පොත් ලැයිස්තුව

දාන සංවිභාග සූත්‍රය

star_outline

ඉතිවුත්තක පාලිය - ඒකක නිපාතය

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.

​“ඒවඤ්චේ, භික්ඛවේ, සත්තා ජානෙය්‍යුං දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, න අදත්වා භුඤ්ජෙය්‍යුං. න ච නේසං මච්ඡේරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය. යෝ’පි නේසං අස්ස චරිමෝ ආලෝපෝ චරිමං කබළං, තතෝ’පි න අසංවිභජිත්වා භුඤ්ජෙය්‍යුං සචේ නේසං පටිග්ගාහකා අස්සු. යස්මා ච ඛෝ, භික්ඛවේ, සත්තා න ඒවං ජානන්ති දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, තස්මා අදත්වා භුඤ්ජන්ති, මච්ඡේරමලඤ්ච නේසං චිත්තං පරියාදාය තිට්ඨතී”ති.

​මහණෙනි, බෙදා දී වැළඳීමේ ආනිසංස මම යම් සේ දන්නවා ද, ඒ ආකාරයටම සෙසු අයත් දන්නේ නම්, (වෙන කෙනෙකුට) නොදී අනුභව නොකරති. මසුරුකම නැමති මළකඩ ඔවුන්ගේ සිත යට කරගෙන නොසිටින්නේ ය. ඔවුන්ගේ යම් අවසාන බත් පිඩක් වේ නම්, එය ලබා දීමට කෙනෙකුත් සිටී නම්, ඒ බත් පිඩෙන් කොටසක් හෝ බෙදා නොදී අනුභව නොකරන්නෝ ය. මහණෙනි, බෙදා දී අනුභව කිරීමෙහි ආනිසංස මා දන්නා සේ සෙසු මිනිසුන් නො දනිති. එබැවින් බෙදා දී අනුභව නොකරති. මසුරුකම නැමති මළකඩ ද ඔවුන්ගේ සිත හාත්පසින්ම යට කරගෙන සිටියි.

අතිරේක විස්තරය

​බුදුරජාණන් වහන්සේ දන් දීමෙහි ආනිසංස පිළිබඳව පරිපූර්ණ වශයෙන්ම දනිති. උන්වහන්සේ තරම් එහි ආනිසංස දන්නා වෙනත් කෙනෙක් ලෝකයෙහි නැත. උන්වහන්සේ සියල්ල දන්නා සේක, සියල්ල දකිනා සේක, සියලු ධර්මයන් අවබෝධ කළ සේක. උන්වහන්සේ තරම් දාන සංවිභාගයෙහි හෙවත් තමාට ඇති දෙය අන් අයට බෙදා දී අනුභව කිරීමෙහි ආනිසංස දන්නේ නම්, මිනිසකුට හෝ සතෙකුට හෝ දන් නොදී ආහාර අනුභව නොකරති. දානය යනු ආහාරපාන, ඇඳුම්, නිවාස, ගෘහ උපකරණ, බෙහෙත් හේත් ආදී යම්කිසි දෙයක් රැස් කරගෙන, ඒ දෙය කෙරෙහි ඇති තණ්හාව අතහැර දමා, තව කෙනෙකුට අනුග්‍රහ පිණිස හෝ පූජා බුද්ධියෙන් හෝ ලබා දීමයි. ලබා දෙන අවස්ථාවේදී ඇතිවන පරිත්‍යාග චේතනාවම දානය වන බව දත යුතුය. දාන වස්තූන් හැඳින්වීමට ද 'දානය' යන වචනය යොදති. තමාගේ පරිභෝගය සඳහා වෙන්කරගෙන ඇති වස්තූන්ගෙන් කොටසක් හෝ දන් දී පරිභෝග කිරීම ඉතා උතුම් ගුණයකි. එම ගුණය 'සංවිභාග' යනුවෙන් හඳුන්වයි. ආහාර අනුභව කිරීමට පෙර, එම ආහාරවලින් කොටසක් මිනිසෙකුට හෝ සතෙකුට හෝ පූජා කිරීමට හැකියාව තිබේ නම් දන් දී තමා අනුභව කිරීම කළ යුතුය. එය උදාර වූ ගුණයකි. දාන සංවිභාග ගුණය යනු ද එයයි.

