පොත් ලැයිස්තුව

චේතෝඛීල සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය - දසක නිපාතය

​"යස්ස කස්සචි භික්ඛවේ භික්ඛුස්ස වා භික්ඛුනියා වා පඤ්ච චේතෝඛිලා අප්පහීනා පඤ්ච චේතසෝ විනිබන්ධා අසමුච්ඡින්නා, තස්ස යා රත්ති වා දිවසෝ වා ආගච්ඡති හානියේව පාටිකංඛා කුසලේසු ධම්මේසු නෝ වුද්ධි."

​මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ සිතෙහි පවතින කසළ හෙවත් පංච චේතෝඛීල ප්‍රහහීණ නොවී පවතීද, සිතෙහි පවතින බන්ධන පහ නොසිඳී පවතීද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවසක් හෝ පැමිණෙන්නේ නම් කුසල ධර්මයන්හි හානියක්ම කැමති විය යුතුය; දියුණුවක් (වැඩීමක්) නොවේ.

"කතමස්ස පඤ්චචේතෝඛිලා අප්පහීනා හොන්ති:"

​"ඉධ භික්ඛවේ භික්ඛු සත්ථරි කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, යෝ සෝ භික්ඛවේ භික්ඛු සත්ථරි කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය ඒවමස්සායං පඨමෝ චේතෝඛිලෝ අප්පහීනෝ හෝති."

​සිංහල පරිවර්තනය:

​ඔහුගේ සිතෙහි පවතින කවර කසළ පහක් ප්‍රහීණ නොවී පවතිත්ද යත්: (චේතෝඛීල යනු, සිතේ කසළ/කිළිටිය. ගසක් කැපූ විට පොළවේ ඉතිරි වෙන කොටස ඛිල යනුවෙන් හඳුන්වයි, කණුවක් කැඳින්වීමට ද මේ නම භාවිතාකරයි. )

​මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරයි; විචිකිච්ඡා කරයි; (නිගමනයකට) අධිමුක්ත නොවෙයි; නොපැහැදෙයි. මහණෙනි, යම් භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරයිද, විචිකිච්ඡා කරයිද, අධිමුක්ත නොවෙයිද, නොපැහැදෙයිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර නිතර යෙදීම පිණිස, පධාන වීර්යය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර නිතර යෙදීම පිණිස, පධාන වීර්යය පිණිස නොනැමෙයිද, මෙසේ මෙය ඔහුගේ පළමුවන චේතෝඛීලය (සිතේ පවතින කසළ) අප්‍රහීණ වූයේ වෙයි.

ධර්මාර්ථ විවරණය

​චේතෝඛීල සූත්‍රය තුළ මුලින්ම සිතෙහි පවතින කසළ හෙවත් කිළිටි ස්වභාවයන්'; තද ස්වභාව පහක් පිළිබඳව දක්වයි. ඉන් පළමුවැන්න ශාස්තෘන් වහන්සේ පිළිබඳව සැක කිරීමයි. තථාගතයන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණේද, නොතිබුණේද යනුවෙන් උන්වහන්සේගේ රූපකාය පිළිබඳව සැක කරයි. තථාගතයන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලය දකිනා නුවණකින් යුක්ත වෙත්ද, නොවේද යනුවෙන් උන්වහන්සේගේ ඥාන සම්පත්තිය පිළිබඳව සැක කරයි. අරහන් ආදී නව මහා ගුණ උන්වහන්සේ සතුව තිබේද, නොතිබේද යනුවෙන්ද ගුණය පිළිබඳව සැක කරයි. විචිකිච්ඡා කරයි; ගුණ පිළිබඳ නිගමනයකට පත් නොවෙයි; පැහැදීමකට පත් නොවෙයි. එබඳු තැනැත්තාගේ සිත:

​1. න ආතප්පාය:

