සුත්ත නිපාතය
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ චුන්ද කම්මාරපුත්‍රයාගේ නිවෙසට වැඩම කළහ. එකල ශික්ෂාපද පනවා නොතිබුණු කාලයකි. එබැවින් චුන්ද කම්මාරපුත්‍රයා ව්‍යංජන ආදී සමහර දාන වස්තූන් රන් භාජනවල තැන්පත් කර තබන ලදී.
බුදුරජාණන් වහන්සේ කළුගල් පාත්‍රයෙන්ම දානය පිළිගත් සේක. සමහර භික්ෂූන් රත්තරන් බඳුන්වලද දානය පිළිගත්හ. පාත්‍රයට අමතරව නොයෙක් පළතුරු, කැවිලි ආදිය මෙසේ රන් බඳුන්වල පිළිගත් බව සඳහන් කළ යුතුය.
දානය වළඳා අවසානයේදී එක භික්ෂුවක් එක රන් භාජනයක් යතුරු දමන මල්ලෙහි සඟවා ගත්තේය. චුන්ද කම්මාරපුත්‍රයා දානය අවසානයේ බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට වන්දනා කරන විට එම භික්ෂුව දුටුවේය. එම භික්ෂුව රන් බඳුනක් සඟවා ගත් බවද දුටුවේය. එහෙත් තථාගතයන් වහන්සේටත් තථාගත ශ්‍රාවකයින්ටත් අගෞරවයක් වන්නේ යැයි සිතා ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැත.
සවස් කාලයේදී බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ ආදරයෙන්, ගෞරවයෙන් වන්දනා කොට එකත්පසෙක සිටියේය. ඉන්පසු චුන්ද, බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්නයක් විමසයි.
චුන්ද බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසයි.
(ඉති චුන්දෝ කම්මාරපුත්තෝ)
පුච්ඡාමි මුනිං පහූතපඤ්ඤං
බුද්ධං ධම්මස්සාමිං වීතතණ්හං;
දිපදුත්තමං සාරථීනං පවරං,
කති ලෝකේ සමණා තදිංඝ බ්‍රෑහි
බොහෝ ප්‍රඥා ඇති, බුද්ධ වූ, ධර්මස්වාමී වූ, තණ්හාව දුරු කළාවූ, දෙපා ඇති අය අතර ශ්‍රේෂ්ඨ වූ, පුරිසදම්මසාරථී වූ, ප්‍රසිද්ධ වූ මුනිවරයාණන්ගෙන් විමසමි. මේ ලෝකයෙහි ශ්‍රමණයෝ කී දෙනෙක් සිටිතිද?
මුනි යනු මුනිවරයාය. කයින් පව් නොකිරීම, වචනයෙන් පව් නොකිරීම, සිතින් පව් නොකිරීම යන අර්ථයෙන් මුනිවරයා යැයි කියනු ලැබේ. බුද්ධ යනු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට අන් අයට අවබෝධ කරවූ නිසා තථාගතයන් වහන්සේ හඳුන්වන ගුණ නාමයකි. ධම්මස්සාමී යනු ධර්මයෙහි හිමිකරුවා, අයිතිකරුවා යන අර්ථය ඇති වචනයකි. එයද බුදුරජන් වහන්සේ හඳුන්වන ගුණ නාමයකි. වීතතණ්හා යනු තණ්හාව දුරු කරන ලද තැනැත්තාය. දිපදුත්තමං - දෙපා ඇති අය අතර ශ්‍රේෂ්ඨ වූ, අග්‍ර වූ තැනැත්තා හඳුන්වන වචනයකි; එයද බුදුරජන් වහන්සේ වෙනුවෙන් භාවිතා කරන ගෞරවනීය නාමයකි. සාරථී යනු රථාචාර්යයාය. අශ්වයන් දමනය කරන කෙනෙක් අශ්වයෙකුට එක් දිසාවකට ගමන් කරවයි; ඒ ආකාරයෙන් තථාගතයන් වහන්සේද තමන් වහන්සේ සමීපයට එන ශ්‍රාවකයෝ නිවන දිසාවට ගමන් කරවති. එබැවින් සාරථි නම් වෙති. පුරුෂයන් දමනය කරන අය අතර උතුම්ම වන බැවින් පුරිසදම්මසාරථී නම් වෙයි.