​දන් දීමේ ආනිසංස

​“තත්‍රානන්ද, තිරච්ඡානගතේ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා. පුථුජ්ජනදුස්සීලේ දානං දත්වා සහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා. පුථුජ්ජනසීලවන්තේ දානං දත්වා සතසහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා. බාහිරකේ කාමේසු වීතරාගේ දානං දත්වා කෝටිසතසහස්සගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා.”

​ආනන්දය, තිරිසන් ගත සතෙකුට දන් දී ආනිසංස සියයක් කැමති විය යුතුය. පෘථග්ජන දුස්සීලයකුට එක් දානයක් දී ආනිසංස දහසක් කැමති විය යුතුය. පෘථග්ජන සීලවන්ත කෙනෙකුට දන් දී ආනිසංස ලක්ෂයක් කැමති විය යුතුය. මේ බුදු සසුනෙන් බාහිරව කාමයෙහි වීතරාගී වූ ධ්‍යානලාභී කෙනෙකුට එක් දානයක් දී ආනිසංස කෝටි ලක්ෂයක් කැමති විය යුතුය (දක්ඛිණ විභංග සූත්‍රය, මජ්ඣිම නිකාය).

​මජ්ඣිම නිකායේ දක්ඛිණ විභංග සූත්‍රයෙහි දක්වා ඇති පරිදි තිරිසන් ගත සතෙකුට ආහාර දන් දීමෙන් සිය වතාවක් සුගතියෙහි ඉපදීමට තරම් උදාර කුසලයක් ලැබෙයි. එසේ උපදින සෑම ජීවිතයකදීම ආයුෂය ද, ශරීර වර්ණය ද, නීරෝගී සැපය ද, කායික බලය ද, ප්‍රඥාව ද ලැබෙයි. බුදු සසුනෙන් බාහිර දුස්සීලයෙකුට එක් ආහාර වේලක් දීමෙන් ආත්ම දහසක් සුගතියෙහි ඉපදිය හැකිය. ඒ උපදින සෑම ආත්මයකදීම පෙර සඳහන් කළ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබෙන්නේය. බුදු සසුනෙන් බාහිර සීලවන්ත කෙනෙකුට එක් ආහාර වේලක් දන් දීමෙන් ආත්ම ලක්ෂයක් සුගතියේ ඉපදිය හැකිය. උපදින හැම ජීවිතයකදීම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබෙන්නේය. බුදු සසුනෙන් බාහිර කාමයෙහි වීතරාගී වූ ධ්‍යානලාභී උතුමෙකුට එක් ආහාර වේලක් දන් දීමෙන් ආත්ම කෝටි සිය දහසක් සුගතියෙහි උපත ලබන්නේය. ඒ හැම ආත්මයකදීම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ද ලැබෙන්නේය. මේ බුදු සසුනේ ආර්ය ශ්‍රාවකයකුට දන් දීමෙන් ලැබෙන විපාක සංඛ්‍යා වශයෙන් හෝ ප්‍රමාණ වශයෙන් දැක්විය නොහැකිය. මෙසේ දානයෙහි ආනිසංස දන්නේ නම් තමාට අනුභව කිරීමට ඇති අවසාන බත් පිඬු තිබෙන මොහොතේදී එය ලබා දීමට කෙනෙකු සිටී නම්, එයින් කොටසක් හෝ ඔහුට ලබා නොදී අනුභව කරන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මෙම දේශනාවේදී වදාළ සේක. එහෙත් ලෝකයේ සිටින බොහෝ දෙනෙකු දන් දීමෙහි ආනිසංස මුළු සිතින්ම අදහන්නේ හෝ පිළිගන්නේ නැත. එබැවින් ඔවුන් දන් නොදී අනුභව කරන අවස්ථා බහුලය. දන් දී අනුභව කරන අවස්ථා කලාතුරකිනි. එම නිසාම ඔවුන්ගේ සිත මසුරුකම නැමති මළකඩින් අපිරිසිදු වී ඇත. මසුරුකම යනු තමා සතු වස්තුව අන් කෙනෙකුට දීමට ඇති අකමැත්තය.

ඒවං චේ සත්තා ජානෙය්‍යුං, යථාවුත්තං මහේසිනා;

විපාකං සංවිභාගස්ස, යථා හෝති මහප්ඵලං.”

