන් නාමරූපයන්ගේ හේතූන් නුවණින් විමසා බලයි. අතීතයේද මේ ආකාරයෙන්ම හේතු ප්‍රත්‍ය ඇතුව නාමරූප හට ගත්තේය. වර්තමානයෙහිද එසේමය. අනාගතයේද මේ ආකාරයෙන්ම නාම රූප හටගන්නේය. මෙසේ නාම රූප පිළිබඳව අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයට සහසම්බන්ධ කරමින් බලන විට, ත්‍රිවිධ කාලය පිළිබඳ සැකය දුරුවේ. අතීත කාලයෙහි මම සිටියෙම්ද, නොසිටියෙම්ද, කවරෙක්ව සිටියෙම්ද, කෙබන්දෙක්ව සිටියෙම්ද, කවරෙක්ව සිට කවරෙක් වූයෙම්දැයි පස් ආකාරයකින් කියන ලද විචිකිච්ඡාව දුරුවෙයි. අනාගත කාලයෙහි මම වන්නෙම්ද, නොවන්නෙම්ද, කවරෙක් වන්නෙම්ද, කෙබන්දෙක් වන්නෙම්ද, කවරෙක්වත් කවරෙක් වන්නෙම්ද යන පස් ආකාරයේ විචිකිච්ඡාවද දුරු වෙයි. වර්තමානයෙහි මම වෙම්ද, නොවෙම්ද, කවරෙක් වෙම්ද, කෙසේ වෙම්ද, මේ සත්ත්වයා කොහේ සිට ආයේද, නැවත කොහේ යන්නේද, මෙසේ දොළොස් වැදෑරුම් වූ විචිකිච්ඡාව දුරුවේ. මෙය කංඛාවිතරණ විසුද්ධියයි.
මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය
විදර්ශනා භාවනා වඩන යෝගීන්ට ආලෝකය, ප්‍රීතිය, පස්සද්ධිය ආදී විදර්ශනා උපක්ලේශ දහය අතරින් එකක් ඇතිවිය හැකිය; කීපයක් හෝ ඇති විය හැකිය. එම උපක්ලේශයන් නිවැරදි මාර්ගය කියා රැවටීම අමාර්ගයයි. ඒවා ආර්ය මාර්ගය නොවන බවත්, නිවැරදි ආර්ය මාර්ගය කුමක්ද යන්නත් තේරුම් ගැනීම 'මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය'යි.
මෙය උපදවා ගනු කැමති යෝගාවචරයා විසින් අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ළඟ යන එකොළොස් ආකාරයෙන් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසා බැලිය යුතුය.
එසේම, "ජාතිය නිසා ජරා මරණ හට ගනී, ජාතිය නැති කල්හි ජරා මරණ නැත" ආදී ක්‍රමයෙන් පටිච්චසමුප්පාදයද නුවණින් විමසා බැලිය යුතුය.
ආධ්‍යාත්ම ආයතන හය, බාහිර ආයතන හය, විඤ්ඤාණ හය, ස්පර්ශ හය, වේදනා හය, සංඥා හය, සංස්කාර හය, තණ්හා හය, විතර්ක හය, විචාර හය, ධාතු හය, දෙතිස් කොටස්, ආයතන දොළහ, ධාතු දහඅට, ඉන්ද්‍රිය ධර්ම විසිදෙක, කාම ආදී ධාතු තුන, භව නවය, ධ්‍යාන හතර, අප්පමඤ්ඤා හතර, සතර සමාපත්ති, පටිච්චසමුප්පාදයේ අංග යන මේවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසා බැලිය යුතුය. මෙසේ බලන කල්හි නිවැරදිව මඟ නොමඟ අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබේ. සංක්ෂිප්තව පමණක් මෙහිදී හඳුන්වා ඇති අතර, විස්තර අර්ථ විසුද්ධි මාර්ගයෙන්ද, ගුරු ඇසුරෙන්ද ඉගෙන ගත යුතුය.
පටිපදා ඥානදස්සන විශුද්ධිය
විදර්ශනා ඥාන නවයකි. එම විදර්ශනා ඥාන ක්‍රමානුකූලව දියුණු කර ගැනීම පටිපදා ඥානදස්සන විශුද්ධියයි. විදර්ශනා ඥානයන්ගේ ඇති අවසාන ඥානය වන ගෝත්‍රභූ ඥානය, ලෞකික ප්‍රතිපදාවත් ලෝකෝත්තර ප්‍රතිපදාවත් දෙක වෙන්කරන ස්ථානයයි. එම ඥානයෙන් පසුව ලැබෙන්නා වූ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් යන මාර්ග ඥාන හතර ඥානදස්සන විශුද්ධිය යනුවෙන් හඳුන්වනු ලබයි.
භාග්‍යවතුන් වහන්සේ ධම්මානුධම්ම පටිපන්න සූත්‍රයේ අවසානයේදී මේ ගාථා වදාළ සේක:
ධම්මාරාමෝ ධම්මරතෝ
ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛූ
සද්ධම්මා න පරිහායති
ධර්මය ආරාම කොට ඇති හෙවත් නිරතුරුවම සමථ විදර්ශනා වඩමින් වාසය කරන, ධර්මයෙහි ඇලුන, නැවත නැවත ධර්මය සිතන, ධර්මය සිහි කරන භික්ෂුව සද්ධර්මයෙන් පිරිහීමට පත් නොවෙයි. මෙහි සද්ධර්මය යනුවෙන් දක්වා ඇත්තේ බෝධි පාක්ෂික ධර්මයෝය.
චරංවා යදිවා තිට්ඨං
නිසින්නෝ උදවා සයං
අජ්ඣත්තං සමයං චිත්තං
සන්තිමේවාධිගච්ඡති
ඇවිදින විටද, සිටගෙන සිටින විටද, ඉඳගෙන සිටින විටද, නිදාගෙන සිටින විටද, ආධ්‍යාත්මයෙහි හෙවත් කෙලෙස් සංසිඳුවීමෙහි යෙදී සිටින භික්ෂුව නිර්වාණය ලබයි.