බුදුරජාණන් වහන්සේ
(චුන්දාති භගවා)
චතුරෝ සමණා න පඤ්චමත්ථි,
තේ තේ ආවිකරෝමි සක්ඛිපුට්ඨෝ;
මග්ගජිනෝ මග්ගදේසකෝ ච,
මග්ගේ ජීවති යෝ ච මග්ගදූසී
ශ්‍රමණයෝ හතර දෙනෙක් සිටියි. පස්වැන්නෙකු නැත. විමසන ලද ඔබට, ඔවුන් ප්‍රකට කර කියන්නෙමි. මග්ගජින, මග්ගදේසක, මග්ගේජීවී, මග්ගදූසක, ඒ ශ්‍රමණයෝ හතර දෙනාය.
ශ්‍රමණයෝ හතර දෙනෙක් සිටිති. පස් දෙනෙකු නොමැත. ඔවුන් හතර දෙනා පිළිවෙළින් මෙසේය: මාර්ගය දිනන ලද තැනැත්තා, මාර්ගය දේශනා කරන ශ්‍රමණයා, මාර්ගයෙහි ජීවත් වන ශ්‍රමණයා, මාර්ගය දූසනය කරන ශ්‍රමණයා. මෙම ශ්‍රමණයන් පිළිබඳව ගාථාවලින් පසුව විස්තර කරනු ලබයි.
චුන්ද බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසයි.
(ඉති චුන්දෝ කම්මාරපුත්තෝ)
කං මග්ගජිනං වදන්ති බුද්ධා,
මග්ගක්ඛායී කථං අතුල්ය්‍යෝ හෝති;
මග්ගේ ජීවති මේ බ්‍රෑහි පුට්ඨෝ,
අථ මේ ආවිකරෝහි මග්ගදූසිං
බුදුරජාණන් වහන්සේලා කවරෙකුට මග්ගජින යයි කියනු ලබත්ද? කෙසේ මාර්ගය දේශනා කරන ශ්‍රමණයා අතුල්‍ය වේද? මාර්ගයෙහි වාසය කරන ශ්‍රමණයා විමසන ලද මට දේශනා කරනු මැනවි. ඉන්පසුව මාර්ගය දූෂණය කරන ශ්‍රමණයා ප්‍රකට කොට දක්වනු මැනවි.
ධර්මාර්ථ විස්තරය.
ආර්ය මාර්ගයෙන් සියලු කෙලෙස් දිනන ලද තැනැත්තා මාර්ගජින නමින් හඳුන්වනු ලබයි. සේක පුද්ගලයන් හත් දෙනාම මාර්ගය අවසන් කොට නොමැති බැවින්ද, ලෝකෝත්තර මාර්ගයෙහි සිටින බැවින්ද මග්ගජීවී යන නමින් හඳුන්වයි. සීලවන්ත වූ පෘථග්ජන භික්ෂුවද ලෞකික මාර්ගයෙහි ජීවත් වෙයි. එබැවින් සීලවන්ත පෘථග්ජන භික්ෂූන් වහන්සේලාද ලෝකෝත්තර මාර්ගය අරමුණු කරගෙන ජීවත්වන බැවින් මග්ගේජීවී යනුවෙන් හඳුන්වනු ලබයි. මාර්ගදූෂික යනු දුස්සීල වූ, මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ තැනැත්තාය. ඔහු නිවැරදි වූ ආර්ය මාර්ගය දූෂණය කරන කෙනෙකි. ඉහත සඳහන් කරන ලද ගාථාවෙන් මෙම ශ්‍රමණයින් හතර දෙනා කවරෙක්දැයි වෙන වෙනම පැහැදිලි කරන ලෙස, චුන්ද කම්මාරපුත්‍රයා ඉල්ලා සිටියි. නැවතත් සූත්‍රය වෙතට යොමු වෙමු.
නැවතත් සූත්‍රය වෙතට
යෝ තිණ්ණකථංකථෝ විසල්ලෝ,
නිබ්බානාභිරතෝ අනානුගිද්ධෝ;
ලෝකස්ස සදේවකස්ස නේතා,
තාදිං මග්ගජිනං වදන්ති බුද්ධා
යම් කෙනෙකු "මෙය කෙසේද? මෙය කෙසේද?" යන සැක දුරුකර සිටීද, උදුරා දමන ලද කෙලෙස් උල් ඇත්තේ නිවනෙහි ඇලුනේද, කිසිදෙයකට ගිජු නොවන්නේද, දෙවියන් සහිත ලෝකයාට නායක වේද, අටලෝ දහමින් කම්පා නොවන තාදිගුණ ඇති තැනැත්තා බුදුරජාණන් වහන්සේලා මග්ගජින යයි දේශනා කරති.