කෙලෙස් තවන වීර්යය පිණිස යොමු නොවේ. ආතප යනු ගින්නට නමකි. ගින්නෙන් තමාට ලැබෙන දෙය දවා අළුකර විනාශ කරයි. වීර්යය හැඳින්වීම සඳහාද "ආතාපී" යන නම යොදා ඇත. වීර්යය විසින් කෙලෙස් නැමැති කුණු ගොඩවල් පුච්චා පුච්චා විනාශ කර අළුකර දමයි. එබැවින් වීර්යය ආතාපී යනුවෙන් හඳුන්වයි. බුද්ධ රත්නය කෙරෙහි සැක කරන්නා වූ තැනැත්තා කෙලෙස් තවන වීර්යය පිණිස සිත යොමු කරන්නේ නැත. එය ඔහුට කළ නොහැකිය.

​2. අනුයෝගාය:

යනු නැවත නැවත යෙදීමයි (අංගුත්තර නිකාය අට්ඨකථා - පංචක නිපාත). නැවත නැවත වීර්යය කිරීම අනුයෝග යන නමින් හඳුන්වනු ලබයි. බුද්ධ රත්නය කෙරෙහි සැකය පවතින විට, ඔහුගේ සිත නැවත නැවත වීර්යය කිරීම සඳහා යොමු වන්නේ නැත.

​3. සාතච්චාය:

යනු සතත කිරියාය, නිතර නිතර යෙදීමයි. සතත අභ්‍යාසය යන වචනයෙන්ද මෙය අදහස් කරයි. ගුණදහම් පුරන තැනැත්තා නිතර නිතර එම ගුණධර්මයන්හි යෙදිය යුතුය. සාතච්ච කිරියා යන නමින්ද එය හඳුන්වනු ලබයි. බුද්ධ රත්නය කෙරෙහි සැකය ඇති තැනැත්තාගේ සිත අභ්‍යාසය පිණිස නොනැමෙයි. නිතර නිතර මාර්ගයෙහි ගමන් කිරීමට ඔහුට හැකියාව නොලැබේ.

​4. පධානාය:

යනු පදන් වීර්යය කිරීමයි. ධර්මාවබෝධය පහසුවෙන් ලබාගත හැකි දෙයක් නොවෙයි. අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස ස්ථිර වූ, දැඩි වූ, පරාක්‍රම වූ, අතරමග අත්නොහරින්නා වූ වීර්යයක් ඇති කෙනෙක් විසින්ම කළ යුතු දෙයකි. එම දැඩි වීර්යය පධාන වීර්යය යන නමින් හඳුන්වනු ලබයි. එම වීර්යය ඇති තැනැත්තාම නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවයි, උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කරති, නූපන්නා වූ කුසල ධර්මයන් උපදවති, උපන්නාවූ කුසල ධර්මයන් තව තව වැඩිදියුණු කර ගනිති. බුද්ධ රත්නය කෙරෙහි සැකය ඇති තැනැත්තා සිතෙහි පවතින එම තද ගතිය හා කසළ ස්වභාවය නිසාම පදන් වීර්යය කිරීම පිණිස ඔහුගේ සිත යොමු නොවේ.

චේතෝඛිල සූත්‍රයේ ඊළඟ කොටස. .

පුන ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේ කංඛති ....(පෙ).... සංඝේ කංඛති ....(පෙ).... සික්ඛාය කංඛති ....(පෙ).... සබ්‍රහ්මචාරීසු කුපිතෝ හෝති අනත්තමනෝ ආහතචිත්තෝ ඛිලජාතෝ. තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. ඒවමස්සායං පඤ්චමෝ චේතෝඛිලෝ අප්පහීනෝ හෝති. ඉමස්ස පඤ්ච චේතෝඛිලා අප්පහීනා හොන්ති."

