පොත් ලැයිස්තුව

දහම් ගුණ

star_outline

ස්වාක්ඛාතෝ ගුණය

​තථාගතයන් වහන්සේ විසින් වසර හත්ලිස් පහක් පුරා දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය 'පරියාප්ති ධර්මය' නමින් හඳුන්වනු ලැබේ. කියවිය යුතු, ධාරණය කර ගත යුතු, වචනයෙන් පුරුදු කළ යුතු, සිතින් විමසා බැලිය යුතු, ධර්මය සහ කරුණු වෙන් වෙන්ව වටහාගත යුතු බැවින් එම දහම පරියාප්ති ධර්මය නමින් හඳුන්වනු ලැබේ. ස්වාක්ඛාත ගුණය පරියාප්ති ධර්මය තුළ ද, මාර්ග, ඵල, නිවන යන ලෝකෝත්තර ධර්මයන් තුළ ද පවතී.

​තථාගතයන් වහන්සේ විසින් වදාළ සෑම බුද්ධ දේශනාවක්ම:

​මුල හෙවත් ආරම්භය යහපත් වන බැවින් ආදි කල්‍යාණය වේ.

​මැද යහපත් වන බැවින් මධ්‍ය කල්‍යාණය වේ.

​අග යහපත් වන බැවින් පරියෝසාන කල්‍යාණය වේ.

​මෙසේ මුල, මැද, අග යහපත් වන බැවින්ම ධර්මය ස්වාක්ඛාතය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයෙන් මුල යහපත් වන බැවින් ද, සමාධියෙන් මැද යහපත් වන බැවින් ද, ප්‍රඥාවෙන් අග යහපත් වන බැවින් ද ස්වාක්ඛාතය.

​සාත්ථං: මාර්ග, ඵල, නිවන වැනි ගැඹුරු අර්ථයක් ප්‍රකාශ වන බැවින් 'සාත්ථං' නම් වෙයි; හෙවත් අර්ථ සහිතය.

​සබ්‍යංජනං: ව්‍යංජන යනු පේළි හඳුන්වන නමකි. තථාගතයන් වහන්සේ පරිපූර්ණ වූ වාක්‍ය යොදාගෙන ධර්ම දේශනා කර ඇත. එම වාක්‍ය සරලය. සරල වාක්‍ය මඟින් ගැඹුරු ධර්මය දේශනා කොට වදාළ බැවින් ව්‍යංජන සහිතය; හෙවත් සබ්‍යංජනය.

​කේවල පරිපුණ්ණං: අඩු යැයි කියා දෙයක් එකතු කිරීමට නැති බැවින් ද, ඌණ යැයි කියා දෙයක් නැති බැවින් ද ධර්මය පරිපූර්ණය.

​පරිශුද්ධං: තථාගත ධර්මයෙහි වැඩි යැයි කියා ඉවත දැමිය යුතු දෙයක් නැති බැවින් පාරිශුද්ධය, පිරිසිදුය, නිර්මලය.

​බ්‍රහ්මචරියං පකාසේති: තථාගත ධර්මය තුළින් සීලය නම් වූ ශාසන බ්‍රහ්මචරියාවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මාර්ග බ්‍රහ්මචරියාවත් දේශනා කොට ඇත. එබැවින් 'බ්‍රහ්මචරියං පකාසේති' යනුවෙන් හඳුන්වනු ලබයි.

​මෙසේ මුල, මැද, අග යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, සර්ව සම්පූර්ණ වූ, පිරිසිදු වූ නිවන් මඟ ප්‍රකාශ වන බැවින් උතුම් ශ්‍රී සද්ධර්මය 'ස්වාක්ඛාත' නම් වේ.

අනු මාතෘකා