ධර්මාර්ථ විස්තරය
මෙය කෙසේද, මෙය කෙසේද යනුවෙන් විමසන ස්වභාවය කථංකථන නම් වෙයි. අතීතයේ මම සිටියෙමිද? නොසිටියෙමිද? කොහේ සිටියෙමිද? කෙසේ සිටියෙමිද? කවරෙක්ව සිටියෙමිද? මේ ආදී වශයෙන් අතීත ජීවිත පිළිබඳවද, අනාගතයෙහි මම උපදින්නෙමිද? නූපදින්නෙමිද? කොහේ උපදින්නේද? කවරෙක්ව උපදින්නේද? කෙසේ උපදින්නේද? යනුවෙන් අනාගත ජීවිත පිළිබඳවද, වර්තමානයේ සිටින මම උපතට පෙර සිටියේ කොහේද? මරණින් මතු යන්නේ කොහේද? ආදී වශයෙන් ත්‍රිවිධ කාලය පිළිබඳව ඇතිවන්නා වූ සැකය කථංකථෝ යනුවෙන් හඳුන්වනු ලබයි. විස්තර මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙන් දතයුතුය.
විසල්ලෝ යනු උදුරා දමන ලද කෙලෙස් උල් ඇති යන අර්ථය ඇති වචනයකි. උල් නමින් හඳුන්වන කෙලෙස් පහක් තිබේ. එනම් රාග, දෝස, මෝහ, මාන, දිට්ඨි යන මේවාය. කෙලෙස් උල් උදුරා දමන ලද බැවින් වීතසල්ල යනුවෙන් හඳුන්වයි. පංච නීවරණ හැඳින්වීමටද කෙලෙස් උල් යන වචනය භාවිතා කරයි. විස්තර සුත්ත නිපාතයේ උරග සූත්‍ර අටුවාවෙන් දතයුතුය.
නිබ්බානාභිරතෝ යනු ඵල සමාපත්ති වශයෙන් නිවනෙහි ඇලුණු තැනැත්තාය. අනනුගිද්ධෝ යනු කිසිම ධර්මයක හෙවත් කිසිම දෙයක තණ්හාවෙන් නොගිලුනු තැනැත්තාය. කිසිවක් කෙරෙහි තණ්හාව නැති තැනැත්තා මින් අදහස් කරයි. තාදිං යනු අටලෝ දහමින් කම්පා නොවන තැනැත්තාය. මෙම සෑම වචනයකින්ම රහතන් වහන්සේ හඳුන්වනු ලබයි. මාර්ගය දිනන ලද තැනැත්තා යනු මාර්ගයෙන් කෙලෙස් දිනන ලද තැනැත්තාමය; රහතන් වහන්සේමය.
සදේවකස්ස ලෝකස්ස නේතා..දෙවියන් සහිත ලෝකයාට නායකවූ මෙම හැඳින්වීම බුදුරජාණන් වහන්සේට පමණක්ම යෙදිය හැකි විශේෂණයකි. එබැවින් මීට පෙර සඳහන් කරන ලද වචනවලින් රහතන් වහන්සේ ගැන සඳහන් වුණත් මෙම පාඨය අනුව මග්ගජින යනු බුදුරජාණන් වහන්සේම බව පැහැදිලිව තේරුම් ගත යුතුය.
නැවතත් සූත්‍රය වෙතට
පරමං පරමන්ති යෝධ ඤත්වා,
අක්ඛාති විභජති ඉධේව ධම්මං;
තං කංඛච්ඡිදං මුනිං අනේජං,
දුතියං භික්ඛුනමාහු මග්ගදේසිං
මේ ලෝකයෙහි යමෙක් පරම වූ නිවන උතුම් නිවනයයි දැනගෙන, මේ ලෝකයෙහි ධර්මය දේශනා කරයිද, ධර්මය බෙදා විස්තර කරයිද, සැක දුරුකරන, මුනීන්ද්‍ර වූ, තණ්හාව නැති, ඒ රහතන් වහන්සේ මග්ගදේසී දෙවන ශ්‍රමණයා යැයි කීහ.
ධර්මාර්ථ විස්තරය
පරමං පරමන්ති... මෙහි පරම යනු නිර්වාණයයි. සියලු ධර්මයන්ට අග්‍ර වූ, උත්තම වූ නිසා නිවන පරම යැයි කියනු ලැබෙයි. පරම වූ නිර්වාණයත්, පරම වූ නිර්වාණ මඟත් යැයි ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් දැනගෙන, යන අදහස එම වාක්‍යයෙහි තිබේ.