​සිංහල පරිවර්තනය:

​නැවතද මහණෙනි, භික්ෂුව ධර්මය කෙරෙහි සැක කරයි... සංඝයා කෙරෙහි සැක කරයි... ශික්ෂාව කෙරෙහි සැක කරයි... සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ කිපෙයි, නොසතුටු වෙයි, ගැටුණු සිත් ඇති වෙයි, තද බව සහිත වෙයි. ඔහුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස නොනැමෙයි, නැවත නැවත යෙදීම හෙවත් අනුයෝගය පිණිස නොනැමෙයි, නිතර නිතර වීර්යය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර නිතර යෙදීම පිණිස, පධාන වීර්යය පිණිස නොනැමෙයිද, මෙසේ ඔහුගේ මේ පස්වන චේතෝඛීලය (සිතේ කසළ) අප්‍රහීණ වූයේ වෙයි. මේ පංච චේතෝඛිල ප්‍රහීණ නොවූයේ වෙති.

ධර්මාර්ථ විස්තරය

​ධර්මරත්නය පිළිබඳව සැක කිරීමම දෙවන සිතෙහි පවතින කසළ ස්වභාවයයි; හෙවත් තද ස්වභාවයයි, චේතෝඛීලයකි. පැරණි ගසක් කපා පොළොවෙහි ඉතිරි වී ඇති කොටස හැඳින්වීමට 'ඛිල' යන වචනය යොදා ඇත. කණුවක් හැඳින්වීම සඳහාද මෙම වචනය යොදා ඇත.

​ධර්මරත්නය ගැන සැක කිරීම පිළිබඳව අට්ඨකථාවේ මෙසේ දක්වා තිබේ: පරියාප්ති ධර්මය කෙරෙහිද, ප්‍රතිවේධ ධර්මය කෙරෙහිද සැක කරන තැනැත්තා "ත්‍රිපිටක බුද්ධ වචනය ස්කන්ධ අසූහාරදහසකින් යුක්ත යැයි කියති, එසේ ස්කන්ධ අසූහාරදහසක් තිබේද, නොතිබේද?" කියා සැක කරයි. ප්‍රතිවේධ ධර්මය හෙවත් අවබෝධ කළ යුතු මාර්ග, ඵල, නිර්වාණය පිළිබඳව සැක කරන තැනැත්තා "විදර්ශනා වැඩීමෙන් මාර්ගයටද, මාර්ගය වැඩීමෙන් ඵලයටද, සියලු සංස්කාර සංසිඳීමෙන් නිවනටද පත්විය හැකි බව කියති, එය එසේ වන්නේද, එය එසේ නොවන්නේද?" යනුවෙන් ප්‍රතිපත්තිය ගැන සැක කරති.

​සංඝයා ගැන සැක කිරීම යනු සංඝරත්නය "උජුපටිපන්න" හෙවත් සෘජු මාවතෙහි ගමන් කරන පිරිසක්ද යනාදී වශයෙන් සඟ ගුණ පිළිබඳවත්, සංඝයා ගමන් කරන ප්‍රතිපදාව පිළිබඳවත්, මගඵල ලාභී සංඝයා සිටීද, නොසිටීද යන්න පිළිබඳවත්, අෂ්ටපුද්ගල මහා සංඝරත්නය ලෝකයේ සිටීද, නොසිටීද යනුවෙන්ද සැක කරයි.

​ශික්ෂාව ගැන සැක කරන තැනැත්තා "අධිසීල, අධිචිත්ත, අධිප්‍රඥා" යන නමින් හඳුන්වන ත්‍රිශික්ෂා තිබේද, නොතිබේද යනුවෙන් සැක කරයි.

​පස්වෙනි කාරණාව සබ්‍රහ්මචාරීන් වහන්සේලා හෙවත් තමා සමඟ එකට වැඩ සිටින්නා වූ සංඝරත්නය කෙරෙහි කෝප සහගත ස්වභාවයයි. මේවා සිතෙහි පවතින තද ස්වභාවය, කසළ ස්වභාවය, කපා ඉතිරි කරන ලද පොළොවෙහි ඇති ගසක මුල් කොටසක් වැනි කණු ස්වභාවයෝය.

"කතමස්ස පඤ්ච චේතසෝ විනිබන්ධා අසමුච්ඡින්නා හොන්ති?"