​අන් අය සමඟ බෙදා වැළඳීමෙහි ආනිසංස, මහත් පල දෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අනුව යම්කිසි කෙනෙක් දන්නේ නම්.

​“විනෙය්‍ය මච්ඡේරමලං, විප්පසන්නේන චේතසා;

දජ්ජුං කාලේන අරියේසු, යත්ථ දින්නං මහප්ඵලං.”

​මසුරු මළකඩ දුරු කරන්නේය. යම් තැනකට දෙන ලද දානය මහත්ඵල වේ ද, එබඳු වූ ආර්යන්ට සුදුසු කාලයෙහි ප්‍රසන්න වූ සිතින් දන් දෙන්නේය.

​“අන්නඤ්ච දත්වා බහුනෝ, දක්ඛිණෙය්‍යේසු දක්ඛිණං;

ඉතෝ චුතා මනුස්සත්තා, සග්ගං ගච්ඡන්ති දායකා.”

​දානය පිළිගැනීමට සුදුසු වූ යහපත් පිළිවෙතෙහි යෙදෙන පිරිසට පරලොව සැප පතා දන් දී, බොහෝ දායකයෝ මිනිසත් ආත්මභාවයෙන් චුතව ස්වර්ගයට යති.

​“තේ ච සග්ග ගතා තත්ථ, මෝදන්ති කාමකාමිනෝ;

විපාකං සංවිභාගස්ස, අනුභොන්ති අමච්ඡරා”ති.

​ඒ දායකයෝ ස්වර්ගයට ගොස් එහි සියලු කාම සම්පත්වලින් යුක්තව සතුටු වෙති. නොමසුරු වූ ඔවුහු බෙදා අනුභව කිරීමෙහි විපාකය අනුභව කරති.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.

අතිරේක විස්තරය

​මෙම සූත්‍ර දේශනාවේ ගාථාවලදී මසුරුකම දුරු කොට දන් දිය යුතුය යනුවෙන් ප්‍රකාශ කරන ලදී. තමා සතු වස්තුවක් වෙන කෙනෙකුට ලබා දීමට ඇති අකමැත්ත මසුරුකමයි. එය ලෝභය නොවේ; ද්වේෂයට අයත් වන අකුසලයකි. එම මසුරුකම දුරු කොට කර්මය සහ කර්මඵලය කෙරෙහි ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය උපදවාගෙන, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ද උපදවාගෙන, විශේෂයෙන් ප්‍රසන්න වූ සිතින් දන් දිය යුතුය. ගාථාවලදී 'දක්ඛිණෙය්‍ය' යන වචනය සඳහන්ව තිබුණි.

​“මහත්ඵල භාව කරණතෝ දක්ඛිණං අරහතී ති දක්ඛිණෙය්‍ය” (ඉතිවුත්තක පාලි අට්ඨකථා).

මහත්ඵල බවට පත් කරමින්, දක්ෂිණාව ලැබීමට සුදුසු වන බැවින් 'දක්ඛිණෙය්‍ය' නම් වෙයි. සීලාදී ගුණ සම්පන්න උතුමෝම දානාදිය ලැබීමට සුදුසුය. සීලාදී ගුණ සම්පන්න අය විෂයෙහි පූජා කරන ලද දානය මහත්ඵල වෙයි, මහානිසංස වෙයි.

​“පරලෝකං සද්දහන්තේන දාතබ්බං දෙයියධම්මං යථා තං දානං හෝති මහා දානං” (ඉතිවුත්තක පාලි අට්ඨකථා).

පරලොව අදහාගෙන දිය යුතු දාන වස්තුව දන් දෙන්නේ නම්, එම දානය මහා දානයක් වන බවයි අටුවාවේ දක්වා තිබේ. මෙසේ ශ්‍රද්ධාවෙන් යුතුව දන් දෙන සත්පුරුෂයෝ කය බිඳී, මරණින් මතු දෙව්ලොව උපත ලබති. එහිදී බොහෝ කාම සම්පත් අනුභව කරති. කාම සම්පත් ලෙස ඔවුන් අනුභව කරන්නේ තමා විසින් සිදු කරන ලද දානමය පිනෙහි විපාකයයි