අක්ඛාති විභජති ඉධේව ධම්මං... නිර්වාණ ධර්මයද, මාර්ග ධර්මයද දේශනා කරයි. තමන් විසින් අවබෝධ කරගන්නා ලද ධර්මය අන් අයට ප්‍රකට කරයි. "මේ සතර සතිපට්ඨානයයි, මේ ප්‍රධාන වීර්යයයි, මේ සතර ඉද්ධිපාදයයි, මේ පංච ඉන්ද්‍රිය ධර්ම හා පංච බල ධර්මයි, මේ සප්ත බොජ්ජංග ධර්මයි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, මේ මාර්ගයයි." මේ ආකාරයට බෝධිපාක්ෂික ධර්ම ආදී නිවන් මඟ පැහැදිලි කර දෙමින් ධර්ම දේශනා කරති. එම තැනැත්තා මග්ගදේශක නම් වෙයි. මග්ගදේශක යනු සාමාන්‍ය දේශකයන් වහන්සේලා නොවෙයි; කෙලෙසුන් නසා ධර්මය දේශනා කරන රහතන් වහන්සේලාමය.
තං කංඛච්ඡිද මුනි... යනු සැක දුරු කරන ලද මුනිවරයාය යන තේරුම ඇති වචනයකි.
මාර්ග දේශක ශ්‍රමණයා චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට ඇති බැවින් තමාගේ සැක දුරු කරගත් කෙනෙකි. ධර්ම දේශනා මාර්ගයෙන් අන් අයටද බුද්ධාදී අට තැන්හි සැකය දුරු කර ගැනීමටත්, නොතේරෙන නොවැටහෙන ධර්ම කාරණාවන් පිළිබඳ පැහැදිලි කරදීමටත් කටයුතු කරන කෙනෙකි.
අනේජං... යනු තණ්හාව නැති කෙනෙකි. මේ ආකාරයෙන් තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ මෙම ගාථාවෙන් මාර්ගය දේශනා කරන රහතන් වහන්සේ පිළිබඳව, හෙවත් ඛීණාශ්‍රව ශ්‍රමණයා පිළිබඳව දේශනා කළ සේක.
නැවතත් සූත්‍රය වෙතට
යෝ ධම්මපදේ සුදේසිතේ,
මග්ගේ ජීවති ඤත්වා සතීමා;
අනවජ්ජපදානි සේවමානෝ,
තතියං භික්ඛුනමාහු මග්ගජීවිං
යම් කෙනෙක් මනාව දේශනා කරන ලද නිර්වාණ ධර්ම පදය වූ මාර්ගයෙහි සීලයෙන් සංවරව, සිහියෙන් යුතුව ජීවත්වේද, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ නිවැරදි මාවත ඇසුරු කරන්නේද, එම භික්ෂුව තුන්වන මාර්ගජීවී ශ්‍රමණයා යැයි කීහ.
ධර්මාර්ථ විස්තරය
මෙම ගාථාවෙහි ධම්මපදය යනු නිර්වාණයයි. සුදේසිතේ... යනු අන්ත දෙකට නොපැමිණ දේශනා කරන ලද සතිපට්ඨාන ආදී නොයෙක් ප්‍රභේද ඇති ධර්ම දේශනාය. මග්ගජීවී යනු මාර්ගයෙන් යුක්ත වූ තැනැත්තාය, මාර්ගයෙහි ගමන් කිරීම අවසන් නොකරන ලද තැනැත්තාය. සංයතෝ... යනු සීල සංවරයෙන් සංවර වූ තැනැත්තාය. සතිමා... යනු කායානුපස්සනා ආදී සතිපට්ඨානයෙහි මනාව පිහිටින සිත් ඇති ස්වභාවයයි. පෙර කරන ලද දෙය, පෙර කියන ලද දෙය සිහිකිරීමේ සිහියද සතිමා යනුවෙන් හඳුන්වයි.
අනවජ්ජපදානි... යනු ස්වල්ප වරදක්වත් නැති බැවින්, නිවැරදි වූ බෝධිපාක්ෂික ධර්මසංඛ්‍යාත ධර්මයයි. මෙම ගාථාවේදී සේක භික්ෂුවද, සීලවන්ත පෘථග්ජන ශ්‍රමණයාද දක්වන ලදී. ඉන් අනතුරුව දුස්සීල වූ කාසාවකණ්ඨක ශ්‍රමණයා දැක්වීම පිණිස ඊළඟ ගාථාව දේශනා කළ සේක.