​"ඉධ භික්ඛවේ භික්ඛු කාමේ අවීතරාගෝ හෝති අවිගතඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ. යෝ සෝ භික්ඛවේ භික්ඛු කාමේ අවීතරාගෝ හෝති අවිගතඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, ඒවමස්සායං පඨමෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්ඡින්නෝ හෝති."

​සිංහල පරිවර්තනය:

​ඔහුගේ සිතෙහි පවතින බන්ධන පහක් සම්පූර්ණයෙන්ම අප්‍රහීණ නොවී (නොසිඳී) පවතින්නේ කෙසේද?

​මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කාමයන්හි දුරු නොවූ රාගය ඇත්තේ, දුරු නොවූ කැමැත්ත ඇත්තේ, දුරු නොවූ ප්‍රේමය ඇත්තේ, දුරු නොවූ පිපාසය ඇත්තේ, දුරු නොවූ දැවිල්ල ඇත්තේ, දුරු නොවූ තණ්හාව ඇත්තේ වෙයි. මහණෙනි, යම් භික්ෂුවක් කාමයන්හි දුරු නොවූ රාගය ඇත්තේ නම්, දුරු නොවූ කැමැත්ත ඇත්තේ නම්, දුරු නොවූ ප්‍රේමය ඇත්තේ නම්, දුරු නොවූ පිපාසය ඇත්තේ නම්, දුරු නොවූ දැවිල්ල ඇත්තේ නම්, දුරු නොවූ තණ්හාව ඇත්තේ නම්, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයිද, මෙසේ මෙය ඔහුගේ පළමුවන සිතෙහි පවතින බන්ධනය සම්පූර්ණයෙන්ම සිඳී ගියේ (මුලින් නසුන ලද්දේ) නොවෙයි.

පුන ච පරං භික්ඛවේ භික්ඛු කායේ අවීතරාගෝ හෝති අවිගතඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ. යෝ සෝ භික්ඛවේ භික්ඛු කායේ අවීතරාගෝ හෝති අවිගතඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, ඒවමස්සායං දුතියෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්ඡින්නෝ හෝති."

​සිංහල පරිවර්තනය:

​නැවතද මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තමාගේ කයෙහි දුරු නොවූ රාගය ඇත්තේ, දුරු නොවූ කැමැත්ත ඇත්තේ, දුරු නොවූ ප්‍රේමය ඇත්තේ, දුරු නොවූ පිපාසය ඇත්තේ, දුරු නොවූ දැවිල්ල ඇත්තේ, දුරු නොවූ තණ්හාව ඇත්තේ වෙයි. මහණෙනි, යම් භික්ෂුවක් තමාගේ කයෙහි දුරු නොවූ රාගය ඇත්තේ නම්, දුරු නොවූ කැමැත්ත ඇත්තේ නම්, දුරු නොවූ ප්‍රේමය ඇත්තේ නම්, දුරු නොවූ පිපාසය ඇත්තේ නම්, දුරු නොවූ දැවිල්ල ඇත්තේ නම්, දුරු නොවූ තණ්හාව ඇත්තේ නම්, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයිද, මෙසේ මෙය ඔහුගේ දෙවන සිතෙහි පවතින බන්ධනය සම්පූර්ණයෙන්ම සිඳී ගියේ (මුලින් නසන ලද්දේ) නොවෙයි.

පාලි මූල කොටස:

​"පුන ච පරං භික්ඛවේ භික්ඛු රූපේ අවීතරාගෝ හෝති අවිගතඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ. යෝ සෝ භික්ඛවේ භික්ඛු රූපේ අවීතරාගෝ හෝති අවිගතඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, ඒවමස්සායං තතියෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්ඡින්නෝ හෝති."