නැවතත් සූත්‍රය වෙතට
ඡදනං කත්වාන සුබ්බතානං,
පක්ඛන්දි කුලදූසකෝ පගබ්භෝ;
මායාවී අසඤ්ඤතෝ පලාපෝ,
පතිරූපේන චරං සඤ්ඤා මග්ගදූසී
බුද්ධාදී උතුමන්ගේ පිළිරුවක වෙස් ගෙන, පිරිස් මැදට පනින ස්වභාවයෙන් යුතු, කුල දූසනය කරන, කාය වචී මනෝ ප්‍රගල්භ ඇති, නැති ගුණ හඟවන මායාව ඇති, සීල සංවරයෙන් සංවර නොවූ, හිස් වචන කතා කරන, පිළිරුවක් සේ හැසිරෙන, ඔහු මාර්ගය දූසනය කරන්නාය.
ධර්මාර්ථ විස්තරය
ඡදනං... පිළිරුවක් බඳු තැනැත්තා. සිල්වත් කෙනෙකු සේ වේශයක් මවාගෙන සිටින තැනැත්තා මින් අදහස් කරයි. ඔහුට පැවිදි බව කියා තිබෙන්නේ පැවිදි වේශය හෙවත් සිවුර දරාගෙන සිටීම පමණකි. සීල ගුණය නොමැත.
සුබ්බතානං... බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා යන උතුමන්ගේ සුන්දර වූ වස්ත්‍රය පොරවාගෙන සිටින තැනැත්තා යන අර්ථය මෙහි ඇත.
පක්ඛන්දි... යනු පනින ස්වභාවයයි. භික්ෂූන් අතරට ප්‍රවේශ වීම යන අර්ථය ඇති වචනයකි. දුස්සීල තැනැත්තා අසූචි ආදිය වසා දමන තණකොළ ටිකක්, මැටි ටිකක්, වැලි ටිකක් වැනිය. තමාගේ දුස්සීල බව වසා ගැනීම පිණිස බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට අයිති, සිල්වත් ගුණවත් භික්ෂූන්ට අයිති සිවුර පොරවාගෙන සිටිති. සිවුර දරාගෙන භික්ෂූන් වහන්සේලා සමීපයට ගොස් "මමත් භික්ෂුවකි" යනුවෙන් ප්‍රකාශ කරමින් භික්ෂූන් මැදට ප්‍රවේශ වෙති. මෙසේ දුස්සීලව සිටිමින් භික්ෂූන් අතරට යන තැනැත්තා පනින ස්වභාවයෙන් යුතු තැනැත්තා යැයි කියනු ලැබේ.
කුලදූසකෝ... සැදැහැති සත්පුරුෂයන්ගේ සිත් තුළ පවතින සද්ධාව නැතිකර දැමීම කුලදූසනයයි. සාසනය කෙරෙහි ඇති ගෞරවය නැති කර දැමීම කුලදූසනයයි. සිල්වත් ගුණවත් භික්ෂූන් කෙරෙහි ඇති ගෞරවය නැති කර දැමීම කුලදූසනයයි.
පගබ්භෝ... කාය, වචී, මනෝ ප්‍රගල්භ ඇති බව; හෙවත් නොගැලපෙන ආකාරයෙන්, අගෞරව සිදුවන ආකාරයෙන් කයින්, වචනයෙන් හැසිරීමද සිතින් සිතීමද ප්‍රගල්භ නමින් හඳුන්වයි.
මායාවී... නැති ගුණ ඇතැයි හැඟවීම.
අසඤ්ඤතෝ... සීල සංවරයෙන් සංවර නොවීම.
පලාපෝ... සීලාදියෙන් අපිරිසිදු වුවත්, සීලාදියෙන් පිරිසිදු කෙනෙකු ලෙස පෙනී සිටින ස්වභාවය.
නැවතත් සූත්‍රය වෙතට
ඒතේ ච පටිවිජ්ඣි යෝ ගහට්ඨෝ,
සුතවා අරියසාවකෝ සපඤ්ඤෝ;
සබ්බේ තේ තාදිසාති ඤත්වා,
ඉති දිස්වා න හාපේති තස්ස සද්ධා.
කථං හි දුට්ඨේන අසම්පදුට්ඨං,
සුද්ධං අසුද්ධේන සමං කරෙය්‍යාති.
යම් ගෘහස්ථයෙක් සුතවත් වූ, ආර්ය ශ්‍රාවක වූ, ප්‍රඥාවෙන් යුක්තව මෙම ශ්‍රමණයන් නුවණින් විමසා හඳුනාගෙන, මොවුන් සියලු දෙනා මෙසේමය යනුවෙන් දැන, මෙසේ දැක සද්ධාව නැති කර නොගන්නේය. කෙසේ නම් දුෂ්ට පුද්ගලයෙකුට දුෂ්ට නොමැති පුද්ගලයෙකුද, අශුද්ධ වූ පුද්ගලයෙකුට ශුද්ධ වූ පුද්ගලයෙකුද සම කරන්නේද?