​සිංහල පරිවර්තනය:

​නැවතද මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව (බාහිර) රූපයෙහි දුරු නොවූ රාගය ඇත්තේ, දුරු නොවූ කැමැත්ත ඇත්තේ, දුරු නොවූ ප්‍රේමය ඇත්තේ, දුරු නොවූ පිපාසය ඇත්තේ, දුරු නොවූ දැවිල්ල ඇත්තේ, දුරු නොවූ තණ්හාව ඇත්තේ වෙයි. මහණෙනි, යම් භික්ෂුවක් (බාහිර) රූපයෙහි දුරු නොවූ රාගය ඇත්තේ නම්, දුරු නොවූ කැමැත්ත ඇත්තේ නම්, දුරු නොවූ ප්‍රේමය ඇත්තේ නම්, දුරු නොවූ පිපාසය ඇත්තේ නම්, දුරු නොවූ දැවිල්ල ඇත්තේ නම්, දුරු නොවූ තණ්හාව ඇත්තේ නම්, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයිද, මෙසේ මෙය ඔහුගේ තෙවන සිතෙහි පවතින බන්ධනය සම්පූර්ණයෙන්ම සිඳී ගියේ (මුලින් නසුන ලද්දේ) නොවෙයි.

පාලි මූල කොටස:

​"පුන ච පරං භික්ඛවේ භික්ඛු යාවදත්ථං උදරාවදේහකං භුඤ්ජිත්වා සෙය්‍යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තෝ විහරති. යෝ සෝ භික්ඛවේ භික්ඛු යාවදත්ථං උදරාවදේහකං භුඤ්ජිත්වා සෙය්‍යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තෝ විහරති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, ඒවමස්සායං චතුත්ථෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්ඡින්නෝ හෝති."

​සිංහල පරිවර්තනය:

​නැවතද මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කුස පුරා, උදරය පිරෙන්නට අනුභව කොට, නින්දේ ඇති සැපයෙහිද, ස්පර්ශයෙහි සැපයෙහිද, නිදි මතින් ලැබෙන අලස සැපයෙහිද යෙදී වාසය කරයි. මහණෙනි, යම් භික්ෂුවක් කුස පුරා, උදරය පිරෙන්නට අනුභව කොට, නින්දෙහි ඇති සැපයෙහිද, ස්පර්ශ සැපයෙහිද, අලස බවේ සැපයෙහිද යෙදී වාසය කරයි නම්, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයිද, මෙසේ මෙය ඔහුගේ සිව්වන සිතෙහි පවතින බන්ධනය සම්පූර්ණයෙන්ම සිඳී ගියේ (මුලින් නසන ලද්දේ) නොවෙයි.

පාලි මූල කොටස:

"පුන ච පරං භික්ඛවේ භික්ඛු අඤ්ඤතරං දේවනිකායං පණිධාය බ්‍රහ්මචරියං චරති: ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචරියේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වාති. යෝ සෝ භික්ඛවේ භික්ඛු අඤ්ඤතරං දේවනිකායං පණිධාය බ්‍රහ්මචරියං චරති: ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචරියේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වාති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, ඒවමස්සායං පඤ්චමෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්ඡින්නෝ හෝති."

​සිංහල පරිවර්තනය

​නැවතද මහණෙනි, එක්තරා දේවනිකායක් පතා බඹසර හැසිරෙයි: "මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි" යි . යම් භික්ෂුවක් එක්තරා දේවනිකායක් පතා බඹසර හැසිරේ නම් — "මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි" යි (සිතයි නම්) — ඔහුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යය කිරීමට නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයට, නැවත නැවත යෙදීමට, නිතර නිතර යෙදීමට, ප්‍රධාන වීර්යයට නොනැමෙයිද, මෙසේ මෙය ඔහුගේ පස්වන සිතෙහි පවතින බන්ධනය සම්පූර්ණයෙන්ම නොනැසුණේ වෙයි.

​මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා, මේ පංච චේතෝඛීල (සිතේ කසළ) අප්‍රහීණ නොවූයේ වෙත්ද, මේ පංච චේතසෝ විනිබන්ධ (සිතේ බැඳීම්) නොනැසුණේ වෙත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවසක් හෝ පැමිණෙත් නම්, කුසල් දහම්හි හානියක්ම කැමති විය යුතුය; වැඩීමක් සිදු නොවේ.

​මහණෙනි, මේ ආකාරයෙන් කාලපක්ෂයෙහි (අඳුරු පක්ෂයෙහි) සඳුගේ යම්බඳු රැයක් හෝ දවසක් හෝ පැමිණෙන්නේ නම්, වර්ණයෙන් පිරිහෙන්නේය, මණ්ඩලයෙන් පිරිහෙන්නේය, ආලෝකයෙන් පිරිහෙන්නේය, ආරෝහ-පරිණාහ සම්පත්තියෙන් පිරිහෙන්නේය. මහණෙනි, ඒ ආකාරයෙන්ම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ මේ සිතේ පවතින කසළ පහ ප්‍රහීණ නොවූයේ නම්, මේ සිතෙහි පවතින බන්ධන පහ නොනැසුනේ නම්, ඔහුට යම් රාත්‍රියක් හෝ දවසක් හෝ පැමිණේද, පිරිහීමම කැමති විය යුතුය; කුසල ධර්මයන්හි වැඩීම නොවේ.

ධර්මාර්ථ විවරණය

​මෙහිදී සිත තුළ පවතින විනිබන්ධන හෙවත් බැඳීම් පහක් පිළිබඳව දක්වා තිබේ.

1..​පළමුවන විනිබන්ධනය:

කාමයන්හි දුරු නොකරන ලද රාගය ඇති බව, දුරු නොකරන ලද කැමැත්ත ඇති බව, දුරු නොකරන ලද ප්‍රේමය ඇති බව, දුරු නොකරන ලද පිපාසය ඇති බව, දුරු නොකරන ලද දැවිල්ල ඇති බව, දුරු නොකරන ලද තණ්හාව ඇති බවයි. මෙහි "කාමය" කියා හඳුන්වා ඇත්තේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම වස්තූන් සහ පංචකාම වස්තූන් කෙරෙහි පවතින කෙලෙස් හෙවත් ක්ලේශකාමයද "කාම" යන වචනයෙන් අදහස් කරයි.

2.​දෙවන විනිබන්ධනය:

කය කෙරෙහි තණ්හාව ප්‍රහීන නොවීමයි. එහිදී "කය" යනුවෙන් තමාගේ ශරීරය සඳහන් වන බව අංගුත්තර නිකායේ අට්ඨකථාව කියයි. "කායේතී අත්තනෝ කායේ" යනුවෙන් කය යනු තමාගේ ශරීරයම කියා දක්වා ඇත.

3..​තුන්වන විනිබන්ධනය:

රූපයයි. රූපය යනු බහිද්ධා රූපය හෙවත් බාහිර රූපයයි. හෙවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හඳුන්වන නමකි. .

4..​හතරවන විනිබන්ධනය:

තමා කැමති ප්‍රමාණයක් උදරය පිරෙන තෙක් ආහාර අනුභව කොට, සෙය්‍යසුඛං යනුවෙන් හඳුන්වන පුටු, ඇඳන් ආදියෙහි ඇති සැපයෙහිද, පස්සසුඛං යනුවෙන් හඳුන්වන ස්පර්ශයෙහි ඇති සැපයෙහිද, මිද්ධසුඛං යනුවෙන් හඳුන්වන නිදි සැපයෙහිද යෙදී වාසය කිරීමයි.

​පස්සසුඛං යනු: ස්පර්ශයෙහි ඇති සැපයට ඇලී ගැලී වාසය කිරීමයි. කෙනෙකුට දකුණු ඇලයෙන් නිදා ගැනීම සැපයකි. තවත් කෙනෙකුට වම් ඇලයෙන් නිදා ගැනීම සැපයකි. තවත් කෙනෙකුට උදරය බිමට සිටින්නා සේ මුනින් අතට නිදා ගැනීම සැපයකි. තවත් කෙනෙකුට උදරය අහස දෙසට සිටින්නා සේ උඩුකුරුව නිදා ගැනීම සැපයකි. තවත් කෙනෙකු අතපය වකුටු කරගෙන නිදා ගැනීම සැපයක් සේ සලකති. තවත් කෙනෙකු කොට්ටයක් වැනි දෙයක් තුරුලු කරගෙන නිදා ගැනීම සැපයක් සේ සළකති. තවත් කෙනෙකු පොරවනයක් පොරවාගෙන නිදා ගැනීම සැපයක් සේ සළකති. එම ස්පර්ශයන්හි ඇත්තා වූ සැපයට ඇලී නිදා ගැනීම මින් අදහස් කරයි.

​මිද්ධසුඛං යනු: නින්දේ ඇති සැපයයි. නිදිමතින් ලැබෙන අලස සැපයට ඇලී වාසය කිරීම මින් අදහස් කරයි.

5..​පස්වන විනිබන්ධනය:

එක්තරා දේවනිකායයක් පතා බඹසර හැසිරීමයි. මම මේ සීලයෙන් හෝ. හෝ වෘතයෙන් හෝ බ්‍රහ්මචරියාවෙන් හෝ දෙවි කෙනෙක් වන්නෙමි. යි සිතා නොයෙක් පිළිවෙත් පිරීම මින් අදහස් කරයි.

සූත්‍ර දේශනාවේ අවසාන කොටස

​මෙම කොටසේදී පංච චේතෝඛීල ප්‍රහීණ වන ආකාරයත්, පංච චේතසෝ විනිබන්ධ ප්‍රහීණ වන ආකාරයත් දක්වා තිබේ. එම කොටස විස්තර සහිතව දීර්ඝ වශයෙන් ලියනු නොලැබේ. පෙර සඳහන් කරන ලද කොටසෙහිම ප්‍රතිවිරුද්ධ පැත්ත වන බැවින් එය විස්තර වශයෙන් ලිවීමට අදහස් නොකරමි. විස්තර බලාගැනීමට කැමති සත්පුරුෂයෝ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙන් සූත්‍ර දේශනාව හොඳින් කියවා බලත්වා.

​සංක්ෂිප්ත සටහන

​චේතෝඛීල පහ (සිතේ කසළ):

  1. ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කිරීම (විචිකිච්ඡාව)
  2. ධර්මය කෙරෙහි සැක කිරීම
  3. සංඝයා කෙරෙහි සැක කිරීම
  4. ශික්ෂාව කෙරෙහි සැක කිරීම
  5. සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කෝප සහගත වීම හා ගැටීම

​චේතසෝ විනිබන්ධ පහ (සිතේ බන්ධන):

  1. කාමයන්හි දුරු නොකළ රාගය හා තණ්හාව තිබීම
  2. තමාගේ කය (ශරීරය) කෙරෙහි ඇල්ම ප්‍රහීණ නොවී තිබීම
  3. බාහිර රූපය කෙරෙහි ඇල්ම ප්‍රහීණ නොවී තිබීම
  4. උදරය පිරෙන්නට අනුභව කොට ඇඳ-පැදුර ආදී සැප, ස්පර්ශ සැප හා නිදි සැප (මිද්ධසුඛ) අනුයුත්තව වාසය කිරීම
  5. එක්තරා දේවනිකායයක් පතා බඹසර හැසිරීම

​ප්‍රධාන ප්‍රතිඵලය:

ඉහත සඳහන් සිතේ කසළ (චේතෝඛීල) සහ බැඳීම් (විනිබන්ධ) අප්‍රහීණව පවතින්නා වූ භික්ෂුවකට හෝ භික්ෂුණියකට යම් රාත්‍රියක් හෝ දවසක් පැමිණේද, එය කුසල් දහම්හි දියුණුවක් පිණිස නොව, අඳුරු පක්ෂයේ (කාලපක්ෂයේ) සඳු මෙන් පිරිහීමම අපේක්ෂා කළ යුත්තකි. ඊට ප්‍රතිවිරුද්ධව, මෙම කෙලෙස් කසළ හා බන්ධන ප්‍රහීණ කරගන්නා තැනැත්තාගේ කුසල් දහම් දිනෙන් දින වැඩී යයි.

අනු මාතෘකා